70 දශකයේ අකලට පරව යමින් සිටි ලාංකේය තරුණ ප්‍රජාවට තාරුණ්‍යයේ අයිතිය රැක ගනිමින් ඔවුන් නව මානයකට රැගෙන යන්නට පුවත්පත් කලාව හරහා ගත් ප්‍රයත්නයක ප්‍රතිඵලක් වූ “කුමරි” පුවත්පත හරහා ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් සමඟ තම වෘත්තීය ගමන් මග සාර්ථක ලෙස ආරම්භ කිරීමට සමත් වූ ඔහු නමින් බන්දුල පත්මකුමාර විය.
වර්ෂ 1950 ජූනි දෙවන දින උපත ලබන ඔහු අඩ සියවසකට අධික කාලයක් ගත කළ ජීවන ගමන් මග තුළ දී මෙරට පුවත්පත් කලාවට නව ප්‍රවණතාවන් හඳුන්වා දෙමින් පුවත්පත් කලාව නව මානයකට යොමු කරමින් පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය කලාවෙහි නොමැකෙන සලකුණක් බවට පත් වීමට වරම් ලබන ලදී.
මාතර රාහුල විද්‍යාලයේ ත්, කොලඹ ආනන්ද විද්‍යාලයේ ත් අධ්‍යාපනය ලැබූ එතුමා ආනන්ද විද්‍යාලයේ දී ලිවීමට ලැබූ පන්නරය හරහා “කුමරි” පුවත්පතට පෙරාතුව මුල්ම වරට ද්‍රවිඩ ව්‍යාපාරිකයෙකුගේ ආරාධනය මත කෙටි කාලයක් “ගීතා” නමින් වූ පුවත්පතක් සංස්කරණය කළ නමුත් ස්වකීය සංකල්පයක් මතම බිහි වූ කුමරි පුවත්පත තම වෘත්තීය ගමනෙ හි ආරම්භය ලෙසින් සැලකීමට එතුමන් වඩාත් ප්‍රිය කර ඇත.
මුල් කාලීනව චිත්‍රපට ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට කැමැත්තක් දැක් වූ එතුමන් පාසල් සමයේ දී ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි ප්‍රමුඛ පෙළේ සිනමාකරුවන් සමඟ නිෂ්පාදනය කළ “නිම් වළල්ල” නම් චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කරන ලදී.
එතුමන් මෙරට පත්තර කලාවේ පුළුල් වෙනසක් කළ යොවුන් සඟරාවල නිර්මාතෘවරයා ලෙස ද සැලකෙන අතර සරසි, රැජින, අරලිය, කුමරි වැනි අතිශය ජනප්‍රිය වූ කාන්තා පත්තර කිහිපයක්ම ප්‍රකාශනය කිරීමට එතුමන් සම්බන්ධ විය. ඔහුගේ “කුමරි” පුවත්පතට මල් පත්තර ලෙසින් නම් පටබැඳෙන්නට වුව ද , එය එකල පාසල් වයසේ පසු වෙමින් එකී පුවත්පතෙ හි කටයුතු කළ ධර්මරත්න පෙරේරා, උපුල් ශාන්ත සන්නස්ගල, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර ආදීන් වර්තමානයේ ප්‍රවීණ මාධ්‍යවේදීන් බවට පත්වීමේහිලා මූලාරම්භය ද සපයන ලදී.
ඔහු ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භකයෙකු වෙමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය උදෙසා ඉහළ දායකත්වයක් දක්වන ලදී. මේ කාලවකවානුව තුළ දී එතුමන් විසින් මෙරට ජාතික පුවත්පත් කිහිපය අතරට තවත් එක් ජාතික පුවත්පතක් එක් කරමින් ලක්බිම පුවත්පත ආරම්භ කිරීමට පුරෝගාමී විය. එය කෙතරම් ඉහළ ජනප්‍රසාදයක් ලැබුවේ ද යත් ඇතැම් අවස්ථාවල දී පුවත්පත ඉතා ඉක්මනින් විකිණී අවසන් වන හෙයින් පුවත්පත ලබා ගැනීමට නොහැකි වූ ජනතාව විසින් පුවත්පත බෙදාහැරීමට ගිය අලෙවි නියෝජිත වෑන් රථවලට පහර දීමට පවා පසුබට නොවී ය. එමෙන්ම පුවත්පත් කලාවට තවත් නව අංගයක් එක් කරමින් මුල්වරට ලක්බිම සතිඅන්ත පුවත්පතට පුවත්පත් අතිරේකයක් හඳුන්වා දෙන ලදී. ඒ අනුව එකල වඩාත් කතාබහට ලක්ව පැවති “ජනප්‍රිය සංස්කෘතිය” පිළිබඳව සාකච්ඡා වන “රිද්ම” නමින් පුවත්පත් අතිරේකයක් ලක්බිම පුවත්පතට හඳුන්වා දෙන ලදී.
2001 වසරේ මෙරට පුවත්පත් මහගෙදර වන ලේක් හවුස් ආයතනයේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා ලෙස පත්වීමට ද එතුමන්‍ට අවස්ථාව උදා විය.
තම වෘත්තීය ජීවිතය වෙනුවෙන් උපරිමයෙන් කැප වූ වෘත්තීකයෙකු වූ එතුමන් අලුයම 3 ට අවදි වී සියලූම ජාතික පුවත්පත් කියවීමට පුරුදුව සිටියේ සෑම දිනකම උදෑසන 6:30 ට ස්වර්ණවාහිනී නාලිකාව හරහා විකාශනය වූ “මුල් පිටුව” වැඩසටහන සඳහා පුවත් සාරාංශ කර ඒවා සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට පෙරසුදානම් වීම සඳහා ය.
එතුමන්ගේම සංකල්පයකට අනුව මෙරට මුල්ම වරට උදෑසන කාලයේ දී සජීවී වැඩසටහනක් ඉදිරිපත් කිරීම “මුල් පිටුව” හරහා ආරම්භ විය. සියලු දෙනා ඉතා කාර්‍යබහුල වන උදෑසන වේලාවක් තුළ ජනතාව රූපවාහිනීය අසල පුවත්පත් වැඩසටහනක් නැරඹීමට කාලය වෙන් කරයි ද? යන ගැටලුව “මුල් පිටුව” ආරම්භ කිරීමට පෙර පැන නැගුව ද උදෑසන කාලය තුළ ඉතා ජනප්‍රිය වූ, ඉහළම ශ්‍රේණිගත කිරීම් සහිත වැඩසටහනක් බවට “මුල් පිටුව” පත් කිරීමට එතුමන්ගේ කැපවීම හේතු විය. මුල් පිටුව මෙන්ම “ලෝක සිතියම” රූපවාහිනී වැඩසටහන ද එතුමන් මෙරට ජනමාධ්‍ය කලාවේ නොමැකෙන සටහනක් බවට පත්වීමට හේතු විය.
එලෙස මෙරට පුවත්පත් කලාවේ සහ රූපවාහිනී මාධ්‍ය තුළ නව්‍යකරණ ගණනාවක් හඳුන්වා දෙමින් අතිමහත් සේවයක් කළ නිදහස් මාධ්‍යයේ පුරෝගාමියෙකු ලෙස නම් දරා මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පිරිමැසිය නොහැකි හිස්තැනක් තබා ලාංකේය ප්‍රේක්ෂක ජනතාවගේ නෙත් අග කඳුළක් ඉතුරු කරමින් මෙලොවින් සමුගත් ජේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පත්මකුමාර මහතා හට Colombo Beacon අපි මෙලෙස නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.
Reference :
Images :
Leave a Comment