දැනුම

ලොවක් දිනා ක්‍රීඩා තොටිල්ලෙහි ලක්මව කිරුළු පැළැන්දු ආසියානු කළු වෙළඹ

දිනය- 2000 සැප්තැම්බර් 28
ස්ථානය- ඔස්ට්‍රේලියාවේ සිඩ්නි.
සිදුවීම- ශ්‍රී ලාංකික ජනතාවගේ හුස්ම හිර කළ තත්පර 22.28 ක කාලය නිමා කරමින් ලක්  මාතාව රිදියෙන් ඔටුනු පළඳා ඔලිම්පික් තරගාවලියක ලාංකික ක්‍රීඩිකාවක් පළමු වරට පදක්කමක් දිනාගත් මෙරට ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන වූත්, ස්වර්ණමය වූත් මතක සටහන

ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන වරට පදක්කමක් දිනා ගැනීමට මෙන්ම කෙටි දුර ධාවන ඉසව්වක ඔලිම්පික් හෝ ලෝක ශූරතා පදක්කමක් දිනූ පළමු ආසියාතික කාන්තාව බවට පත් වීමට වාසනාව ලද ඇය නමින් සුසන්තිකා ජයසිංහ ය. 1948 වර්ෂයේ දී ඩන්කන් වයිට් මහතා විසින් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමෙන් පසු වසර 52 ක් තිස්සේ ඔලිම්පික් ජයග්‍රහණයක් සිහිනයක්ව සිටි ශ්‍රී ලාංකිකයින්ට ඔලිම්පික් සිහිනය යථාර්ථයක් කළේ ඇය යි.

සබරගමුව පළාතේ වරකාපොල ප්‍රදේශයේ උඩුවක නම් සුන්දර ගම් පියසේ දරුවන් පස්දෙනෙකුගෙන් යුක්ත පවුලේ බාලයා ලෙසින් වර්ෂ 1975 දී දෙසැම්බර් මස 17 වන දින ජන්මය ලැබූ ඇය උඩුවක කණිෂ්ඨ  විදුහලෙන් මූලික දැනුමත් ඇත්නාවල  මහ විදුහලෙන් උසස් අධ්‍යාපනයත් ලැබී ය.

අගහිඟකම් වලින් පීඩිත තම ළමා විය ඇය විසින් සුන්දර කර ගනු ලැබුවේ කුඩා කළ පටන් ලැබූ ක්‍රීඩා ජයග්‍රහණ හමුවේය.
ගමේ අවුරුදු උත්සවයෙන් ඇරඹි තම ධාවන ජයග්‍රහණයන් ඔලිම්පික් ජයග්‍රහණයක් කරා ගෙන ගිය ගමන් මග මල් ඇතිරූ සුන්දර මාවතක් නම් නොවී ය. 
ගම්මානයේ නියරවල් දිගේ සහ වැලි බොරලු පාරේ වැටී තිබූ ඇයගේ ධාවන පථය තම දෙපා වලට හුරුපුරුදු වුව ත්, කෘතීම ධාවන පථයක හුරුවක් නොතිබූ ඇයට තමන්ගේ අප්‍රතිහත ධෛර්යය, වෙහෙසකර කැපවීම හා නොසැලෙන අධිෂ්ඨානය එකී බාධකයන්ට පා පහරක් බඳු විය.

වර්ෂ 1994 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වෙච්ඡා බලසේනාව සමඟ එක් වන ඇය එම වර්ශයේ දී ම හිරෝෂිමා ආසියානු ක්‍රීඩාඋළෙලේ දී ම  මීටර් 200 කෙටි දුර ධාවන තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර 1995 වර්ෂයේ දී  ජකර්තා ආසියානු ශූරතාවලියේ දී මීටර් 200 රන් පදක්කම සහ මීටර් 100 රිදී පදක්කම දිනා ගනිමින්  ඇය ආසියාව ජය ගන්නට විය.  තම ක්‍රීඩා දිවියේ නොමැකෙන මතක  සටහනක් තබමින් සුසන්තිකා ජයසිංහ  වර්ෂ 1997 ග්‍රීසියේ ඇතෑන්ස් ලෝක ශූරතා මළල ක්‍රීඩා උළෙලේ දී  ලෝක ශූරතා මළල ක්‍රීඩා උළෙලක  කෙටි දුර ධාවන තරගයක දී පදක්කමක් හිමි කරගත් ප්‍රථම ආසියානු ක්‍රීඩිකාව බවට පත් වෙමින් මීටර් 200 ධාවන ඉසව්වේ රිදී පදක්කම තමන් සතු කරගන්නා ලදි.

අනතුරුව ඔලිම්පික් සිහිනය දකිමින් ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණුව ලද ඇය මෙරට මලළ ක්‍රීඩා ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාව සනිටුහන් කරමින් 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ මීටර් 200 කාන්තා අවසන් තරගයට මුහුණ දුන්නේ සුවහසක් ශ්‍රී ලාංකීය ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින්‍ ය. තම හොඳම ධාවන වේගය සිඩ්නි ධාවන පථය මත සනිටුහන් කරමින් තත්පර 22.28 කාලයක් තුළ තරගය නිමා කරමින් ඇය සිඩ්නි ඔලිම්පික් මීටර් 200 කාන්තා අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී. නමුත් තරගයේ ප්‍රථම ස්ථානය දිනූ ක්‍රීඩිකාව තහනම් උත්තේජක භාවිතා කර ඇති බව තහවුරු වීමත් සමඟ ඇයට රිදී පදක්කම ලැබීමට වාසනාව උදා විය.

ඉතා අමිහිරි වේදනා අතරින් ක්‍රීඩා ජීවිතයේ ඉදිරියටම ගමන් ගත් ඇය 2002 වසරේ දී දකුණු කොරියාවේ බූසාන් හි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 රන් පදක්කමත්, 2002 කොළඹ පැවති ආසියානු ශූරතාවලියේ මීටර් 100 හා 200 ඉසව් දෙකෙහිම රන් පදක්කමත්, 2006 කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලෙ හි  මීටර් 100 රිදී පදක්කමත් එහි මීටර් 200 තරගයේ ලෝකඩ පදක්කමත්, 2007 ජෝර්දානයේ අම්මාන් හී ආසියානු ශූරතාවලියේ මීටර් 100 හා මීටර් 200 ධාවන ඉසව් දෙකෙහිම රන් පදක්කමත් හිමි කරගන්නා ඇය 2007 වසරේ දී ම ජපානයේ ඔසාකා හී ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ලෝකඩ පදක්කම දිනාගනිමින් දෙවන වරටත්  ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියක පදක්කමක් තමන් සතු කරගැනීමට වාසනාව හිමි කරගන්නා ලදී. පහළම මට්ටමින් තම ධාවන ජීවිත අරඹා මළල ක්‍රීඩකයෙකුට යා හැකි ඉහළම ජයග්‍රහණය වන ඔලිම්පික් ජයග්‍රහණයක් ද තමන් සතු කරගෙන මෙරට මළල ක්‍රීඩා වංශකතාව වෙනස් කරන ලද මෙම අතිවිශිෂ්ට ක්‍රීඩිකාව 2009 වසරේ දී තම ක්‍රීඩා දිවියට සමු දෙන අවස්ථාව වන විට දී ත් කෙටි දුර ධාවන ඉසව්වේ ලෝකයේ හොඳම දහසය දෙනා අතර තම නම රඳවා තබා ගන්නා ලදී.

එලෙස රනින්, රිදියෙන් ලියවී දිග හැරෙන ඇගේ ක්‍රීඩා දිවිය රන්, රිදී තරම් සුන්දර නම් නොවුණ නමුත්, රන්, රිදී වලටත් වඩා එම දුෂ්කර ගමන් මග වර්තමාන ක්‍රීඩකයින්ට මෙන්ම සාමාන්‍ය පුද්ගලයෙකුට ද බෙහෙවින්ම වටිනා බව නම් නොඅනුමානය. තම ක්‍රීඩා දිවිය තුළ පමණක් නොව, ඉන් පසුත් ජීවිතයේ ඕනෑ තරම් බැට කෑ කාන්තාවක් වූ සුසන්තිකා ජයසිංහ කාන්තාවකගේ අධිෂ්ඨානය පිළිබිඹු  කරන කැඩපතක් වැනිය.

2000 සිඩ්නි ඔලිම්පික් මීටර් 200 කාන්තා අවසන් තරගයේදී තත්පර 0.01 කාලයකින් එනම් තප්පරයෙන් සීයෙන් එකක අති සියුම් වූ කාලයක වෙනසකින් ජයග්‍රහණය  රන් ද, රිදී ද යන්න තීරණය කළ ඒ අති දරුණු තීරණාත්මක මොහොතින් සුසන්තිකා ජයසිංහයන් කාලයෙ හි වටිනාකම පිලිබඳ හොඳම පාඩම අපට කියා දුනි. 

තත්පර 0.01 කාලයකට ශ්‍රී ලාංකිකයින්ට ඔලිම්පික් රන් පදක්කම අහිමිව ගිය ද එවැනි අවසන් තරගයක දී අති තියුණු තරගයක් ලබා දීමට තරම් සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව කෙතරම් දක්ෂ දැයි මනාව පෙන්නුම් කරයි.

තමන් දක්නා අරමුණ එක රැයකින් සඵල කර ගැනීම වෙනුවට පියවරෙන් පියවර ඒ කරා ගමන් කළ යුතු බව තරයේ විශ්වාස කරන ඇය පෙන්වා දෙනුයේ, නව පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළමුවෙන්ම ඔලිම්පික් සිහිනය දැකීමට පෙර තමන් ළඟා කර ගත යුතු පහළ මට්ටමේ ජයග්‍රහණයන් සම්පූර්ණ කර සිටිය යුතු බවයි. 

 “අපි මුලින්ම ශ්‍රී ලංකාවේ පළවෙනියා වෙන්න ඕන, දෙවනුවට දකුණු ආසියාව ජයගන්න ඕන,  ඊට පස්සෙ ආසියාවේ පළවෙනියා වෙන්න ඕන, ඒ සියල්ලම ජයග්‍රහණය කළාට පස්සෙ තමයි ලෝකයම ජය ගන්න ඔලිම්පික් සිහිනය දැකිය යුත්තේ…”

  ඇය පවසන එකී අනුක්‍රමයෙන් යා යුතු ගමන ක්‍රීඩාවට පමණක් නොව ජීවිතයේ ඕනෑම ගමනක් සාර්ථක කර ගැනීම උදෙසා නිසැකවම ඉවහල් වනු ඇත.

ඉතා දුෂ්කර සහ ආර්ථිකයමය අපහසුතා ගොන්නක් මැද ඉතා අඩු පහසුකම් යටතේ තම ක්‍රීඩා හැකියාව වැඩි දියුණු කරගනිමින් වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට කළ නොහැකි වූ ආකාරයේ ජයග්‍රහණ රැසක් මව්බිමට ගෙන ආ සුසන්තිකා ජයසිංහ සැලකිය යුතු පහසුකම් මැද ක්‍රීඩාවේ නියැලෙන වත්මන් පරපුරෙහි  නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සැබවින්ම ආදර්ශයකි. එමෙන්ම එවැනි සුවිශේෂී ජයග්‍රහණයන් උදෙසා දැඩි කැපවීමක් කළ යුතු බව දැඩිව අවධාරණය කරන ඇය ඉතා වෙහෙසකර පුහුණු වීම් මැද තම ආත්මයම ක්‍රීඩාව වෙනුවෙන් කැප කළ, ලක් මවට එදා මෙදා කාලය තුළ බිහි කළ දිරිය දියණියකි.

 තම ශක්තීන් ගැන ආඩම්බරයෙන් කතා කරනවා මෙන්ම තම දුර්වලතා සහ වැරදි  කෙරෙහි ද එක ලෙසම බර තබා කතා කරන ඇයගේ එම ලක්ෂණය ඇගේ සමබර බවත්, නිහතමානී බවත් මැනවින් පෙන්වයි. 

ක්‍රීඩාව පමණක් නොව රංගනයට ද දායක වී ඇති ඇය විශේෂයෙන්ම දේශපාලනයට ද සම්බන්ධ වූ අතර වර්තමානය වන විට ක්‍රීඩා කටයුතු අමාත්‍යංශයේ උපදේශකවරියක් ලෙස ද තම සේවය තවදුරටත් ලංකේය ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා ලබා දෙයි.

වර්තමාන පරපුරෙහි නව ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පුහුණු කිරීම උදෙසා ඔලිම්පික් පදක්කමක් ඇතුළු ලෝක ජයග්‍රහණ රැසක් තමන් සතු කරගත් ස්වකීය අත්දැකීමෙන් ලත් දැනුම, පුහුණුව, අවබෝධය ඇති සුසන්තිකා ජයසිංහයන් තරම් සුදුසු වූ තවත් කෙටි දුර ධාවන පුහුණුකරුවෙකු නොමැති බව නිතැතින්ම කෙනෙකුට සිතුන ද ඇයට පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කිරීමට ඉඩක් සොයා ගැනීමත් අපහසු කරුණක් බවට පත්ව තිබීම නැවත වතාවක් ඔලිම්පික් ජයග්‍රහණයක් පිළිබඳ  ලාංකිකයන්ගේ සිහිනය සිහිනයක්ම බවට පත්ව වීම අරුමයක් නම්  නොවනු ඇත. ඔලිම්පික් පදක්කමක් දිනූ ඒ සුවිශේෂ  ජීවමාන ක්‍රීඩිකාවගෙන් එවැනි ඵල ප්‍රයෝජනයක් නොගැනීම සහ ඒ සඳහා අවස්ථාව ලබා නොදීම අවාසනාවන්ත තත්වයකි. 

තමා මෙන්ම ලෝකය ජයගත හැකි ශක්තිමත් නවක ක්‍රීඩා පරපුරක් වර්තමාන ශ්‍රී ලංකාවෙ හි සිටින නමුත් ඔවුන්ව ඔලිම්පික් ජයග්‍රහණයක් කරා ගෙන යාමට අවශ්‍ය පුහුණුව හෝ පෙළගැස්වීම සිදු කරන ආකාරය කෙරෙහි තමා තෘප්තිමත් නොවන බවත් ඇය නිතර සඳහන් කරනුයේ යම් කලකිරීමකිනි. 

ක්‍රීඩකයෙකුගේ විනය සම්බන්ධයෙන් දැඩිව අවධාරණය කරන ඇය රටක් නියෝජනය කරමින් මහජන මුදලින් ජාත්‍යන්තර තරග බිමට පිවිසෙන ක්‍රීඩකයෙකුගේ වගකීම වනුයේ  ප්‍රතිඵලය කුමක් වුවද, ජයග්‍රහණය උදෙසා කැපවීම බව ඇය නිතර සඳහන් කරයි. එමෙන්ම ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය හරහා මඩ ගැසීම නොකරන්නැයි යන ඉල්ලීම ද සිදු කරන ඇය, මෙරට ක්‍රීඩාවෙහි උන්නතිය කෙරෙහි නිරන්තරයෙන් ක්‍රියා කිරීමට උත්සාහ කරයි.

ඇයගේ දැඩි කතා විලාසය ඇතැම් අවස්ථාවල සමාජයේ විවිධ විවේචනයන්ට ලක් වුව ද මළල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ඇය තරම් ලාංකිකයන් අභිමානයට පත් කළ වෙනත් ලංකේය ක්‍රීඩිකාවක් නොමැත. 

විවිධ අභියෝග රැසකට කුඩා කල සිටම මුහුණ දෙමින් ලෝක අවධානය දිනා ගෙන ජාත්‍යන්තර ධාවන පථයන් තුළ ලෝක බලවතුන්ට අභියෝගයක් වෙමින් ලාංකිකයින්ට සිහිනයක්ව පැවති ඔලිම්පික් ජයග්‍රහණය සැබෑවක් කරමින් තවත් ලෝක ජයග්‍රහණ කිහිපයක්ම සමගින් වෙනත් කිසිදු මළල ක්‍රීඩිකාවක් නොකළ ආකාරයේ සේවයක් සහ අභිමානයක්  ලක් මාතාවට ලබා දුන් විශිෂ්ට මළල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ නම් වූ ආදරණීය චරිතයට තම හතලිස් හයවන උපන්දිනය සමරන අද දිනයේ සුභම සුභ උපන්දිනයක් වේවා! යැයි Colombo Beacon අපි මෙලෙස ප්‍රාර්ථනා කරමු.

Design by : Shanaka Vishwantha

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හෂානි එදිරිසිංහ

නීති පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment