විශේෂ දිනයන්

ලෝක ළමා දිනය….

සෑම වැඩිහිටියෙකු තුළම කුඩා දරුවෙකු ජිවත් වේ යැයි කියමනක් ඔබ අසා ඇති. ඔව් ඒක ඇත්ත, මං තුළත් ඉන්නව එහෙම පුංචි දරුවෙක්. අද ලෝක ළමා දිනය දවසෙ, ආයෙමත් පුංචි කාලෙට යන්න ඇත්නම් කියල හිතුණා. Assignment, report, viva, exam අස්සෙ හිර වෙච්ච අපි වගේ කැම්පස් ළමයි විතරක් නෙමෙයි, File, laptop, meeting අස්සෙ හිර වෙච්ච රැකියාවක් කරන කෙනෙක්ගෙන් වුණත් ඇහුවොත් ළමා කාලයට යන්න ආසයිද කියල, මට විශ්වාසයි බොහෝදෙනා පිළිතුරු දේවි ඔව් කියල. හැබැයි අපි ඒ අදහස් කරන ළමා කාලය මොනවගේ එකක්ද කියල අද ඉන්න ළමයි බොහෝ දෙනෙක්ට තේරෙන්නෙ නැතිවෙයි.
නීත්‍යානුකූලව තව දුරටත් ළමයින් ලෙස නොසැළකෙන ඔබට, මට තිබුණ සුන්දර ළමා කාලයක්… ඔබ එකඟ වෙනවාද?
අපි වැලි අනලා කෝම්පිට්ටු හැදුවා, වැස්ස දවසට කඩදහි ඔරු හදල මිදුලෙ පා කළා, ළඟම තියෙන වෙළකට, නැත්නම් පිට්ටනියකට ගිහින් සරුංගල් ඇරියා. සෙල්ලම් කරන්න ඕනෙ උනාම වටපිටාවෙන් හොයාගත්ත දේවල්වලින් තමා ඕනෙ කරන දේවල් හදාගත්තෙ. ඒ කාලෙ සෙල්ලම් බඩු තිබ්බෙ නැතුව නෙමෙයි. මටත් තිබුණ බෝනික්කො, මැටි වළං වගේ පුංචි පුංචි සෙල්ලම් බඩු. ඒ හැමදේමත් එක්ක වත්තෙ සෙල්ලම් කරනවනම්, මඤ්ඤොක්කා කොළේකින් මාලයක් හදාගන්නත්, කොස්කොළ ඔටුන්නක් හදාගන්නත් අපි පුරුදු වෙලා හිටියා. මට තේරෙන වයසට එනකොට මගේ සීයල ජීවතුන් අතර හිටියෙ නෑ, ඒත් ආච්චිඅම්ම අපිට කතන්දර කියල දුන්න මතකයි. එහෙම නැත්නම් අපිට කියවන්න තිබුණ හරිම ලස්සන පොත්. හත්පණ, මඟුල් කෑම, මඩොල් දූව, අඹ යාළුවො තාමත් මතකයි. ඔව් අපි ටීවී එකත් බැලුවා. කූඹිච්චි, ඥානකතා මල්ලි, දොස්තර හොඳහිත වගේ කාටූන්. ඒවට අපි කොච්චර ආදරේ කළාද කියනවනම් අදටත් ඒව බලන්න ආසයි. මට මතකයි ඉස්සර නිවාඩු කාලෙට අම්මගෙ තාත්තගෙ සහෝදර සහෝදරියන්ගෙ ළමයි අපේ ගෙදර එනවා. ඉතින් අපි බලන් ඉන්නෙ අගෝස්තු නිවාඩුව එනකම්. අපි එකතු වුණාම බට්ටො පනිනවා, හැංගිමුත්තන් කරනවා. අයියලනම් ක්‍රිකට් ගහනවා. ඔහොම එකතුවෙලා සෙල්ලම් කරන වෙලාවට ඉතින් පොඩි පොඩි රණ්ඩු එහෙමත් ඇතිවෙනවා. සමහර වෙලාවට සෙල්ලම ඉවර වෙන්නෙ සේරම තරහවෙලා, හැබැයි පහුවෙනිදත් ආයෙ ඒ විදියටම සෙල්ලම් කරනවා. වැස්ස වෙලාවට වත්තෙ සෙල්ලම් කරන්න බැරි වුණාම ගේ ඇතුළට වෙලා ගැහැණු පිරිමි මල් පලතුරු කරනව මට අද වගේ මතකයි. ඒ වෙලාවට තමයි ඉතින් ලෝකෙ නැති මල් වර්ග, පලතුරු වර්ග එහෙම අපේ කට්ටිය හොයාගන්නෙ. ඉතින් ඔය විදියට තමයි අපේ ළමා කාලෙ ගෙවුණෙ. ඔය අපි කරපු දේවල්වලින් කීප්යක් විතරයි. සමහර විට මීට වඩා වෙනස් දේවලුත් මේ කතාව කියවන ඔබ ඒ කාලෙ කරල ඇති. කොහොම වුණත් මට විශ්වාසයි, ඒ ළමා කාලය අනිවාර්යයෙන්ම සුන්දර එකක් වෙන්න ඇති කියල.

ඒත් දැන් කඩදහි ඔරු හදන්න online tutorial බලන්න වෙලා, කෝම්පිට්ටු හදන්නෙ ඉස්කෝලෙ ප්‍රදර්ශනයකට තියන්න ඕනෙනම් විතරයි, ඒකත් කඩේ තියෙන හෝදල පැකට් කරපු වැලි වලින්. සරුංගල්, ආ තාම සරුංගල් නම් අරිනවා, ඒත් ඉස්සර වගේ නූල කඩාගෙන යන යන සැරේට සරුංගල් හදන්නවත්, කොහේ හරි පැටලිලා සව්කොළ ඉරුණම පැච් දාන්නවත් ඕනෙ නෑ. Online order කරල ගෙදරටම ගෙන්නගන්න පුළුවන් සරුංගල්. Laptop එකක් හරි smart phone එකක් හරි ගත්තම එක එක ජාතියෙ games. අපි ඒ කාලෙ කරපු වත්තට බැහැල කරපු සෙල්ලම් දැන් පුටුවක් උඩට වෙල online කරන්න පුළුවන්. ඒව ඉස්සරහට වෙලා දවසම උනත් game ගහන්න පුළුවන් ළමයි අද බිහිවෙලා. ඉතින් එයාලට සෙල්ලම් කරන්න යාළුවො ඕනෙ නෑ. අපි ඇඟිලි ගැනපු අගෝස්තු නිවාඩුව ලැබෙනවට දැන් ළමයි කැමතිද කියන එකත් ප්‍රශ්නයක්, ඇයි ඉතින් උදේ ඉඳන් රෑ වෙනකම් අමතර පන්ති දාලා. අද කාටූන් නම් ඕනෙ තරම්, ඒත් දැන් කාටූන් චරිතවලට ඉස්සර වගේ පුංචි ළමයින්ගෙ හිත් හොරාගන්න පුළුවන්ද කියන්න මම දන්නෙ නෑ. කියවන්න පොතුත් ඕනෙ තරම්, ඒත් කියවන්න වෙලාවක් හොයාගන්න පුංචි ළමයින්ට පුළුවන්ද කියන්න මම දන්නෙ නෑ. කතන්දර අහගන්න ආච්චිල, සීයල තමන්ගෙ ගෙදර ඉන්නවද කියන්න මම දන්නෙ නෑ. මේ මොන දේ කරන්නත් ඉඩක් ලැබෙන තරම් වෙලාවක් පුංචි උන්ට ලැබෙනවද කියන්න මම දන්නෙ නෑ.

කාලයත් එක්ක ලෝකය තරඟකාරී වෙනකොට හැමෝටම ඒ රටාවට හුරුවෙන්න වෙනවා. එහෙම හුරුවෙනකොට අපිට ගොඩක් දේවල් මඟ හැරිලා. ඔව් ඇත්ත, අපි ඒ කාලෙ කරපු හැමදේම අද කාලෙට ගැලපෙන්නෙ නෑ. අපි ලෝකෙත් එක්ක ඉස්සරහට යමු, ඒත් තාක්ෂණයත් එක්ක හිරවෙච්ච ළමා කාලයක් වත්මන් පරම්පරාවට උරුම කර දිය යුතුද..
මට හිතෙන විදියට ඕනම කෙනෙක් වැඩිහිටියෙක් වෙන්න කලින් සැබෑවටම ළමයෙක් වෙලා ජීවිතය විඳින්නට ඕනෙ. වාසනාවට අපිට එහෙම අවස්ථාවක් ලැබුණා. ඒත් අද ළමයින්ට….
දැන් මට හිතෙනවා, මට ඒ ළමා කාලයට යන්න බැරි වුණත්, ඒත් ඒ වගේ විඳින්න පුළුවන් ළමා කාලයක් දැන් ඉන්න ළමයි වෙනුවෙන් නිර්මාණය කරන්න පුළුවන් නම් කියලා……..

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සළුනි චනීෂා මධුපංචනී

විද්‍යා පීඨය - උපාධිධාරි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment