විශේෂ දිනයන්

ලොවක් තනනා දිරිය ලඳුනට වෙන්වූ දිනය

කාන්තාව වනාහි ලෝකයක් බිහිකරන්නාවූ මූල බීජය බව අවිවාදයෙන් අප කාටත් පිළිගත හැකි කාරණාවකි. දිනයක් වෙන්කලත් නොකළත් සෑම දිනයකම කාන්තාවට ගරු කළ යුතුයි. අගය කළ යුතුයි.

එසේනම් ඇයි ඔවුනට එක් දිනයක්? සොයා යමු, එහි මූලාරම්භය… කතාවස්තුව.  

අද වනවිට සෑම රටක්ම සමරන, එක්සත් ජාතීන්ගේ පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය දක්වා එය වර්ධනය වූයේ, කම්කරු ව්‍යාපාරය හරහාය.

එහි මූලාරම්භය ඇති වූයේ, 1908 වර්ෂයේදී කාන්තාවන් 15,000ක් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙන් බව සඳහන් වේ. මේ හේතුවෙන් ඉන් වසරකට පසු පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමෙරිකානු සමාජවාදී පක්ෂය විසිනි.

මෙම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතු යැයි ක්ලාරා සෙට්කින් නමැති කාන්තාවක් 1910 දී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී පැවසීය. එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර ඇයගේ යෝජනාව ඒකමතිකව ස්ථිර විය.

කාන්තා දිනය පළමු වරට 1911 වසරේදී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල සැමරිණි. 

1911 දී ආරම්භවූ ජාත්‍යන්තර කාන්තා දිනයේ 110 වන සැමරුම යෙදී ඇත්තේ 2021 මාර්තු 8 වන දිනයි.

1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් කාන්තා දිනය සමරනු ලැබීමත් සමඟ ඊට නිල පිළිගැනීමක් ලැබිණි. එම දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංගමය යෙදූ පළමු තේමා පාඨය වූයේ, “අතීතය සමරමින්, අනාගතය සැලසුම් කරමින් සිටිමු” යන්නය. මෙවර එහි තේමාව වී ඇත්තේ, “සමාන ලොවක් යනු සක්‍රීය ලොවකි” යන්නය. එමගින් ඉල්ලා සිටින්නේ, ස්ත්‍රී පුරුෂ භේදයක් නැති සමාන ලෝකයක් වෙනුවෙන් ක්‍රියා කරන ලෙසය.

අද වනවිට ආර්ථික, සමාජයීය, දේශපාලනික ආදී අංශ වලින් ඉදිරියට ඒමට බොහෝ කාන්තාවන් සමත් වී ඇත. කාන්තාවන් මදක් පහත් කොට සලකන දකුණු ආසියාතික රටවලද දැන් තත්වය වෙනස්ව තිබේ. සෑම අංශයකින්ම කාන්තාවන් ඉදිරියට පැමිණෙමින් පවතී.

රුසියාව ඇතුළු රටවල් රැසක ජාත්‍යන්තර කාන්තා දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ. මාර්තු 08 දිනය ආසන්න වෙද්දී එම රටවල මල් අලෙවිය දෙගුණයකින් පමණ ඉහළ යයි.

චීනයේ මාර්තු 08 වන දා බොහෝ කාන්තාවන්ට දින භාගයක නිවාඩු හිමිවෙයි. 

ඉතාලියේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේ, මීමෝසා මල් ප්‍රධානය කිරීමෙනි. මෙම සම්ප්‍රදායේ ආරම්භය කෙසේ සිදුවී ද යන්න පැහැදිලි නැත. එහෙත්, එය දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු රෝමයෙන් ඇරඹුණු බව විශ්වාස කෙරේ.

ඇමෙරිකාවේ මාර්තු මාසය සැලකෙන්නේ, කාන්තාවන්ගේ ඉතිහාස මාසය ලෙසය. ඇමෙරිකාවේ කාන්තාවන් ලැබූ ජයග්‍රහණ සම්බන්ධයෙන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිවරයා වාර්ෂික නිවේදනයක් නිකුත් කරයි.

ශ්‍රී ලංකාවේද කාන්තා දිනය වෙනුවෙන් රජය මඟින්, ආයතන මට්ටමින් විවිධ වැඩමුළු පවත්වයි. 

තවද කාන්තාවන් උදෙසා සමාජයෙන් එල්ලවෙන ස්ත්‍රී දූෂණයන්, කායික සහ වාචික අඩත්තේට්ටම්, ගෘහස්ථ හිංසනයන් වැලැක්වීමට කටයුතු කිරීම සමාජීය  වගකීමක් බව කාන්තා දිනයේදී ඉස්මතු කර පෙන්විය යුතු කරුණක් බවට පත්ව තිබේ.

ඔබත් සුවඳ හමනා ශක්තිමත් ගැහැණියක් වන්න… ඒ වෙනුවෙන් කැපවී ලොව දිනන්නට, ශක්තිය හා නොමඳ ධෛර්යය ලැබේවා කියා Colombo Beacon අපි සුභ පැතුම් එක්කරන්නෙමු. 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පියුමි මධුභාෂිණී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment