දැනුම

වට්ටක්කා

👉උද්භිද විද්‍යාත්මක නාමය – Cucurbita maxima
👉කුලය- Cucurbitaceae

ශ්‍රී ලාංකිකයන් අතර ඉතාමත් ජනප්‍රිය එළවළු බෝගයක් වන වට්ටක්කා බෝගය පිළිබඳ ව මෙවර Colombo Beacon අපේ කතිකාවත, ඔබට ‘ස්වයංපෝෂිත’ සමඟින් රැගෙන එන්නෙමු. අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගත හැකි වීමත්, හොඳින් මේරූ ගෙඩි සෑහෙන කාලයක් සාර්ථකව ගබඩා කර ගත හැකි වීමත්, විවිධාකාරයට ආහාර සඳහා සකසා ගත හැකි වීමත් මෙම බෝගයේ සුවිශේෂී ලක්ෂණ වීම හේතුවෙන් වගාව සේම අස්වැන්න ද සාර්ථකව අත් විඳිය හැකි බෝගයක් ලෙස වට්ටක්කා සැලකේ.

ඒ. එන්. කේ. රුහුණු හා දේශීය වට්ටක්කා ලෙසින් මෙරට ප්‍රභේදයන් දෙකක් හඳුනා ගත හැකි මෙම බෝගය ගෙවතු වගාවට මෙන්ම මහා පරිමාණ වගාවට ද උචිත බෝගයකි.

ඒ. එන්. කේ. රුහුණු ප්‍රභේදයේ ගෙඩි ඒකාකාරී හැඩයකින් යුක්ත වන අතර ප්‍රමාණයෙන් කුඩා ය. කෙටි කාලීන ය (මාස 2-2). කුඹුරු ඉඩම්වල කන්න අතර කාලය වැනි කෙටි වර්ෂා කාලයන්හි දී වගාවට සුදුසු වේ. පිට පොත්ත ඝන වන අතර මදය කහ පැහැති ය. ප්‍රවාහනයට සුදුසු වේ.

දේශීය වට්ටක්කා වර්ගවල හැඩය හා ප්‍රමාණය විවිධාකාර ය. වර්ෂා ජලය යොදා ගන්නේ නම් වගා කල හැක්කේ කන්නයට පමණි. මදයේ වර්ණය කහ සිට තැඹිලි දක්වා වෙනස් වේ.

වට්ටක්කා පිළිබඳ ඉතිහාසය, මීට වසර 7,500 ක් තරම් ඈතකට දිව යයි. මෙහි නිජ භූමිය මධ්‍යම අමෙරිකාවේ මෙක්සිකෝව වන අතර පසු කාලීනව දේශ ගවේෂණය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්තිය වුණි.

මුහුදු මට්ටමේ සිට 500m දක්වා වූ ප්‍රදේශවල වියලි හා අතරමැදි කලාපයේ වගා කල හැකි බෝගයක් වන මේවා බොහෝ විට අතීතයේ වගා කර ඇත්තේ බඩඉරිඟු වැනි භෝග සමඟ එකටය. ලොව පුරා වට්ටක්කා ප්‍රභේධ කිහිපයක්ම හමු වේ.

වට්ටක්කා ඒකගෘහී එනම් එක ම ශාකයක පිරිමි හා ගැහැනු මල් පූදින වැල් විශේෂයකි. මෙහි පුං හා ජායා පුෂ්ප වෙන් කොට හඳුනාගත හැකි අතර, පුං හෙවත් පුරුෂ මල් පීදී කෙටි කලෙකින් ගැහැනු මල් පූදියි. මේවා පරාගණය බොහෝ විට සිදු වන්නේ කෘමි සතුන් මඟිනි. කෙසේ නමුත්, ආර්ථික භෝගයක් ලෙස මහා පරිමාණයෙන් වට්ටක්කා වගා කරන විට, කෘතිමව පරාගණය සිදු කරයි. වට්ටක්කා ගෙඩි ඉතා විශාල ය. සාමාන්‍යයෙන් 4kg -6kg පමණ වන ඒවා ද හමු වේ. කලාතුරකින් කිලෝ ග්‍රෑම් 25 ක් පමණ වන ගෙඩි ද වාර්තා වී ඇත. ප්‍රමාණයෙන් කුඩා හා පැණි රසින් වැඩි වට්ටක්කා ප්‍රභේධ ද පවතී.

දහහතරවන සියවසේ මැද භාගයේදී සිවු වරක්ම අත්ලාන්තික් සාගරය හරහා මුහුදු චාරිකාවන් නිමකළ ක‍්‍රිස්ට්‍රෝපර් කොලොම්බස් නමැති ඉතාලි ජාතික නාවිකයා, ඇමරිකා මහාද්වීපය සොයා ගනිමින් එහි ගොඩබසිනා විටත්, එහි සිටි ආදිවාසීන් ගොවිතැන් කරමින් වට්ටක්කා වවා තිබූ බව වාර්තාවල සඳහන් වේ. මේ බෝගය ඒ තරමටම පැරණිය. මිනිසා විසින් කැලෑවේ සිට වගා කිරීම පිණිස ගොවිපළ වෙත කැන්දාගෙන ආ පැරණිතම බෝග කීපයෙන් එකකි වට්ටක්කා. ඉතිහාසයේ සාක්‍ෂි සනාථ කරන්නේ දැනට වසර 7500 කට පමණ පෙරදී පවා මෙම බෝගය මානවයා ඇසුරේ පැවති බවයි.

කොලොම්බස් දුටු දෙයට සමාන දසුනක් 1534 දී කැනඩාව සොයාගත් ජැකුවෙස් කාටියෙර් විසින්ද දැක තිබේ. කෘෂි විද්වතුන් පර්යේෂණ පවත්වමින් අද දවසේ විවිධාකාර සොයාගැනීම් සිදුකළද, එදා මෙම ආදිවාසීන්, අත්දැකීම් මත පමණක් පන්නරය ලබමින් තම බෝග වගාවට ඈඳාගෙන තිබූ තාක්‍ෂණය නූතන සොයාගැනීම් සමගද මනාව බද්ධවන බවත් පෙනෙන්නට ඇත. ආදිවාසීන් ද වට්ටක්කා වවා තිබුණේ තනිවම නොවේ. එනම් අතුරු බෝග වගාවක් වශයෙනි. වට්ටක්කා සමග බඩඉරිඟු හා බෝංචි ද වගාබිමෙහි විය. ඔවුන් මෙම බෝග ත‍්‍රිත්වයේ සුසංයෝගය හැඳින්වූයේ ”තුන් සොයුරියන්” (Three Sisters) වශයෙනි. මේ අතරින් එක සොයුරියක් වන බඩ ඉරිඟු ශාකය සෘජු කඳක් සහිතව ඉහළට වැඩෙන විට බෝංචි වැල් නොහොත් අනෙක් සොයුරිය ඉතා කුළුපගව ඉරිඟු ගසේ වෙලී ඉහළ යන නිසා අමුතුවෙන් ඒ වෙනුවෙන් බෝංචි කෝටු සිටුවීමක් අවශ්‍ය නොවේ. ආලෝකය සොයා ඉහළ යාමට තමා ලබාගන්නා සහයෝගය වෙනුවෙන් මෙම සොයුරිය විසින් පද්ධතියට ලබා දෙන ප‍්‍රතිඋපකාරයක්ද ඇත. බෝංචි යනු රනිල කුලයේ ශාකයක් බැවින් එහි මුල් පද්ධතිය සතු මූල ගැටිතිවල වෙසෙන බැක්ටීරියා විශේෂයක් විසින් වායුගෝලීය නයිට‍්‍රජන්, පාංශු නයිට‍්‍රජන් බවට පත්කරමින් පසේ සශ‍්‍රීක බව ඉහළ නැංවීමට කටයුතු කිරීම මේ සහයෝගයයි. ශාක තුන් වර්ගයටම ඒ නයිට‍්‍රජන් ප‍්‍රයෝජනවත්ය. සහජීවන පවුලේ ඊළඟ සොයුරිය වන්නේ වට්ටක්කා ශාකයයි. බිම දිගේ පැතිරී යන වට්ටක්කා වැලෙහි තිබෙන විශාල පත‍්‍ර මගින් පසෙහි නිරාවරණ පෘෂ්ඨය ආවරණය කරමින් තෙතමනය රැකදීමට ක‍්‍රියා කරනවාට අමතරව මේ කලාල වැල් ගොමුව නිසා පස මතට හොඳින් හිරුඑළිය නොවැටීම හේතුවෙන් අනවශ්‍ය පරිදි වල් පැළ වැවෙන්නේද නැත.

එක ශාකයක් මගින් ඇතිකරන බලපෑම තවත් ශාකයකට හිතකර ලෙස යොදාගැනීම පිළිබඳව විදෙස් රටවලින් ලැබෙන ඉතිහාස වාර්තා මෙසේ වුවත්, අපේ මුතුන් මිත්තන් අනුගමනය කළ මිශ‍්‍රබෝග වගා ක‍්‍රමයද මෙයටම සමාන්තර තත්වයකි. ඒ හරහා පළිබෝධ හානි අවම වූවා පමණක් නොව, පස සරුකරන ශාකයක්ද අනිවාර්යයෙන්ම එම සංගමය තුළ තිබූ නිසා පසෙහි සාරවත්භාවයටද ගෙනදුන්නේ මනා ජවයකි.

වට්ටක්කා වගාව සඳහා හොඳින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු පසක් පවතී නම් වඩා යෝග්‍ය ය. පසේ pH අගය 5.5 – 7.5 වගාවට හිතකර ය.

20cm – 30cm ගැඹුරට පස පෙරලා තරමක් රළු වයනයක් ඇතිවන පරිදි කැට පොඩි කර දිග, පළල හා ගැඹුර පිළිවෙලින් 30cm බැගින් වන පරිදි වලවල් සකස් කර, දිරූ කාබනික ද්‍රව්‍ය 5kg ක් එක් වලකට එක් කර, මතු පිට පස සමඟ මිශ්‍ර කර, එම මිශ්‍රණයෙන් පොළොව මට්ටමේ සිට 10cm ක් උසට වල පුරවා වට්ටක්කා වගාව සඳහා බිම් සකසයි. මේ සඳහා හෙක්ටයාරයකට බීජ 1kg ක් අවශ්‍ය වේ.

බීජ සිටුවීම යල කන්නයේ දී, එනම් මැයි මස දී හා හ කන්නයේ දී ඔක්තෝම්බර් මස දී සිදු කරයි. බීජ අතර පරතරය ඒ. එන්. කේ. රුහුණු නම් 2.5 m × 2.5 m පමණ විය යුතු ය. දේශීය වට්ටක්කා නම් 3m × 3m පමණ විය යුතු ය. පැලවී සති 3කින් වල් නෙලිය යුතු අතර අතින් වල් නෙලීම වඩා යෝග්‍ය වේ. ආරක්ෂිත වසුනක් ලෙසින් පැල වලට ඉහලින් පිදුරු දැමිය යුතු ය.

පොහොර යෙදීම පහත පරිදි සිදු කල යුතු ය.

👉මූලික පොහොර (හෙ./කි. ග්‍රෑ.) – යූරියා 75 + ත්‍රිත්ව සුපර් පොස්පේට් 195 + මියුරියේට් ඔෆ් පොටෑෂ් 60

👉පැල මතු වී සති 4කට පසු (හෙ./කි. ග්‍රෑ.) – යූරියා 75 + මියුරියේට් ඔෆ් පොටෑෂ් 60

👉පැල මතු වී සති 8කට පසු (හෙ./කි. ග්‍රෑ.) – යූරියා 75 + මියුරියේට් ඔෆ් පොටෑෂ් 60

බීජ පැල වී අවසන්වන තෙක් දිනපතා ජලය යෙදිය යුතු අතර පසුව දින 5 – 7කට වරක් ජලය යෙදීම සෑහේ.

වගාවේ දී වඩාත් අවධානය යොමු කල යුතු කරුණක් නම් රෝග පාලනයයි. වට්ටක්කා වගාවේ දී ද ඔබට ඔබේ වගාව රෝගයන් කිහිපයකින් ආරක්ෂා කර ගැනීමට සිදු වනු ඇත.

👉යටි පුස් රෝගය – මෙය දිලීර රෝගයකි. මෙහි දී පත්‍ර මත කහ පැහැති කෝණාකාර පුල්ලි ඇති වේ. පත්‍ර දුඹුරු පැහැ ගැන්වී හැකිලී යයි. පත්‍ර යටි පැත්තේ අලු පැහැති බීජාණු සමූහ දැක ගත හැක.

👉පිටි පුස් රෝගය – මෙය ද දිලීර රෝගයකි. මෙහි දී පත්‍ර කහ පැහැ වන අතර පත්‍ර දෙපසම සුදු පැහැති බීජාණු සමූහ දැක ගත හැක.

💁‍♀️පාලනය – ධාරක පැළෑටි හා මෙම කුලයට අයත් වල් පැලෑටි වර්ග විනාශ කිරීම මගින් මෙන් ම නිර්දේශිත දිලීර නාශකයක් භාවිතයෙන් ද මෙම රෝගයන් පාලනය කර ගත හැක.

👉මෘදු කුණු වීමේ රෝගය – මෙයට ද හේතුව දිලීරයකි. කඳෙහි පාමුල හා ඵල මතු පිට මෘදු කුණු වීමක් හට ගනී.

💁‍♀️පාලනය – අධික තෙතමනය හා ආර්ද්‍රතාවය මග හැරීමෙන් ද, පස බුරුල් කර වාතාශ්‍රය දියුණු කිරීමෙන් ද, නිර්දේශිත දිලීර නාශකයක් භාවිතයෙන් ද මෙම රෝගය පාලනය කර ගත හැක.

👉විචිත්‍ර වෛරසය – පත්‍ර මත කොල හා කහ පැහැති පුල්ලි ඇති වේ. පත්‍ර බොකුටු වී රැළි වැටී, පැල්ලම් ද ඇති වේ.

💁‍♀️පාලනය – රෝගී පැල උදුරා විනාශ කිරීමෙන් ද, කෘමි නාශක යොදා සුදු මැස්සන් වැනි රෝග වාහකයන් මර්ධනය කිරීමෙන් ද මෙම රෝගය පාලනය කර ගත හැක.

එලෙසින්ම වගාවේ දී ඔබට හමුවන තවත් අභියෝගයක් වන්නේ කෘමි පාලනයයි. සාර්ථක වගාවක් සඳහා කෘමි පාලනය අත්‍යවශ්‍ය කරුණකි. වට්ටක්කා වගාවට වැඩිම බලපෑමක් ඇති වනුයේ ඉල් මැස්සා මගිනි. මෙම මැස්සාගේ ගැහැනු සතා විසින් කුඩා ගෙඩිවල පොත්ත විද බිත්තර දැමීම නිසා ඇතිවන කීටයන් (පනුවන්) ඇතුලත කොටස් කා දැමීමෙන් ගැට හා මල් හැලීම හා ගෙඩි කුණු වී යාම සිදු වේ.

💥හානිය වලක්වා ගැනීම හා මර්ධනය –
👉පිදුරු ස්වල්පයකින් ඵල ආවරණය කිරීම.
👉පෙරමෝන් උගුල් භාවිතය.
👉ආසාදිත ගෙඩි කඩා විනාශකර දැමීම.
👉ඇම තැබීම – පෙන්තියෝන් කෘමිනාශකය සමඟ සීනි මිශ්‍ර කර, පිපිඤ්ඤා කුලයේ ගෙඩි කැබලි එම ද්‍රාවණයේ 10 min පමණ ගිල්වා තබා වගාව තුල තැනින් තැන තැබීම.
👉කෘමිනාශක භාවිතය – පෙන්තියෝන් නිර්දේශිත ප්‍රමාණය ජලයේ මිශ්‍ර කර එයින් ලීටරයකට සීනි 25g ක් මිශ්‍ර කර ඉසින්න. මල් පිපෙන අවස්ථාවේ සිට සති 2කට වරක් යෙදිය යුතු ය.

වට්ටක්කා ගෙඩි මත පිටිමය ස්වභාවයක් දිස්වන විට අස්වනු නෙලනු ලැබේ. ඒ. එන්. කේ. රුහුණු නම් මල් පිපී දින 40කින් අස්වනු නෙලිය හැකි අතර දේශීය වට්ටක්කා අස්වැන්න මල් පිපී දින 60කින් නෙලා ගත හැක. සෑම වර්ගයකින්ම අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 15 000 ත් 25 000 ත් අතර ප්‍රමාණයක් නෙලා ගත හැක. හොඳින් මෝරන ලද ගෙඩි වියළි ස්ථානයක මාස 6 ත් 8 ත් අතර කාලයක් පසු අස්වැන්නක් ලෙසින් ගබඩා කර තබා ගත හැක.

වට්ටක්කා පෝෂ්‍ය ගුණයෙනුත් ඉතා ඉහළ ය. මේවා ප්‍රතිඔක්සිකාරක හා විටමින්වලින් පොහොසත් ය. අඩු කැලරි අගයක් දරයි. සාමාන්‍යයෙන් පිසින හෝ තම්බන ලද වට්ටක්කා අඬු කෝප්පයක ප්‍රමාණයක,
👉ප්‍රෝටීන 1.76g ක් ද,
👉තන්තු 2.7g ක් ද,
👉මේදය 0.17g ක් ද,
👉12.01g ක් ද අන්තර්ගත වේ. මෙහි අඩංගු වන්නේ කැලරි 49ක ශක්තියක් පමණි.

මීට අමතරව වට්ටක්කා අඬු කෝප්පයක, දෛනික නිර්දේශිත අගය මෙන්
👉දෙගුණයක් විටමින් A ද,
👉90% ක් විටමින් C ද අන්තර්ගත වේ. මීට අමතරව සැලකිය යුතු මට්ටමකින්
👉විටමින් E, රයිබොෆ්ලෙවින්, තයමින්, විටමින් B 6, ෆෝලේට, පැන්ටොතෙනික් අම්ලය හා නියැසීන් යන විටමින් ද,
👉පොටෑසියම්, තඹ, මැංගනීස්, යකඩ, මැග්නීසියම්, ඇලුමිනියම් හා පොස්ෆරස් යන ඛණිජ ලවණ ද සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගත වේ.

වට්ටක්කා ඇට ද Roast කිරීමෙන් ආහාරයට ගත හැකි පෝෂණ ගුණයෙන් ඉහල ආහාර ප්‍රභවයකි. බොහෝ වාර්තාවල සඳහන් වන්නේ ආදිවාසීන් වට්ටක්කා මදය වෙනුවට ඇට අනුභවයට වැඩිපුර පෙළඹී තිබුණ බවත්, සාම්ප‍්‍රදායික ප‍්‍රභේදයන්හි වූ තිත්ත රසය මීට හේතු වූවායයි සිතිය හැකි බවත්ය. ඔබ ද ඔබේ ආහාර වේලට වට්ටක්කා ඇට එක්කර ගන්නේ නම් ඔබගේ සෞඛ්‍යයට එය වඩාත් හිතකර වනු ඇත. ලාංකික අප වට්ටක්කා එළවළුවක් වශයෙන් භාවිතයට ගැනුන ද බොහෝ රටවල් බීජ ලබා ගැනීමේ අරමුණ වෙනුවෙන් පමණක් මහා පරිමාණ වගාබිම් වශයෙන් වට්ටක්කා වගා කරයි.

👉 නීරෝගී දිගු කෙස් කළඹකට වට්ටක්කා ඇට මනා පෝෂණයකි. වට්ටක්කා ඇට සතුව අධික මැග්නීසියම් (Mg) ප්‍රතිශතයක් අන්තර් ගත වේ. එහි අඩංගු 74 mg ප්‍රමාණය ඔබේ දෛනික Mg අවශ්‍යතාවයෙන් 25% ක් සම්පූර්ණ කරලීමට සමත් ය. Mg ඔබේ සිරුරේ එන්සයිම උත්තේජකයක් ලෙසින් ක්‍රියා කරන අතරම මාංශ පේශිවල පැවැත්මට ද වැදගත් වේ. තව ද මොළයේ නිරෝගීභාවයට ද Mg වැදගත් ය.
👉දිනකට Mg 25mg ලබා ගැනීමෙන් ඔබට දියවැඩියාව වැළඳීමේ අවධානමෙන් 25%ක් අඩු කරයි. එබැවින් වට්ටක්කා ඇට යනු ඔබට දියවැඩියා අවධානමෙන් ඔබ මුදවන ඖෂධයකි.
👉වට්ටක්කා ඇටවල ඇති Omega 3 සහ Omega 6 යන ප්‍රතිඔක්සිකාරක සහ තන්තු
ඔබේ හෘදය හා අක්මාව නීරෝගීව තබයි. එමගින් ඔබේ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කර හෘද රෝග ඇති වීමේ අවධානම අඩු කරයි.
👉වට්ටක්කා ඇට සතු ට්‍රිප්ටෝපෑන් මගින් ඔබව මානසික පීඩනයන්ගෙන් නිදහස් කරන අතර දැනටමත් ඔබ මානසික පීඩනයෙන් වේ නම් එය සමනය කිරීමට ඉවහල් වේ.
👉වට්ටක්කා ඇට මගින් රුධිරගත LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන අතර වකුගඩුවල ගල් ඇති වීම ද වලක්වයි.
👉වට්ටක්කා ඇට නිසාවෙන් ඔබට සුව නින්දක් ද ලැබෙනු ඇත.

💥වට්ටකාවල තැඹිලි පැහැයට හුරු කහ පැහැය ලබා දෙන්නේ, එහි අඩංගු බීටා කැරොටින මගිනි. මේවා ශරීරගත වූ විට, විටමින් A නිපදවේ. විටමින් A මිනිස් ඇසෙහි දෘෂ්ඨි විතානයේ පැවැත්මට ඉතා වැදගත් සංඝටකයකි. වට්ටක්කා කෝප්පයක් ආහාරයට ගැනීමෙන්, ශරීරය තුළ දෛනික නිර්දේශිත අගය මෙන් දෙගුණයක විටමින් A නිපදවිය හැකි ය. වට්ටක්කාවල අඩංගු ලුටෙලින් හා සියාසැන්තීන් යන ප්‍රතිඔක්සිකාරක මඟින්, ඇසෙහි සුද ඇතිවීම අතුළු අක්ෂි රෝග කිහිපයක්ම ඇතිවීම වළක්වයි.

💥වට්ටක්කාවල අඩංගු බීටා කැරොටීන , ශරීරය තුළ දී සංස්ලේෂණය වන විටමින් A, ශරීරයට වැළඳෙන විවිධ ආසාදන, වෛරස හා බැක්ටීරියා මඟින් වැළඳෙන රෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තීකරණ පද්ධතියට උදවු කරයි. මේවායේ යහමින් අඩංගු විටමින් C, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගාබාධවලට සහනය ගෙන දෙයි.

💥වට්ටක්කාවල ඉතා වැඩි ප්‍රමාණයක් අඩංගු බීටා කැරොටීන, හිරුගෙන් වැටෙන පාරජම්බුල කිරණ මඟින් සමට වන හානිය අවම කරයි. මේ නිසා, සම රැළි වැටීම අවම වී, තරුණ බව රැක දේ. එබැවින් වට්ටක්කා නිතරම පාහේ ආහාරයට ගන්නා පුද්ගලයින්ගේ සමෙහි දීප්තිමත්භාවය හා සුසිනිදුකම මෙන් ම, තෙතමනය ද යහමින් ඇත. ඒ හේතුවෙන්, තරුණ පෙනුම සුරැකේ.

💥වට්ටක්කාවල අඩංගු බීටා කැරොටින, කිහිප ආකාරයකින්ම මිනිසුන්ගේ ශරීර සෞඛ්‍ය වැඩි දියුණු කිරීමෙහි ලා උපකාරී වේ. ඇසේ නිරෝගීභාවය, සමෙහි තරුණ බව රකින බීටා කැරොටින, ඉන් නොනැවතී පිළිකා ඇති වීමේ අවදානම ද පහත හෙළයි. විශේෂයෙන්ම වට්ටක්කාවල අඩංගු ප්‍රතිඔක්සිකාරක, මුක්තඛණ්ඩක භක්ෂණය කර උදාසීන කිරීම නිසා, පිළිකාවලට මුල් වන සෛල ඇති වීමේ අවදානම අඩු කරයි.

💥ඉතාම මෑතක දී කළ පර්යේෂණ කිහිපයක ප්‍රතිඵල අධ්‍යයනයෙන්, වට්ටක්කා ආහාරයට ගැනීමෙන් රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු විය හැකි බවට විද්‍යාඥයන් මත පළ කර ඇත. දැනට හඳුනාගෙන ඇති පරිදි, වට්ටක්කා මඟින් ශරීරයේ ඉන්සියුලින් නිපදවීම කාර්යයක්ෂම කරන බවට පැවසෙන නමුත්, එය තවමත් පර්යේෂණාත්මකව සොයාගෙන නැත. කෙසේ වුව ද, දියවැඩියා රෝගීන්ට වට්ටක්කා ආහාරයට ගැනීමෙන්, ඇති වන අපහසුතා අවම වන බව සඳහන් ය.

1749 දී පීටර් කාම් නමැති ස්වීඩන් ජාතික උද්භිද විද්‍යාඥයා තම ඉන්දියානු ගමනේදී දුටු අපේ අසල්වැසියන්ගේ ක‍්‍රියාකාරකම් ඉතා පැහැදිලිව වාර්තා කර තිබේ. ඔවුන් වට්ටක්කා දිග තීරු වලට කපා ඒවා එකිනෙක පටලවා හිරු එළියේ හෝ උදුනක දමා හොඳින් වේලන බවත්, ඒ හරහා වසර ගණනාවක් ගබඩාකර තබා ගන්නා බවත් පීටර් කාම් සඳහන් කරයි. මෙම වියලි තීරු අවශ්‍ය විටදී තම්බා ගත් විට ඉතා රසවත් ආහාරයක් බවද පෙන්වා දෙන ඔහු පිටි සමග දවටා කැඳ වර්ග සෑදීමද එකල සුලභව සිදුවූ බව කියා සිටී.

ගන්නෝරුවේ ආහාර තාක්‍ෂණ අංශය සතුව වට්ටක්කාවලින් කළ හැකි ආහාර නිෂ්පාදන රැසක ක‍්‍රමවේදයන් තිබේ. ඒවා බොහොමයක් ගමේ ගොවියාට ගෘහ කර්මාන්තයක් ලෙස පවා කළ හැකි ඒවාය.

මූලිකව අවශ්‍ය වන්නේ වට්ටක්කා සම්භවය ලැබූ මෙක්සිකෝ / ඇමරිකා ආදිවාසීන් සිදුකළ අයුරින් සිහින්ව කැපූ වට්ටක්කා කැබලි වියලා ගැනීමයි. මෙසේ වියලා ගන්නා වට්ටක්කා කැබලි පහසුවෙන් කුඩු කරගෙන රොටි, ඉඳිආප්ප වැනි දේ සඳහා 30% ක් පමණ වෙනත් පිටි සමග මිශ‍්‍ර කළ හැකිවේ. එම ආහාරයට මනා රසයක්, වර්ණයක් මෙන්ම අධික පෝෂණ ගුණයක්ද එක්කිරීමට මේ ආගන්තුක පිටි හැන්ද සමත් බව ලාංකිකයන් අතරිනුත් දන්නේ සුළු පිරිසක් පමණි. එය ගෙදරදී වහාම අත්හදා බැලීම ඔබේ යුතුකමකි. ගෘහ කර්මාන්තයෙන් මඳක් ඔබ්බට ගිය අයට වට්ටක්කා බිස්කට්, සුප්, පියුරි, පාන්, කේක්, ජෑම්, බයිට් මිශ‍්‍රණ ආදී නිපැයුම් රැසක් ආහාර තාක්‍ෂණඥයන් විසින් නිපදවා ඇත.
කෑම වට්ටෝරු අවශ්‍ය අයට එය ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර තාක්‍ෂණ අංශය සැදී පැහැ දී සිටියි.

වට්ටක්කා වගාවට උනන්දු වුවත් බොහොමයකට පැන නගින ගැටලුව නම් ඉඩ කඩ අර්බුදය යි. ඔබ නාගරික පරිසරයක වේ නම් වට්ටක්කා වැලක් පෝච්චියක වුව ද වවා ගත හැක. එවිට නැවුම් වට්ටක්කා වෑංජනයක රස බැලීමට ඔබට ද හැකි වනු ඇත. ඒ සඳහා උනන්දු ඔබට පහත පියවර මගින් පහසුවෙන් තම අභිප්‍රාය ඉටු කර ගත හැකි වනු ඇත.

👉හොඳින් ඉදුණු වට්ටක්කා ගෙඩියක ඇට ගෙන මදය ඉවත්වන පරිදි පිරිසිදු ජලයෙන් සෝදන්න.
👉සෝදා ගත් වට්ටක්කා ඇට අතුරින් වඩාත් විශාල ඇට තෝරා ගන්න. (වඩා විශාල ඇට සතුව ඉහල පැල වීමේ සම්භාවිතාවයක් පවතී.)
👉තෝරා ගත් වට්ටක්කා ඇට තෙත හිඳෙන තෙක් මද පවනේ වේලා ගන්න.
👉සුදුසු බඳුනක් තෝරා ගන්න. (බඳුනේ විශාලත්වය ඔබ සතු ඉඩ කඩට අනුරූපව තෝරා ගත හැක.) අවම විශාලත්වය විෂ්කම්භය අඩි එකහමාරක් හා ගැඹුර අඩියක් විය යුතු ය.
👉බඳුනේ පතුලේ අඟලක පමණ ප්‍රමාණයේ වූ සිදුරු කීපයක් සාදා ගන්න.
👉 පතුලට කොළ රොඩු දමා ඊට උඩින් කොම්පෝස්ට් හා පස් 1:1 අනුපාතයෙන් මිශ්‍ර කර එක් කරන්න.
👉එක් බඳුනකට වට්ටක්කා ඇට 5 බැගින් දමා පැල කරන්න.

💥මැයි මුල සහ ජුලි අග වගාවට වඩාත් හිතකර වේ. නමුත් දේශගුණික තත්ව හා පාරිසරික තත්ව මත එය එතරම් බලපෑමක් සිදු නොකරයි.

👉හොඳින් පැලවන පැලය ඔබට හඳුනා ගත හැකි නම් ඉතිරි පැල ගලවා හැරිය හැක.
👉වැල් ආධාරක සවි කර වැල වර්ධනයට ඉඩ සලසා මල් පිපෙන කාලයට අවශ්‍ය නම් අත් පරාගනය මගින් පරාගනය සිදු කරන්න.
👉ගෙඩි ඇතිවන කාලයට වැල් බර ඇති නොවන පරිදි කරු සවි කරන්න.
👉ඵලදාව නෙලීමට දෙසතියකට පෙර ගෙඩි සමීපයේවන කොළ කපා ඉවත් කරන්න.
👉නෙලූ ඵලදාව හොඳින් වර්ණවත් වීමට අව්වේ තබන්න.

ඉබේ වැවෙන වට්ටක්කාවලට ඉහත පරිදි සාත්තු කිරීම මගින් ඔබට ඉහල සරුසාර ඵලදාවක් ලබා ගත හැකි වනු ඇත.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හෂිනි මධුෂානි

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment