සාමාන්‍ය

ලැබිය යුත්ත..

පොඩි කාලේ ඉදන්ම හැදුනේ වැඩුනේ නැන්දා ලග. ඒ කාලේ ඉදන් හැමෝම කිව්වේ කවදා හරි උඹ ලොකු මිනිහෙක් වෙනවා දකින එක තමයි එකම පැතුම කියලා. මේ කතාව පටන් ගන්නේ විසි වෙනි සියවසේ අග බාගේ. හැමදේම බොහොම හොදින් සිද්ධ වුනා. ඒත් දවසක්.

“මොකද ගෑනියේ වෙලා තියන්නේ….”
“මට මොනවා වෙන්නද තමුසේ තමයි මේ හැමදේටම මුල…”

එක එක විදියේ රණ්ඩු. ගොඩක් දවසට තාත්තා රස්සාවට ගිහින් ගෙදර එන්නේ රෑ 10 පහුවෙලා. මම දන්නේ එයා උදේ යනවා කියලා විතරයි….

එදා මගේ හතරවෙනි උපන්දින සාදය. ලොකු කේක් එකක් මගේ ඉස්සරහ. හැමෝම එක එක තැන් වල එකතු වෙල කතාව.
“මෙන්න චූටි පුතාට ලොකු තෑග්ගක් ගෙනල්ල නැන්දා…” ඒ ආච්චි අම්මා.
මට නම් ඒකේ ඒ හැටි ගානක් තිබුනේ නෑ. ඒත් හැමදේම වෙන්නේ හොදටනේ. කොහොම කොහොම හරි ඒක ඉවරයි. ගෙදරට ආව අය හැමෝම වගේ ගිහින්. මම හිටියේ නයිලෝන් නූල් වලින් මහපු ඇඳ උඩ වාඩි වෙලා. අම්මයි තාත්තයි පහල අස් කරනවා ඇහෙනවා. ටික වෙලාවකින් සද්ද නෑ දෙන්නගෙම. පහලට යන්නත් මොකද්ද වගේ සෙල්ලම් කරන එක ලොකු උනා මට.

“කෑ ගහන්නේ නැතුව නිදාගන්න දීපන්….”
“මේ මගුල ඉවරයක් නෑනේ යකෝ….”

සද්ද බද්ද අස්සෙම මට නින්ද ගිහින්.
එක පාරටම මට ඇහැරුනේ වෑන් එක බ්‍රේක් ගහන වේගෙට. නැගිටලා බැලුවා වට පිටාව. තාත්තා තමයි එලවන්නේ. අම්ම පේන්න නෑ. හරියටම හිටියේ ගොඩක් වාහන නැති පලාතක වගේ. පිටිපස්සේ සීට් එකේ දිගාවෙලා ඉඳපු මම හිමින් ගියා ඉස්සරහ සීට් එකට.

“තාත්තේ අපි මේ කොහෙද යන්නේ. කෝ අම්මා…”

තාත්තගේ පිලිතුර උනේ වාහනේ වේගේ වැඩි උන එක.
මම තවත් මුකුත් අහන්න ගියේ නෑ. කට්ට කලුවරේ වාහනේ නැවැත්තුවා කොලපාට ලයිට් එකක් යට. ඒක කඩයක්. මාව වඩාගෙන ගියා තාත්තා ඇතුලට. ඉස්සර හැමදාම වගේ තාත්තා ගෙදර එද්දී කොත්තුවක් ගේනවලු මට කන්න. මම ඉතින් නිදි මරගාතේ කනව කියලා තමයි අම්ම නම් කියන්නේ. එදා කලෙත් ඒකම තමයි. එතනින් කාලා ආයිත් ගමන පටන් ගත්තා.

“සුදු පුතා මොකද මේ හදිස්සියේ…..”
“දිග කතාවක් අම්මේ. හෙට උදේ කතා කරමු හරි මහන්සි මට. පොඩි එකා නිදි කරවන්න ඇඳෙන්. මම කොහේ හරි ඉන්නම්…”

උදේ පාන්දර ආච්චි මාව ඇහැරුවා. ගොඩක් කාලෙකින් ආච්චි අම්මලගෙ ගෙදර ආව නිසා මට වැඩ ගොඩක් තිබුනා කරන්න. වෙරලු ඇහිඳින්න. ටොමියා එක්ක සෙල්ලම් කරන්න. හොඳම දේ තමයි මාලු ටැංකියේ ඉන්න මාලු අල්ලන එක..

“ඒ ඔක්කොම දාලා මේ ළමයත් අරගෙන මෙහෙ ආවා අම්මේ… මේක හැමදාම කරන්න බෑ. පුලුවන් විදියට මුට උගන්නලා හොඳ තැනකට ගමු. මම අක්කටත් කතා කරන්නම්..”
“පොඩි එකාට ඕවා තේරෙන්නේ නෑ…. මගේ ලඟ ඉදපු දෙන්… මගේ අතපය හොඳට තියනකන් මම බලාගන්නම් පුතා යන්න වැඩට ආයිත්…”

හැමදේම හොඳට උනා. අවුරුදු 20ක් ගත උනා දැනුනේවත් නෑ. තාමත් මම දන්නේ නෑ අම්මට මොකද උනේ කියලා. මම තාත්‍තගෙන් ඒක අහන්න බය උනා. නැන්දාගෙන් ඇහුවම කිව්වේ ඇක්සිඩන්ට් එකක් වෙලා නැති උනා කියලා දැනට අවුරුදු 15 කට විතර කලින්. මොන දේ උනත් මම දැන් හොඳ තැනක ඉන්නව. හෙට උපාධි ප්‍රදානෝත්සවය. හැමෝම එනවා ඒකට. සතුටුයි ඇත්තටම.

හැම පැත්තේම යාලුවෝ එයාලගේ අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා හැමෝම ඉන්නවා ඒත් මගේ ඔලුවේ තිබුනේ එක දෙයක්. ඒ තමයි අම්මා හිටියා නම් කොච්චර සතුටු වේවිද කියන එක. හීන වල ගිලිලා ඉන්න අතරේ මගේ නම කියවුනා. ඇහැට ආව කඳුල හිමින් පිහදාගෙන ගියා උපාධිය ගන්න. අරගෙන කෙලින්ම ගියේ තාත්තලා ඉන්න තැනට. හරිම සතුටුයි හැමෝටම.

ඈතින් දැකලා පුරුදු වගේ මූනක්. වයස 40ක් විතර ඇති. හරිම හුරු පුරුදු ගතියක් දැනෙනව.

“තාත්තේ මම පොඩ්ඩක් යාලුවෝ හම්බවෙලා එන්නම්…”

කෙලින්ම ගියේ ඒ ගෑනු කෙනා ලඟට. හතර පස් දෙනෙක්ගෙන්ම බැනුම් ඇහුවා ඇඟේ වැදිලා. මට ගානක් උනේ නෑ ඒක. මේ මගේ අම්ම නේද. මගේ හිත එහෙමත් කියනව. පිස්සු එහෙම වෙන්නෙ කොහොමද එයා නැති වෙලා ගොඩක් කල්..

ලඟට යද්දී එතන කිසි කෙනෙක් නෑ. මම රැවටිලා. හැමදාම හිතනවා අම්ම ගැන ඒත් කවදාවත් එයාට මාව හොයාගන්න බෑ මටත් එයාව හොයාගන්න බෑ.
කවදාවත් නොලැබෙන දේ ගැන හිතන්න හොඳ නෑ ලැබෙන දේ තමයි හරි දේ ඕනම දේක අපිට ලැබෙන්න ඕන දේ විතරයි ලැබෙන්නේ. මටම කියාගෙන හිත හදාගත්තා….

නිමි..

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නදුන් සිතුමිණ

විද්‍යා පීඨය - උපාධිධාරි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment