දැනුම

වඳුරු මෑ

ආධාරකයක් උපයෝගී කර ගනිමින් ඉහලට නගින දෙයකින් අපිට ප්‍රයෝජනයක් ඇත්දැයි සිතිය හැකිද? එලෙස ප්‍රයෝජන ඇති දේවල් අනන්තයි. Colombo Beacon සුව ධරණී සුව චාරිකාව ඔස්සේ අද අප කතා කරන්නේ එවන් දෙයක් පිළිබඳව. ආධාරකයක් උපයෝගී කරගනිමින් ඉහල නගින විශ්මිත ගුණයෙන් පිරි වඳුරු මෑ ශාකය පිළිබඳ තොරතුරු බිඳකුයි අද මා ගෙනහැර දක්වන්නේ..

වඳුරු මෑ

ඉංග්‍රීසි නාමය :- Cowhage Plant
උද්භිද නාමය :- Mucuna pruriens
වෙනත් නම් :- කපිච්ච, වනාරී, කපිරෝමඵලා, ආත්ම ගුප්ත, ශුබ ශිබ්බී

වඳුරු මෑ ශාකය ආධාරකයක් ඔස්සේ ඉහල නගින ලෙගියුමිනෝසේ කුලයට අයත් වැලකි. ප්‍රධාන වැලෙන් බොහෝ අනු ශාඛා දක්නට ලැබේ. පත්‍රයක් 9 – 10cm පමණ ප්‍රමාණයෙන් විශාල වේ. පුෂ්ප හටගැනීම සිදුවන්නේ ජනවාරි පෙබරවාරි කාල වලදී ය. වැල පුරාම නිල් සහ රතු මිශ්‍ර අලංකාර මල් හටගන්නා නිසා පොකුරු ලෙසින් කරල් වර්ධනය වේ. එම නිසා එක වැලකින් අධික ඵලදාවක් ලබා ගත හැකිය. කරල තුල පවතින බීජය මහත් ඖෂධීය ගුණයෙන් යුක්තය. ඉන්දියාව, ශ්‍රී ලංකාව, මියන්මාරය ආදී රටවල දක්නට ලැබේ. ලංකාවේ වියළි හා අතරමැදි කලාප වල සුලභව දක්නට ලැබේ.

ආයුර්වේදයේ කාමෝද්දීපන යන විරුදාවලිය, වඳුරු මෑ ශාකයට ලැබී ඇත. පුරුෂයන්ගේ බලය, ශක්තිය, අභ්‍යන්තර ශක්තීන් වඩවන සුවිශේෂී ගුණයක් වඳුරු මෑ වල දක්නට ඇති නිසා එම නාමයට වඳුරු මෑ හිමිකම් කියයි.

හීන වී ගිය පුරුෂ ශක්තියට, කාන්තාවන්ගේ සෝම රෝගයට, ක්ෂය රෝගය, වා පිත් සෙම් කෝපයන්ට වඳුරු මෑ ගුණ ලබාදෙයි.

කොතරම් බල සම්පන්න ඖෂධයක් වුව ද වඳුරු මෑ ඇටවල තරමක් විෂ ගතියක් ඇති නිසා විෂ මරා භාවිතයට ගැනීම සුදුසු වේ. වඳුරු මෑ ඇට ඖෂධ සදහා භාවිතයට පෙර එළකිරිවලින් තම්බා ගන්නේ විෂ නැසීම සදහා යි. එකල ගැමියෝ වඳුරු මෑ එළවළුවක් ලෙස ගෙවත්තේ වගාකිරීම සිදුවිය. ළපටි කරල් තීරු කපා තම්බා දිය බේරා ගන්නේ ද වඳුරු මෑ වල වූ විෂ මකා ගැනීමට යි.

වර්තමානයේ බහුලව දක්නට නොලැබෙන වඳුරු මෑ ශාකය, සාමාන්‍ය පරිසර තත්ව යටතේ වැඩෙන බැවින් ගෘහාශ්‍රිතව වර්ධනය කරගැනීමට පහසු ශාකයකි. මෙවන් ශාකයක් ගෙවත්තට එක් කර ගැනීම තුලින් ජීවත සුවපත් කර ගැනීමට සහ බලවත් කරගැනීමට මහඟු පිටුවහලක් විය හැක.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පියුමි මධුභාෂිණී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment