දැනුම

ලාංකේය සංගීතයේ තුන් ඉරියව් ක්‍රීඩකයා

ශ්‍රී ලාංකේය පොප් සංගීතයේ පියා, ඒ ඔහුට මෙරට රසික ප්‍රජාව විසින් සෙනෙහසින් පිදූ ගෞරව නාමයයි. නෙවිල් ප්‍රනාන්දු විසින් ලංකාවට හඳුන්වාදුන් කණ්ඩායම් සංගීතය නව මුහුණුවරකින් මෙරට සංගීත ලෝලීන් වෙත ගෙනගිය ක්ලැරන්ස් විජේවර්ධනයන් පිළිබඳවයි මේ සටහන.

1943 අගෝස්තු 03 වනදා හපුතලේ දී උපත ලබන ක්ලැරන්ස් විජේවර්ධන කුඩා කල සිටම සංගීතයට ඇළුම් කළ අයෙකි. ඔහු අධ්‍යාපනය ලැබූ මාතලේ හයිලන්ඩ් විද්‍යාලය, යටවත්ත මහසෙන් මහා විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය යන පාසල් එකකදී හෝ සංගීතය විෂයයක් ලෙස හැදෑරුවේ නැති වුවද, ගිටාරය හා මැන්ඩලීනය වැනි සංගීත භාණ්ඩ වැයීමට හා ගීත ගායනයට ඔහු සමතෙකු බව බොහෝ දෙනා දැන සිටියහ. නමුත් පියාගේ අපේක්ෂාව අනුව යමින් වතු පාලකයෙකු වීමට ඔහු මුලදී අදහස් කළ අතර, එය වෙනස් වන්නේ ‘The Beacons’ සංගීත කණ්ඩායම විසින් ඉලෙක්ට්‍රික් ගිටාරය යොදාගෙන සිදුකළ ඉදිරිපත් කිරීමකට සවන්දීමෙන් අනතුරුවය. ඒ ආභාෂයෙන් ගිටාරය වාදනය පිළිබඳ වැඩිදුර ඉගෙනගන්නා ක්ලැරන්ස් ගේ සංගීත දිවිය නියමාකාරයෙන් ඇරඹෙන්නේ රත්නපුර, බටුගෙදර ප්‍රදේශයේ පදිංචියට පැමිණීමෙන් අනතුරුව බව පැවසේ.

කෙමෙන් කෙමෙන් තම සංගීත කුසලතා වැඩි දියුණු කරගන්නා ක්ලැරන්ස් විජේවර්ධන, මොන්ටි වත්තලදෙණිය හා ධම්මික විජේසිරි සමඟ කුඩා සංගීත කණ්ඩායමක් සාදා ගන්නා අතර ඔවුන්ට සිරිසඟබෝ කොරෙයා මහතාගේ අනුග්‍රාහකත්වයෙන් ගීත පටිගත කිරීමට අවස්ථාව හිමිවේ. ඇනස්ලි මාලේවන නම් ප්‍රතිභාපූර්ණ ගායකයා ඔහුට හමුවන්නේ මෙතැනදීය. ඔහුව තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා ලෙස එක්කරගන්නා ක්ලැරන්ස් විජේවර්ධන Moonstones සංගීත කණ්ඩායම පිහිටුවාගනී. ඒ 1964 වසරේදීය.

‘මංගො නැන්දා’, ‘රුවන්පුරය අපේ ගම තමයි’ ආදී ගීත කිහිපයක්ම ඔවුන් විසින් නිර්මාණය කරන අතර එවකට ජනප්‍රිය ගුවන්විදුලි නිවේදකයෙකු වූ විජය කොරෙයා මහතා විසින් මෙම ගීත සැටඩේ ස්ටාර්ස් (Saturday Stars) නම් වැඩසටහන හරහා ප්‍රචාරය කිරීමත් සමඟ Moonstones සංගීත කණ්ඩායමට නොසිතූ විරූ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවේ. ඔවුන්ගේ සංගීත කණ්ඩායමේ මුල්ම ගී තැටියද, අදටත් ජනප්‍රිය ගීයක් වන ‘මංගො නැන්දේ’ නමින් නම් කෙරෙන්නේ එය හිමි කරගත් ජනප්‍රියත්වය නිසාය.

1971 දී Moonstones කණ්ඩායමෙන් ඉවත්වන ක්ලැරන්ස්, ජානක පෙරේරා හා ලාංකිකා පෙරේරා සමඟ එක්ව Golden Chimes නමින් නව සංගීත කණ්ඩායමක් පිහිටුවයි. මේ වන විටත් ඔහුගේ දක්ෂතා දැන හැඳින සිටි රසිකයෝ මෙම කණ්ඩායමත් ආදරයෙන් වැළඳගන්නේ ඔහු අතින් සංගීතවත් වුණු තවත් රසවත් ගී ඇසීමේ ආශාවෙනි. ‘කිමද නාවේ’, ‘සමනලයෝ’ සහ ‘සුරඟන වෙස් වළා’ වැනි ගී එම කාල වකවානුවේදී ක්ලැරන්ස් විජේවර්ධනගේ අතින් නිර්මාණය වුණු ඉතාම ජනප්‍රිය ගීත අතරින් කිහිපයකි.

1973 දී නැවතත් ඇනස්ලි මාලේවන හා එක්වන ක්ලැරන්ස් විජේවර්ධනයන් ඩික්සන් ගුණරත්න ද සමඟ Super Golden Chimes සංගීත කණ්ඩායම පිහිටුවාගනී. අදද නිතර ඇසෙන අතිශයින් ජනප්‍රිය ගීත වන ‘ගමෙන් ලියුමක්’, ‘උඩරට නිළිය’ සහ ‘කඳ සුරිඳුනි’ එළිදැක්වුණේ මෙම කාලයේදීය. මෙම සංගීත කණ්ඩායමද සුවිසල් රසික ආකර්ෂණයක් දිනාගන්නා අතර කතරගම පුද බිමේදී ‘කඳ සුරිඳුනි’ ගීතය සජීවීව ඉදිරිපත් කිරීමටද ඔවුන්ට අවස්ථාව හිමිවේ. ඒ හැරුණු කොට 1974 දී මෙම ගීතයට සම්මානයක් පවා ප්‍රදානය කෙරුණි.

නමුත් වසර තුනකට පසු එයින්ද ඉවත්වන ක්ලැරන්ස් විජේවර්ධන ස්වාධීන ගායකයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කරයි. කරුණාරත්න අබේසේකරයන් විසින් ලියූ ‘දිලීප පොඩි පුතු’ කවි පෙළට සංගීතය මුසු කරන ක්ලැරන්ස් විජේවර්ධනයන් එය තම ප්‍රථම ගීතය ලෙස එළිදක්වමින් ගායන ලෝකයට පිවිසෙයි. ‘සිහින ලොවක්’, ‘හිරුගේ ලොවේදී’, ‘සැන්දෑ වලාවන්’ ආදී සුමිහිරි ගී රැසක් ඔහු අතින් ලියවුණේත්, ස්වර මුසුකර එළිදැක්වුණේත් ඉන් පසුවය.

1985 වසරේ දී නැවතත් ‘මදාරා’ නමින් සංගීත කණ්ඩායමක් අරඹන ඔහු එවකට නවකයන් වූ රූකාන්ත ගුණතිලක, මරියසෙල් ගුණතිලක, රාජු බණ්ඩාර ආදී ශිල්පීන් මෙම සංගීත කණ්ඩායම හා එක්කරගෙන ඔවුන්ට සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන සකස්කරගැනීමට උපකාර කළේය.

කණ්ඩායම් සංගීතයට සහ සමස්ත ශ්‍රී ලාංකික සංගීත ක්‍ෂේත්‍රයට මේ සා විශාල මෙහෙවරක් සිදු කළ ඔහු සිනමා සංගීත අධ්‍යක්ෂණයටද යොමු වූ දක්ෂ නිර්මාණකරුවෙකි. ඔහුගේ ස්වර මුසුවෙන් රසවත් වූ ‘සිකුරුලියා’ චිත්‍රපටයේ එන ‘සිකුරුලියා’ ගීතය මහා සංගීතවේදී නෞෂාඩ්ගේ පවා පැසසුමට ලක්වූ ගීයක් වන අතර, ‘කොළඹ සන්නිය’ හා ‘අපේක්ෂා’ ආදී චිත්‍රපටද හැඩ වූයේ විජේවර්ධනයන්ගේ සංගීතයෙනි. ඉන් නොනැවතී ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණයටද අත්පොත් තබන ඔහු ‘සුසීමා’ සහ ‘නිදිකුම්බා මල්’ ටෙලිනාට්‍යයන්ට සංගීත දායකත්වය ලබා දුන්නේය. ‘නිදිකුම්බා මල්’ ටෙලිනාට්‍යයේ ඔහුගේ ස්වර මුසුවට තේමා ගීය ගැයූ පණ්ඩිත් අමරදේවයන්, ක්ලැරන්ස් වැනි දක්ෂ නවකයෙකුගේ සංගීතයට ගයන්නට ලැබීම වාසනාවක් බව සඳහන් කළේය. ඉතා මියුරු ගීයක් වන ‘සිතේ සුසුම්’ ගීය ක්ලැරන්ස් විජේවර්ධන අතින් නිර්මාණය වුණේ සුසීමා ටෙලි කතාව වෙනුවෙනි.

ගායනය හා සංගීත නිර්මාණය හැරුණු කොට පද රචනයටද අපූරු හැකියාවක් දැක්වූ ක්ලැරන්ස් විජේවර්ධන, තම ගීත සෑහෙන ප්‍රමාණයක පද රචනය තමාම සිදුකළේය. ‘මලට බඹරෙකු සේ’, ‘දෑස පියා ගත් කල’, ‘සුදු මැණිකේ’ වැනි ඉමහත් ජනාදරයට පත්වූ, වත්මන් තාරුණ්‍යය පවා රසවිඳින ගීත විශාල සංඛ්‍යාවක ගී පද ඔහුගේ මනසේ මැවුණු විචිත්‍ර සිතුවිලිය.

‘මලට බඹරෙකු සේ – සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ – හද සිනාසෙනවා – ඔබ සිනාසෙනවා
දුකින් සිත මැලවී – සිටින මොහොතකදී
ඔබ ගැනයි සිතුවේ – නිවෙයි දුක පහවී’

ඔහු ගැයූ ගීත හැරුණු කොට ඉන්ද්‍රාණි පෙරේරා, මර්වින් මිහිඳුකුල, මිල්ටන් මල්ලවාරච්චි, මරියසෙල් ගුණතිලක ඇතුළු ගායක ගායිකාවන් 115කට අධික ප්‍රමාණයක් සඳහා ගීත දහසක් පමණ රචනා කළේය.

ඔහුගේ සංගීතය, හඬ හා ඔහු ලියූ පදවැල් ජනයා මෙතරම් ආදරයෙන් වැළඳගත්තේ ඇයි? ‘කිරි මූද කළඹාලා’, ‘සිහින ලොවක්’, ‘මෑණියනි’ වැනි ගීත බොහොමයක පද රචනා ඇසූ පමණින් මතකයේ රැඳෙන තරම් සරල වුවද ඒවායේ අරුත් එසැණින්ම හදවතෙහි පතුලේම ලැගුම්ගන්නට සමත්වන තරම්ම රසයෙන් පිරිපුන්ය.

‘මෑණියනි හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා
මා ළයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා
ජිවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා
මෑණියනි ඔබේ දෙපය අසල වඳිමි දණ නමා’

ඔහුගේ තනු නිර්මාණය සඳහා ඔහු යොදාගත්තේ කීබෝඩ් හා ඉලෙක්ට්‍රික් ගිටාරය ඇතුළුව ඉතා සීමිත වාද්‍ය භාණ්ඩ කිහිපයක් පමණි. නමුත් ඒ සංගීත රාවයන් එකකට එකක් වෙනස් වන අතර, ඇසූ පමණින් ‘ක්ලැරන්ස්ගේ තනුවක්’ ලෙස වෙන්කර හඳුනාගත හැකි තරම් අනන්‍ය බවක් ඒ හැම තනුවකම ඇත.

ක්ලැරන්ස් විජේවර්ධන විසින් දරුවන් වෙනුවෙන්ද ගීත රැසක් රචනා කළේය. ඒවායින් බොහොමයකට මාතෘකා වූයේ ඔහුගේ හිතවතුන්ගේ දරුවන්ය. ගුවන්විදුලි නිවේදක විජය කොරෙයා මහතාගේ පුතණුවන් වෙනුවෙන් රචනා කළ ‘විරාන් බිළිඳු පුතේ’ ගීතය පසුව ‘කිරි මූද කළඹාලා’ ලෙස වෙනස් කොට ගායනා කිරීමත් සමඟ එය සංගීත ලෝලීන්ගේ ඉමහත් ආදරයට ලක්වූ අතර, ‘සිහින පැතුම් විමානේ’, ‘දිල්හානී දුවණී’ ආදී ගීතද මෙලෙස දරුවන් වෙනුවෙන් ලියවුණු ගීතය. තමාගේම දියණිය අමිලා විජේවර්ධන වෙනුවෙන්ද ‘අමිලා දුවේ’ නම් ගීතයක් ඔහු අතින් නිර්මාණය විය.

මේ හැරුණු කොට වෙනස්ම තේමා ඔස්සේ ද ඔහු ගී රචනා කළේය. මව් සෙනෙහස අහිමි වුණු දියණියකගේ කෝණයෙන් ලියූ ‘අම්මා’ ගීතය, එය ගැයූ ඉන්ද්‍රාණි පෙරේරාටද විශාල ජනප්‍රියත්වයක් අත්කරදුන් ගීයකි. ‘දෑසවන් දැයෙහි’ නමින් ඔහු රචනා කර, ඔහු විසින්ම ගැයූ ගීය අහිංසක දරුවන්ට සිදුවන අකටයුතුකම් ගැන සංවාදයක් ගොඩ නගන ගීතයක් ලෙස සැලකිය හැකිය.

“දෑස වන් දැයෙහි – පහන් මිණි – මල් කැකුළු ලෝකේ
පිපී සුවඳ දෙන – කාලයට පෙර – ඇයි පරවී යන්නේ”

ඒ අනුව, මෙරට පළමු වරට ළමා අපයෝජන පිළිබඳ ගීයක් නිර්මාණය කළ පළමුවැන්නා වන්නේද ක්ලැරන්ස් විජේවර්ධනයි.

එදිනෙදා ජිවිතයේ සිදුවීම් හා බැඳී පවතින ගීත මෙන්ම විශේෂ අවස්ථාවන් සඳහාද ඔහු ගී රචනා කළේය. ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබීම නිමිත්තෙන් ‘Test Cricket Souvenir’ නමින් නිකුත් කළ ගී ඇල්බමය, ශ්‍රී ලංකාවේ පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුව වෙනුවෙන් ගැයූ ‘මහා බලවතුනේ’ ගීතය ආදිය ඊට උදාහරණ වේ.

ගීත දෙදහසකට අධික ප්‍රමාණයකට සිය දායකත්වය ලබා දුන්නත්, ක්ලැරන්ස් විජේවර්ධනයන් ඇගයීමට ලක්වූ අවස්ථා නම් අතිශයින් විරලය. Pop and Teen Fanfare Magazine විසින් කළ මත විචාරණයකදී 1974 සහ 1976 වසර දෙකේදී ජනප්‍රියතම පද රචකයා ලෙස විජේවර්ධනයන් නම් කෙරුණි. අවස්ථා කිහිපයකදී Golden Chimes හා Super Golden Chimes කණ්ඩායම් ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් ලෙස නම් කෙරුණත් සමස්තයක් ලෙස ක්ලැරන්ස් විජේවර්ධනගේ නිර්මාණ ඇගයීමක් සිදුවූයේ නැත. එයට හේතුව කණ්ඩායම් සංගීතය හා බටහිර සංගීතය ඇසුරු කොට නිර්මාණය වූ ගීත පිළිබඳව එකල සිටි විචාරකයන් ප්‍රසන්න ආකල්පයක් නොදැක්වීමත් වියහැකිය. නමුත් ඇගයීම් හෝ සම්මාන හඹා නොගිය විජේවර්ධනයන් කිසිවකු ඉදිරියේ හිස නොනමා ජීවත්වූ අයෙකි.

රෝගී තත්වයක් හේතුවෙන් 1996 දෙසැම්බර් 13 දින වයස අවුරුදු 53ක් පමණක් වූ ක්ලැරන්ස් විජේවර්ධනයන් මෙලොවින් සමුගන්නේ ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත හිස්තැනක් ඉතිරි කරමිනි. එදා මෙදාතුර සංගීත කණ්ඩායම් රැසක් බිහිවුවත්, බටහිර සංගීතය ඇසුරින් ගී නිර්මාණ සිදුකරන බොහෝ දෙනෙකු සංගීත ක්ෂේත්‍රය තුළ දැකගන්නට හැකිවුවත්, ක්ලැරන්ස් විජේවර්ධනයන් වැනි ප්‍රතිභාපූර්ණ සංගීතඥයෙකුගේ සලකුණක් තවමත් හමු වී නැත.

ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙත නව ආරක ගී මානයක් හඳුන්වා දෙමින් රසික සිත්සතන් පිනවූ, තනු නිර්මාණය, ගායනය හා පද රචනය යන තුන් ඉරියව්වේම සමත්කම් පෑ ක්ලැරන්ස් විජේවර්ධන නම් අසහාය මිනිසා අපට ඉතිරිකරගිය ගී මිණි කළඹ තවත් වසර ගණනක ඇවෑමෙන් වුවද මෙරට සංගීත ලෝලීන්ට රස කැන්ඳනු ඇත.

Design by – Shanaka Vishwantha

Reference :

Image :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හේෂානි ධර්මපාල

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment