දැනුම

වන මැද රැයක්

රූ ධාරා ඔස්සේ විවිධ ඉසව් කරා අපි ඔබව රැගෙන ගියා. මුලින්ම කඳු කිහිපයක් තරණය කරලා ඉන්පසුව දකුණු වෙරළ තීරය දීගේ සුන්දර තැන් කිහිපයකම ගමන් කළ නිසා මෙවර අපි වනෝද්‍යානයකට යන්න තමයි සූදානම් වෙන්නේ. 

වනය සැබැවින්ම නිශ්ශබ්දතාව රජයන, ස්වභා සෞන්දර්ය තුරුලු කරගත් තෝතැන්නක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ සුන්දරත්වය සහ ඒ පසුපස ගැබ්වුණු ත්‍රාසය, පාඨක ඔබට ළං කරන්නට අද අපි තෝරගන්නේ… සුන්දර වස්ගමුව ජාතික වනෝද්‍යානය

මේ… රූ ධාරා අටවන පරිච්ඡේදයයි.

අද අපේ ගමනාන්තයට වැටී ඇත්තේ නුවර හරහා. දළදා මාළිගාව වැඳ පුදා ගෙනම ගමනට ආශිර්වාද ලැබ ගත්තෙමු. 

නුවරින් දවල් අහාරය සප්පායම් වූ අපි, අවශ්‍ය කළමනා කිහිපය එකතු කරගත්තෙමු. 

මහනුවර මහියංගනය මාර්ගයේ ගමන් කර හසලක හන්දියට ළඟා වීමු. එතැනින් දකුණට හැරී වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ඇතුල් වීමේ ස්ථානයට ළඟා විය හැක.

වෙන් කර ගත් camp site එකට ගිහිල්ලා බඩුමුට්ටු ටික බාලා කැලෑව බලන්න යන්න තමයි අපි හිතාගෙන හිටියේ. අපේ පැමිණීම බලාපොරොත්තුවෙන් මඟ පෙන්වන්නා, jeep රථය හා කෝකිවරයා පෙර මඟ  හිටියා. පැමිණි වාහනය රථගාලේ  නවතා ඉක්මනට jeepයට බඩුටික පටවා ගත්තා. campsite 01 – මහවැලි ගඟ අද්දර සුන්දර නැවතුම් පොළකි.

මෙවර Camp එක බිම නම් නෙමෙයි නිර්මාණය වෙන්නේ. අට්ටාලයක් උඩ. මෙහි ප්‍රධාන අරමුණ සතුන්ගෙන් ආරක්ෂාවීමයි.

Camp එකත් ගහලා ඉවරයි.

දැන් ඔන්න අපි සත්තු බලන්න යන්නයි හදන්නේ.

ටිකක් පායන කාලෙක ගිය නිසා වටපිටාව ටික්ක රස්නෙයි.

මුලින්ම තනියෙක් හම්බුණා. ඒ කිව්වේ තනි අලියෙක්.

ලොකුම ලොකු කිඹුලෙක්. ඌ හිටියේ කොටයක් උඩ. කොටේ මොකක්ද කිඹුලා කොතනද කියලා විසඳගන්න අපිට ටිකක් වෙලා ගියා. අපිට හම්බෙලා හිටියේ හොඳ නිරීක්ෂණශීලි මඟ  පෙන්නවන්නෙක්.

දැන් නම් ටිකක් හවස් වේගෙන එන්නේ. අපි ආයෙත් camp site එකට යන්න හදද්දි call එකක් ආවා රියදුරු මහතාට.

‘‘අපි අතනට යන්න ඕනේ කියලා (කොහෙද මන්දා තැනක් කිව්වා). මේ දවස් වල අලි රංචු දකින්න අමාරුයි. පායන නිසා. දවස් ගානකින් තමයි මෙච්චර අලි රංචුවක් එකට ඉන්නවා අපි හම්බවුනේ. යමූ…’’

වාහනය හරවා ගත්තා. ලෑල්ලට පාගලා මෙන්න මේ driver යනවා. ගිහිල්ලා break පාරක් ගැහුවා. අපි එකා පිට එකා. අපියි, තව jeep එකකුයි එක තැන නැවැත්තුවා. අනිත් ඒවා ටිකක් ඈත. කට්ටියක් පාර මාරු වෙනවා. දැන් අපි ඉන්න පාර දෙපත්තෙම අලි. driver  වාහනය නවත්තලා තියෙන්නේ එයාලා ටික දෙනෙක් පාර මාරු වෙලා තියෙද්දි.

අනේ පුංචි අලි පැටියෙක්. අපේ වාහනය පැත්තට එනවා. ඔන්න දැන් තමයි flim එක පටන් ගන්නේ. අලි අම්මා ඉලුක් පඳුරක් හොඬෙන් ගලවලා බිමට ගහලා සද්දයක් දැම්මා. අනේ අර පැටියා තවත් අපේ වාහනය ළඟට එනවා. අලි අම්මලා තාත්තලා කලබල වෙලා. කට්ටිය පෙර මඟට එනවා. අපේ guide uncle කිව්වා ‘‘දැන් නම් පොඩ්ඩක් විතර අවුල් වගේ තත්වය. කට්ටිය සද්ද කරන්න එපා.’’

Guide මෙහෙම කියද්දි නම් ජීවිතේ ගැන බයයි. ටිකක් කළුවර වේ ගෙන එනවා. අඩුම ගාථාවක් වත් කියා ගන්න මතක් වෙන්නේ නෑ. මුලින් අලි 10ක් විතර දැක්කේ. මෙන්න කට්ටිය 30 යි, නෑ 50 යි, ඒත් නෑ… අලි ගණන් කරන එකත් නැවැත්තුවා… එතන අලි 90ක් විතර ඉඳලා තියෙනවා.

ලොකු අලි 5ක් 6ක් අපේ jeep  එක වට කළා. අපිට හෙල වෙන්නත් බෑ. දැන් කට්ටිය පාර මාරු වෙනවා. පැය භාගයකටත් වැඩි අලි ග්‍රහණයේ. කට්ටියම පාර මාරු වෙනකන් මෙහෙම ඉන්න වුණා. සත්ත්ව ලෝකයේ පවා දරු සෙනෙහස කෙතරම් අපූර්වද? අලි රැලේ එක් අයෙක්ට පැටවෙක් බිහිකළ පසු මුලු රැලේම ඇතින්නියන්ටම කිරි එරෙනවා කියලා කතාවක් අහලා තිබුණා. දෑස් ඉදිරියේ සාක්ෂි සහිතව ඔප්පු වී හමාරය. 

ආයෙත් campsite එකට එද්දි 8 ට කිට්ටුයි. Wow… මුලු site එකේම පන්දම් ගහලා මාරම ලස්සනයි. ගඟට යන පාර දිගෙම.

අලි සෙල්ලම් නිසා මාර මහන්සියි. Jeep එකෙන් බැස්සා. කෙලින්ම ගඟට. එදා හොඳට හඳ පායලා. මහවැලියට හඳේ හෙවනැල්ල වැටිලා. සෝබා දම් මවන රටා කොතරම් අපූර්ව ද? 

නාලා ආවා. කෑවා. රස කතා ගොඩක් කතා කළා. දන්නෙම නැතුව නින්ද ගිහිල්ලා. මහවැලිය පිසදා එන සුළඟ, හද එළිය… 

*****************************

දෙවන දිනය,

උදේම නැගිටලා සත්තු බලන්න යන්න හදන්නේ…

ලංකාවේ උසින් වැඩිම අලි ඇතුන් ජීවත්වන වස්ගමුව නිජබිම කොටගෙනය. හෙක්ටයාර් 40,000 ක පමණ  භුමි භාගයක් පුරා ව්‍යාප්ත වී පවතියි. 1937 වසරේදී රක්ෂිත භුමියක් ලෙස නම් කෙරිණි. 1984 දී ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මෙම වනාන්තරයේ ඇති පස් වර්ග අතර රතු දුඹුරු පස හා ඇලුවියන් පස ප්‍රධාන වන අතර  තවත් පස් වර්ග හතක් හඳුනාගෙන ඇත.

සදාහරිත නිවර්තන වනපෙත්, වගුරු, තණබිම් සහ පඳුරු සහිත ලඳු බිම් වසගමුව වනෝද්‍යානය තුළ අන්තර්ගත වන බැවින් මෙය වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයක් ලෙස හැඳින්වේ. 

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර 1650 සිට 2100 අතර ප්‍රමාණයක පවතින  අතර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක  27 – 29 ත් අතර පවතී.

 ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා වර්ගීකරණය සමඟ සංසන්දනය කරන විට මෙම වස්ගමුව ජාතික වනෝද්‍යානය අතරමැදි කලාප වර්ගීකරණයට අයත් වෙයි. සදාහරිත නිවර්තන වනපෙත්, වගුරු, තණබිම් සහ පඳුරු සහිත ලඳු බිම් වසගමුව වනෝද්‍යානය තුළ අන්තර්ගත වන බැවින් මෙය වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයක් ලෙස හැඳින්වේ.

කුඹුක්, වෑවරණ, මිල්ල, සියඹලා, කුණු මැල්ල, හල් මිල්ල, කළුවර, මොර, දිවුල්, වීර, කොහොඹ, ගොඩ කිරිල්ල, ගල් සියඹලා, රණවරා, කරඹ, මස්බැද්ද, කටු පුරුක් සහ පළු යන ශාක මෙම වනෝද්‍යාන තුළ දැකගත හැකි ගස් වර්ග අතර වෙයි. කැප්පෙටිය, කුකුරුමාන්, කටුපිල හා නෙලු යන පඳුරු විශේෂත් කහඹිලියා, කල, වල්පිච්ච හා ඔලිඳ යන වැල්ද මෙහි ප්‍රධාන වශයෙන් දැකගත හැකිවන අතර වස්ගමුව වනයේ ගස් විශේෂ 70ක්, පැළෑටි විශේෂ 26ක්, පදුරු විශේෂ 27ක් සහ වැල් විශේෂ 11ක් ද වන අතර අතූඋඩියන්, ඇටඹ හා ගල් සියඹලා යන ශාක ශ්‍රී ලංකාවට ආවේණික වෙයි.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ඇති ක්ෂීරපායී සතුන් අතර අලි ඇතුන්, වලසා, ගෝනා, තිත් මුවා, දිවියා, අඳුන් දිවියා, සිවලා, ඕලු මුවා, මීමින්නා, දඬු ලේනා, කබල්ලෑවා, ඉත්තෑවා, කුළු හරකා, උණහපුළුවා, නරියා, වල් ඌරා, උරුලෑවා, කොළ දිවියා, වල් බළලා සහ හාවා යන සතුන් ප්‍රධාන වන අතර කොළ වඳුරා, රිලවා සහ රන් හෝතඹුවා යන ලංකාවට ආවේණික සතුන්ගේ ද නිජ බිමයි. 

වස්ගමුව තුළ පක්ෂි විශේෂ 150 ක් පමණ හඳුනාගෙන ඇත. දෙමලිච්චා, හිස කළු කොණ්ඩයා, වත රතු මල් කොහා සහ හබන් කුකුළා යන ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් මෙන්ම බටගොයා, මොනරා, පොරෝ කෑදැත්තා, කළු රාජලියා හා වැව් රාජලියා යන සාමාන්‍ය පක්ෂීනුත්, මලයානු මැටි කොහා, ඉන්දියානු අවිච්චියා හා ලය දුඹුරු මැයිමාරා යන සංක්‍රමණික පක්ෂි විශේෂ වස්ගමුව තුළදී දැකිය හැකිය.

නයා, තිත් පොළඟා, පිඹුරා සහ ඇහැටුල්ලා යන සර්පයන් බහුලව වස්ගමුව තුළදී දැකිය හැකිය. කිඹුලා, කටුස්සා, සිකනලා, තලගොයා හා කබරගොයා යන සතුන්ද මෙහි දැකිය හැකිවේ.

ලංකාවේ සතුන් ගහණ වන බිම් අතර ප්‍රධාන තැනක් වස්ගමුවට  හිමිවීම අරුමයක් නොවේ.

ජිවිතේ එක් වරක් හෝ කැලයක් ඇතුලේ ගත කරන්න. ඒක වෙනස්ම දෙයක්. Safari jeep එකක නැගලා පැය කිහිපයක ගමනකට වඩා හරිම රසමුසු තැන් ගොඩක් හොයාගන්න පුලුවන්.

අනිවාර්යෙන් මතක තියා ගන්න අපි ඉන්නේ සතුන්ගේ ගෙදර. අපි අමුත්තෝ විතරයි. එයාලට විඳින නිදහස කවදාවත් නැති කරන්න හදන්න එපා.

රූ ධාරා  තුළින් නැවතත් නැවුම් අත්දැකීමකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්න අවසරයි.

Image resources 

Design by – Nisal Vimukthi

Edited by – Nisal Vimukthi

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

උදානි අදිකාරි

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment