‘දැන් අකුරට වෙන්න දාස
අකුරු ඔබට වේය දාස’
කියූ පමණින්, හෙළ සාහිත්‍යයේ නිම් වළලු පුළුල් කළ අමරණීය මිනිසෙකු අප සිහියට නැගෙයි. මේ එතුමා ගැන කතාවයි. වර්ෂ 1887 ක් වූ ජූලි මස 25 වැනිදා දික්වැල්ලේ, ඉඳිගස්ආරේ සුප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිවසේ, පවුලේ දොළොස්වැන්නා ලෙසින් අපූරූ ධෛවෝපගත දරු උපතක් සිදු විය. ඒ උක්තයේදී අප සිහියට නැගුණු ශ්‍රේෂ්ඨ ප්‍රඥාවේදියාගේ උපතයි. සුරතල් දරුවෙකු ලෙස කිරිසිනහා නංවාගෙන සිටි මේ පුංචි මුනිදාසගේ පියා දොන් අබියෙස් කුමාරතුංග වූ අතර මව වූයේ පලවින්නගේ දෝන ගිමාරා මුතුකුමාරණ මහත්මියයි. එදින ඉඳිගස්ආරේ පුංචි නිවසේ සිය මවගෙන් කිරි උරා බොමින් සිටි මේ කුඩා දරුවා, ඒ සියවස තුළ රටට පහළ වූ උදාරතම පුද්ගලයෙකු වෙතැයි කිසිවෙක් එදින නොසිතන්නට ඇත.
වාග් හරබයේ සුනිශිත භාවයත්, බස හැසිරීමේ මනා කෞශල්‍යත් කුඩා කළ සිට මොනවට ප්‍රකට කළ කුමාරතුංග මුනිදාසයන් සිය පළමු පාසල වශයෙන් දික්වැල්ලේ බෞද්ධ පාඨශාලාවට ඇතුළත් වී ශිල්ප හැදෑරූ අතර අනතුරුව බලපිටියේ උසස් විද්‍යාලයේ සවැනි වසරට ඇතුළු විය. කෙසේ නමුදු නැවතත් මාතර ශාන්ත තෝමස් විදුහලට ඇතුළු වී ඉංග්‍රීසි 7 වෙනි ශ්‍රේණිය දක්වා හැදෑරූ මුනිදාසයන්ගේ පාසල් ගමන, අවාසනාවන්ත ලෙස අතරමග නවතින්නට විය. ස්වයං අධ්‍යාපනය සඳහාම උපන් දරුවෙකු ලෙස, මෙතුමන් එම අභියෝගය ඉතා සාර්ථක ලෙස භාර ගනිමින්, ආයුර්වේද වෛද්‍යවරයකු වූ තම පියා රැස් කොට තිබූ පොත්පත් සඟරා ආදිය කියවීම මගින් තම දැනුම හා කුසලතාවයන් වඩාත් හොඳින් ඔප්නංවා ගැනීමට සමත් විය. ජීවන තොරතුරු හෙළි කෙරෙන එතුමාගේ “පියසමර” කාව්‍යයේ ඒ තතු මෙසේ සටහන් වී ඇත.
“මුලැ පටන් ඔබ ගත් හැම පත්
රටේ පිළිවෙලින් බැඳැ එක් කොටැ පොත්ලෙ
සින් එකල පේයැ කියූ ගෙයි වූ නමුත්
එහි අළුත් කොයි දැයි නැත දැන් දැනුම්
ඒ සැම පත් බැලුයෙමි මම නම් ලදී
ගෙදර ගොස් වැදැ උන් සමයේ නිකම්
සපල ව් මැ යැ ඉන් ඔබ ගත් ඒ තැන්
සොඳුරුයි පලක”
එලෙස සිය ඥාන සම්භාරය අධ්‍යයන කටයුතු මඟින් අපූරු ලෙස දියුණු කර ගනිමින් සිටි කුමාරතුංග මුනිදාසයන්, පසුව භාෂා දැනුම දියුණු කර ගැනීමේ අරමුණින් එවකට වැවුරුකන්නල පන්සලේ වැඩ විසූ ගරු කහවේ ආනන්ද හිමිගෙන් සංස්කෘත භාෂාව හදාරා අනතුරුව වර්ෂ 1904 දී කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට අනුබද්ධ ද්විභාෂා පාසලේ ශිෂ්‍ය ගුරු තනතුරකට පත්විය. එමෙන්ම මෙතුමන් එම අභ්‍යාස විද්‍යාලයේ පැවති විභාග සයකට මුහුණ දී ඉන් වැඩිම ලකුණු ගෙන ප්‍රථම ස්ථානය ලබා ගැනීමට තරම් කුසලතා පූර්ණයෙකු බවට පත්විය.
ඒ අනුව 1909 නොවැම්බර් මාසයේ සිට කඩුගන්නාවේ ද්විභාෂා විද්‍යාලයේ මුල්ගුරු තනතුරට පත්වන මුනිදාසයන් එම කාලයේදීම ප්‍රවීණ පණ්ඩිත විභාගයේ, ප්‍රාරම්භ විභාගයට පෙනී සිට වැඩිම ලකුණු ලබාගත් ත්‍යාගලාභී ශිෂ්‍යයා බවට පත්වීමට වරම් හිමිකර ගත්තේය. එතැනින් නොනැවතුන මෙතුමා වයස අවුරුදු 30 දී එනම් 1917 දී පාඨශාලා පරීක්ෂකවරයකු ලෙස සිය වෘත්තීය අත්දැකීම් එක්කර ගන්නට උත්සුක වූ අතර වසර 1922 දී ඉන් ඉවත්ව පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට අයත්ව පැවති නිට්ටඹුව ගුරු විදුහලේ අධිපති ධූරයට පත්වන ලදි.
ඒ අනුව කුමාරතුංග මුනිදාසයන් සියවස තුළ බිහි වූ ශ්‍රේෂ්ඨතම පඬිවරයෙකු ලෙස සිය අනන්‍යතාවය සකසා ගත් අතර සෙසු සාහිත්‍යකරුවන් අතරින් කැපී පෙනෙන සුවිශිෂ්ට ඥාන සම්භාරයකට හිමිකම් කීය. මේ වන තෙක් ගත කළ තම ජීවින ගමන තුළ සාහිත්‍යකරුවෙකු, ගුරුවරයෙකු, ගුරුවරු පුහුණු කරන්නෙකු, මුල් ගුරුවරයෙකු, පාසල් පරීක්ෂකවරයෙකු ආදී ලෙස තම කලාකාමී වෘත්තිය දිවි පෙවෙත ද අති සාර්ථක ලෙස ගත කිරීමට මුනිදාසයන් භාග්‍යවන්ත විය.
ඔහු තුළ පැවති අසාමාන්‍ය භාෂා ඥානයත්, නිර්මාණශීලී චින්තනය සඳහා සිංහල භාෂාව හැසිරවීමත්, සිංහල, පාලි, සංස්කෘත භාෂා හැසිරවීමේ හසල දැනුමත් ආදී සුවිශිෂ්ට කෞෂල්‍යයන් ගෙන් සන්නද්ධව සිටි මෙතුමන් දමිළ, මලයාලම්, ඉංග්‍රීසි, ලතින් සහ ග්‍රීක් භාෂා හැසිරවීමේ ද ප්‍රවීණයෙක් විය. තවද ඔහු මෙරට (1887-1994) විසූ ප්‍රකට වාග් විශේෂඥයෙක්, ආර්ථ කතාකරුවෙක්, කවියෙක් හා පත්‍ර කාලාවේදියෙක් වන්නේය.
ඒ අනුව නිර්මාණශීලී ලේඛකයකු ලෙස ළමා පද්‍ය හා ගද්‍ය සාහිත්‍ය වෙත සුපිළිපන් මුනිදාස ශූරීන්, ළමා මනසෙහි ඇති විචිත්‍රත්වය සියුම් ව හඳුනා ගනිමින් සිය ලේඛන හැකියාව ඒ කෙරෙහි සුමට ලෙස හසුරුවන්නට සමත්කම් පෑය. එතුමා විසින් රචිත කුමර ගී, කියවන නුවණ, ශික්ෂා මාර්ග, අකුරු සැහැල්ල, හීන් සැරය, මඟුල් කෑම, හත්පණ ආදී පොත් නොසිතූ ලෙස ළමා වැඩිහිටි කොයි කාගෙත් ජනාදරයට පාත්‍ර විය.
ජාතියක ජීවනාලිය බඳු වූ ළමා පරපුර කෙරෙහි සිය ළැදියාව විදාහල මුනිදාසයන් ළමයින් තුළ උදාර ආකල්ප ඇති කිරීමේ අදිටනින් ළමා පද්‍යකරණයේ නියැලුණි. එමගින් ළමා මනස, ඔවුන්ගේ ක්‍රියා-ආකල්ප හා රුචි අරුචිකම් පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව සුඛනම්‍ය බස් වහරක් සිය නිර්මාණකාර්‍ය කෙරෙහි යොදාගත් මෙතුමන්, එලෙස හසුරුවන ලද අපූරු බස් වහර මගින් ළමා මනස තුළ චමත්කාර සංකල්පනාවන් ජ්වලිත කරවීමට නිරායාසයෙන්ම සමත් විය. තවද මෙතුමන්ගේ පද්‍ය නිර්මාණ තුළ ගායනයට සුදුසු ආකෘති භාවිත කිරීම නිසාම එම නිර්මාණ එදා සේම අදත් එකසේ රස විඳිය හැකි ඒවා විය.
මෙතුමන්ගේ ප්‍රබන්ධකරණයට සියවසක් පමණ කාලයක් ගතවී තිබුණද අද වන විටත් කුමාරතුංගයන් රචනා කළ නිර්මාණ පාසල් විෂය නිර්දේශයට එක්කර තිබීම, ඔහුගේ කෘති නිර්දේශිත කියවීම් පොත් ලෙස පරිශීලනයට යොමු කිරීම මගින්, එතුමා බිහි කළ සාහිත්‍යයේ වෙසෙස් වටිනාකම මොනවට විශද වනු ඇත.
සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි
උදයම පුබු දී
මුහුණට දිය දී
කුළ දෙවි නම දී
ගේ දොර අමදී
පාඩම් කරන ට
පත පොත ගෙන සිට
සිත වෙන දෙයකට
නොහරියි කිසි විට
උක්ත සඳහන් වනුයේ මෙතුමන්ගේ සහජ කවිත්වය සුමට ලෙස ඔප්නැංවෙන නිර්මාණයකි. ළමා පරපුරක දිශානතිය කෙබඳු විය යුතුදැයි යන්න සරල පද කිහිපයකින් ගැඹුරු ලෙස මෙතුමා අවධාරණය කර ඇත. හෙළ දෙරණ මත ‘සිරිමත්’ ලා බිහිවීම කුමාරතුංගයන්ගේ පරම අභිප්‍රාය වන්නට ඇත.
ඒ අනුව දේශයේ යහපත උදෙසා සිය පන්හිඳ හැසිර වූ කුමාරතුංග මුනිදාසයන් දෙස, බස, රැස තෙරුවන් ලෙස සැලකූ අතර එය රැකගැනීමේ අරමුණින් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ වර්ෂ 1941 දී ‘හෙළ හවුල’ නම් ජාතික සංවිධානයක් පිහිටුවා ගන්නා ලැබීය. මෙය සිංහල බසෙහි අභිවර්ධනය උදෙසා සුවිසල් මෙහෙවරක් ඉටු කළ ආයතනයක් විය. නිවැරැදි පිරිසිදු හෙළ බස නගාලීම මෙම ආයතනයේ මුල් අරමුණු අතර විය. හෙළ හවුලින් බිහි වූ කවිවරු, පඬිවරු ද බොහෝය.
“ලක්දිවට ඉතා බිහිසුණු කාලයකි. පිට රටින් සාල නැවතිණි නම් අපට කෑම නැත. පිට රටින් එන රෙදි නැවතුණි නම් අපට විළි වැස්ම නැත. පිට රටින් එන යාන නැතිනම් අපට ගමන නැත. කොටින් මැ පිට රට පිහිට නැත්නම් අපට කළ හැකි කිසිවක් නැත.”
(ලක්මිණි පහන් කතුවැකි – කුමාරතුංග මුනිදාස)
ඒ අනුව යටත් විජිත සමයේ අවසාන භාගයේ දී ශ්‍රී ලංකාව මුහුණ පාමින් සිටි අභාග්‍ය සම්පන්න තත්ත්වයන්ගේ අඳුරු සෙවනැලි අනාගතය කරා යොමු වන ආකාරය කුමාරතුංග මුනිදාසයන් කල්තියා දුටුවාදැයි හැඟෙන තරමට ඔහුගේ පරිකල්පනය පුදුම සහගත විය. උක්ත සඳහන් ඔහුගේ වචන අදට ද වඩා හොඳින් ගැළපේ යැයි හැඟෙනුයේ එබැවිනි.
මෙලෙස, සිය දිවි පෙවෙත තුළ අන් කිසිවකට, කිසිවෙකුට සමකළ නොහැකි ආකාරයේ අමිල මෙහෙයක් දේශීය සාහිත්‍යයට හා ළමා සාහිත්‍යයට සිදු කළ කුමාරතුංග මුනිදාස පඬිවරයාණන් වසර 57 ක් පමණ ආයූ වළඳා වර්ෂ 1944 මාර්තු මස 02 වැනි දින සිය දිවි රඟමඬලින් බැස යන ලදි.
එබැවින්, දැයක් සාහිත්‍යයෙන් පොහොණි කළ ඒ අමරණීය මිනිසාගේ ජන්ම දිනය යෙදී ඇති අද දින, එතුමන් තනන්නට වෙර දැරූ ‘සිරිමත් – දරුවන්’ මේ දෙරණ මත සදා පහල වේවායි Colombo Beacon අපි ප්‍රාර්ථනා කරන්නෙමු!
Design by – Shanaka Vishwantha
Leave a Comment