මුළු නිවසම අතුපතු ගා අවසන් කළ සිරියාවතීට වෙනදට වඩා කාන්සිය දැනුනි. පාන්දරින්ම මල්ලි සිය බිරිඳ සහ දරුවන් සමග වන්දනා වේ පිටත් වූ නිසා නිවසේ තිබූ සියලූම වැඩ සහ මෙතෙක් කල් ගොඩ ගැසී තිබූ පොඩි වැඩ සියල්ල ද සන්ධ්‍යා භාගය වන විට නිම කිරීමට ඇයට හැකි විය.
ඉක්මනින් ඇග පත සෝදා බුදු පහන තැබීමට මල් කැඩීම ට වත්ත පහල ඉද්ද ගහ ලගට යන්නට අහසේ බැබලෙමින් තිබු පොසොන් සඳේ සඳ කැන් සිරියාවතීට ආශිර්වාදයක් විය. නිවස ඉදිරිපිට කෙතරම් මල් තිබුනත් බුදුන් පුදන්නට ඒවා කැඩීම මල්ලිගේ බිරිඳ විසින් තහනම් කලේ එම ගස් වල අලංකාරය නැති වෙනවා යැයි පවසමිනි.
පන්සලේ ඝන්ටාර නාදය ඇසෙන විට බුදු පහන තැබීමට අඩුම කුඩුම සියල්ල ලෑස්ති කර ගත් ඇය බුදු පහන තබා පන්සලේ යකඩ කටින් පිට වන හාමුදුරුවන්ගේ ශබ්දයට කන්දෙමින් ගෙදර සිටම පෝදා බෝධි පූජාවට එකතු වුණා ය.
මල්ලි සහ නංගිලාගේ කටයුතු අවසන් කළ දා සිට නොකඩවා සෑම පෝයකටම සිල් සමාදන් වූ ඇයට මල්ලීගේ බිරිඳට දරුවන් ලැබූ දා සිට එය සිහිනයක් පමණක් විණි. අද දිනත් ඇයට නිවසින් පිටව නොයන ලෙස මල්ලි විසින් අවවාද කර ගිය නිසා නිවසේ සිටම බෝධි පූජාවට සහභාගි වුවත් ඇයගේ සිතේ තුන් හිතකවත් කහටක් නොවීය. සියල්ල අවසන් කර උලුවස්සට හේත්තු වී ඈදි ගෙන පොසොන් සඳ දිහා බලාගෙන ඉද්දි ඇයට අතීතය මෙනෙහි වන්නට විණි.
වෛරස් උණක් සෑදී මව මිය යන විට සිරියාවතීගේ වයස යන්තම් 12 පසු වුණා පමණි. ඇගේ තාත්තා පොල් ගස් නඟිමින් එදා වේල සොයා ගන්නා පුද්ගලයෙක් වූ බැවින් තාත්තා ගෙනත් දෙන ඉතා සුළු මුදල අර පරිස්සමින් පාවිච්චි කරමින් ඈ පාසල් යන අතරතුර නංගිලා දෙදෙනා සහ මල්ලිව බලා ගත්තේ මවගේ අඩුව පුරවමිනි. පොල් ගසකින් වැටී තාත්තා ඔත්පළ වන්නේ ඇය සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරනවාත් සමගිනි.
තාත්තගේ ඔත්පළ වීමත් සමග ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩට යන ඈ එතැන් පටන් තම පවුලේ බර කරට ගන්නේ ඇගේ සිහින සියල්ලම පසෙකලමින්, උදේ පාන්දර නැගිට උයා පිහා ඉදිආප්ප තම්බා හන්දියේ කඩේට ලබාදී එතැනින් වැඩට ගොස් හවසට පැමිණ තමාව නහවා නිවසේ සියලුම වැඩද අවසන් කර නිදාගන්නා තමාගේ වැඩිමහල් දියනිය දෙස බලාගෙන සිටීමට නොහැකිව තාත්තා මිය යන්නේ වස කුප්පියක් බීමෙනි, තාත්තා මියගිය පසු සිරියාවතීට වැඩි කලක් ඇගලුම් කර්මාන්ත ශාලාවේ වැඩට යාමට නොහැකි වන්නේ යොවුන් වියේ එලිපත්තේ සිටින ඇගේ නංගිලා දෙන්නාට පාසල් ගොස් පැමින තනියම නිවසට වී සිටීමට සිදුවන නිසායි. එතැන් පටන් කඩවල් වලට ඉදිආප්ප, ලැවරිය, වණ්ඩු ආප්ප තම්බමින් තමන්ගේ සොහොයුරුන් තිදෙනාගේම සරසවි සිහිනය සැබෑ කරන ඈ ලොකු නංගීව පරිපාලන ක්ෂේත්‍රයටත්, මල්ලීව බැංකු රැකියාවකටත් පොඩි නංගීව ඉංජිනේරුවරියක් කරන්නේත් ඇයගේ තරුණ ජීවිතයම කුස්සියේ දුම් ගොඩට දියකරමිනි.
පොඩි නංගි විවාහ වී රටින් පිටව ගොස් දැනට අවුරුදු දහයකට ළං වූවත් තාම ඇයව බැලීමට නොපැමිණියා ය. ලොකු නංගී ද විවාහ වී වෙන්වූයේ ඇයට විවාහය සඳහා ආරාධනාවත් නොකරයි. පසුව ඇය මල්ලීත් සමග නිවසේ තනිවුණි. ටික කලෙකින් මල්ලීත් විවාහ වූ පසු ලොකු නංගී ඇයව සිය නිවසට ගෙන්වා ගත්ත ද, ඇයගේ කෙනෙහෙලිකම් හමුවේ සිරියාවතීට තවදුරටත් එහි සිටීමට නොහැකි විය.
නැවතත් මල්ලී සිය නිවසට අක්කාව රැගෙන ආව ද එතැන් පටන් ඇයට එහි මෙහෙකාරියක ලෙස සියලුම වැඩපල කරමින් එහි වෙසීමට සිදුවුනි. කෙතරම් වැඩපල කලත් තමාට අවශ්‍ය සබන් කැටයක් ගැනීමටවත් ඇය මල්ලීට කරදර නොකළාය. පොල් අත්තක් වියා, ඉරට්ටක් ගා රැස් කරගන්නා මුදලෙන් ඇය ඇගේ වියදම් සහ පින්දම් කටයුතු බලාගත්තා ය. අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් වන්දනා කිරීමට යාමට එකතු කරගත් මුදලින් ද ඇය පන්සලේ රන් වැටට ආධාර කලේ හදපිරි භක්තියෙනි.
අද සිය සොහොයුරා සිය පවුල සමග අනුරාධපුර වන්දනාවේ ගියද ඇයට ඔවුන් ගැන කිසිදු අහිතක් නොවුණි. තම සොහුයුරු සොහුයුරියන්ගේ තත්වයට තමාව නොගැලපෙන නිසා තමාව ඔවුන් නොසලකා හරින බව අවබෝධයෙන් දැන සිටි සිරියාවතී දොරවල් වසා සයනය වෙත ගොස් දෑස් පියා ගත්තේ තමා නිසා අද සතුටින් ජීවත් වන තම සහෝදර, සහෝදරියන් ගැන හදවතින්ම සතුටු වෙමිනි.
මේ අතර අනුරාධපුර චාරිකාව නිමකර නිවසට පැමිණෙමින් සිටි සිරියාවතීගේ මල්ලිලාගේ වාහනය තේ පානය සඳහා නතර කර සියල්ලෝ තේ පානයට සැරසුනි. කඩයේ තේ සදන මහලු ගැහැණිය දුටු සිරියාවතීගේ මල්ලීට තම සොයුරිය සියපත් විය. තමන්ගේ ජීවිතය සිය ලොකු අක්කා නොමැතිනම් අද මෙලෙස නොලියවෙන බව ඔහුට සිහිවිය.
සොයුරියට කැවිලි සහ බුදු පිලිමයක් මිලදීගත් ඔහු සිතුවේ තමන්ගේ සොයුරියව අද සිටවත් හොදින් බලාගත යුතු බවයි.
නමුත් ඒ වනවිටත් සිය සොයුරිය අවසන් වරට දෑස පියාසිටි බව ඔහු නොදැන සිටීය.
Leave a Comment