හාත්පස තෙරක් නොපෙනෙන කරදිය වළල්ලකින් වටවූත්,නේකවිධ වෘක්ෂලතාදියෙන් ගහණ සුගන්ධ පුෂ්පයන්ගෙන් යුක්ත වනාන්තර පද්ධතීන්ගෙන් ද ,සුරපුර නළගණන්ගේ සේල ගුවනත විසුරුවා ඇති සෙයින් දිස්වන මනහර කඳු වළලුවලින් යුක්ත වූත් ලංකාද්වීපය මිහිමත පාරාදීසයක සිරියෙන් යුක්ත ය.
දිවයින පුරා විසිරී යන ස්වභාවික ජලවහන පද්ධතිය තැනිතලා බිම් අස්වද්දමින් මේ සරුබිම බත බුලතින් ආඩ්‍ය කරවන්නේ මිහිමත ජීවයට ඉතා ඖචිත්‍ය පරිසර පද්ධතීන් මවා පාමිනි.
වසර දහස් ගණනක ප්‍රෞඪ සංස්කෘතියකින් හා සභ්‍යත්වයකින් යුත් ලාංකික ශිෂ්ටාචාරය අග්‍රගණ්‍ය නිමැවුම් වලින් සමන්විත විශිෂ්ට තාක්ෂණයකට උරුමකම් කියයි. එදා හෙළයින් තැනූ සාගර බදු මහා වැව්, මහා දාගැබ්, දඬු මොණරය වැනි ලොවක් කැළඹූ මෙරට තාක්ෂණික විස්කම් අධිවේගී මෝටර් රථ නිමැයුම් ලෙසින් අදත් කරළියට පැමිණ ඇත.
අතීත විරුවන්ගේ ප්‍රාණ වායුව හා මුසු වී හමන මදනළ අදටත් දේශය රක්නා ආරක්ෂක විරුවන් සමීපයේ නිරතුරුව ම සරමින් හෙළ බිම රැක ගැනීමට ආශිර්වාද කරයි. එසේම දැනුමින් සන්නද්ධව බුද්ධිය කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයකින් හා ස්වයං විනය පෙරදැරි කරගත් ශික්ෂණයකින් සවිමත් වූ පරපුරක් ලක් මවුන් සතු විය. සාහිත්‍යධරයන් විසින් රචිත ගද්‍ය,පද්‍ය කෘති පමණක් නොව සීගිරි කුරුටු ගී,ජන ගී ආදියෙන් වුවද පිළිඹිබු වන්නේ සාමාන්‍ය ජන විඥානයේ පැවති බුද්ධි ප්‍රභාවයි.
තඹවන් වැල්ලෙන් ගහණ වෙරළ තීරයේ පටන් මහා ගිරි ශිඛර දක්වා සැගවී පවතින ස්වාභාවික සම්පත් වලින් ලක්දිව සුපෝෂිත ය.
වර්තමානයේ දූෂිත මිනිස් බලවේගයන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා මෙරට පාරිසරික සුන්දරත්වය මෙන්ම ජීවයට හිතකර ස්වභාවය ද අභියෝගයට ලක් ව ඇත. ලාංකිකයන් සොබා දහමට අවනත නොවූ ජාතියක් නොවේ. එහෙත් සොබා දහමට පිටුපා මින් සිදු කළ ඇතැම් ක්‍රියාවන්වල අනිටු ඵල විපාක වලට වර්තමානයේ මුහුණ පෑමට සිදු ව ඇත.
වෙනස් විය යුතු ම කාලය දැන් එළඹ තිබේ.
මේ බුදුන් වැඩි දේශය යි. ආර්ය සත්‍ය පසක් කරගත් උතුමන්ගෙන් පැවත එන ජාතියයි. ආගමික, වාර්ගික, දේශපාලනික මතවාද වලින් බැහැරව එකාවන්ව නැගී සිටිය යුතු කාලය යි. සැවොම රොද බඳිමු. එක්ව වැඩ කරමු. ලක් මව්න් නංවමු.
Photo by Egle Sidaraviciute
Leave a Comment