දැනුම

වස්සානය

ඔය දෑල දොඩමළුය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට
දිය කෙළින හැටි පුංචි මාළුවෝ දුටුවාද?
පුරපසේ සඳ එක්ක තරගයට මෝරන්ට
හුලංදා ඔය කිම් ද මල්වරව ඉල්මහට?

සෙනේහය පිරී ගිය ඔබෙ නයන නිල් පොකුණ
දිය නිලන වැසි සමේ රැළි නගා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුණුව ගිය ලේ නහර

දෙවැට දිග කරද වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිළිඳු නිදි, ඇහැරවන්නේ කුමට?
රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එළිය
මිහිරි මව්කිරි වගේ පොවන්නෙමි නුඹලාට

රමණීය වන ගැබෙහි මොනරුන්ට පිල් වියන
සන්නාලියන් කොහොම ඇන්දා ද දේදුන්න?
වැහි වතුර ඉහිනවා නම් ඔවුන් විහිළුවට
කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට

වැහි වලාකුළු රංචු කඳු මුදුන්වල ලගින
දැන් ඒවි තැනි බිමට- සීතලයි මගෙ සිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න – ඉතින් මගෙ හෙට දවස මට දෙන්න

ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස

රත්න ශ්‍රී  විජේසිංහ

වස්සානය යන නම ඇසූ බැවින් රත්න ශ්‍රී විජේසිංහයන් ඔබගේ මතකයට නැගෙනවා නම් ඔබ කාව්‍ය ලොවේ රසිකයෙක් යැයි මා හට හැඟේ. මන්දයත් වස්සානය කවි පෙළ 1985 මුද්‍රිත වර්ශයේ සිටම අද වන තුරුත් ජනප්‍රියත්වයේ අඩුවක් නොවන ග්‍රන්ථයක්, පැදි පෙළක් කිවහොත් මා නිවැරදියි.

වර්තමානය වන විට වස්සානේ නම් ග්‍රන්ථය තුළ ඇති වස්සානය පැදි පෙළ සාමාන්‍ය පෙළ සිංහල රසාස්වාදය සඳහා විෂය නිර්දේශයට ද ඉදිරිපත් වී ඇත.

හුලන්දා ඔය පාදක කරමින් සත්‍ය සොබාදහමේ සිද්ධීන් අපූර්ව ආකාරයට යථාර්ථවාදී කෝණයකින් විමසීමක් කවියා මෙම නිර්මාණයට පාදක කර ඇත.

කවියේ මූලික හරය වී ඇත්තේ සොබාදහම ඇසුරෙන් මිනිසාගේ ජීවිතය විස්තර කිරීමයි. සැබවින්ම ජීවිතය ගඟකි. ගල්පර, විකසිත මල් ගොමු, මල් පෙති විසිර ගිය පුලින තලා මෙන්ම මඩ ගොහොරු මතින් වුවද ආපසු හැරීමක් නොමැතිවම ඉදිරියට ගලා යයි. සැබවින්ම මෙය ඔබ අප ගෙවන යථාර්ථවාදී ජීවිතයේ පරම සත්‍ය නොවේද? ජීවිතයේ ආපසු හැරීම් අපටද නොමැත. සියල්ල දරා විඳගනිමින් කෙසේ හෝ ඉදිරියට යා යුතු නොවේද? 

මේ නොවෙනස්වන සත්‍ය කවියා පද ගැලපුම ඇසුරෙන් ඉතා විචිත්‍රවත් ලෙස අජීවී හුලංදාවට සජීවී බව ආරූඪ කරමින් රචනා කර ඇත.

සැබවින්ම කෙකටියා පඳුරකට මල් පොකුරු වඩා ගත හැකිද? නැතිනම්, කුඹුක් ගස් අතු වලට වතුර සමඟ ක්‍රීඩා කළ හැකිද? නොඑසේනම්, ඔයකට දොඩමළු වීමක් හෝ සිනහව පෑමක් කළ හැකිද?

කවියෙකු නම් සැබවින්ම මැජික් ශිල්පියෙක් කිව හැක්කේ මෙවැනි මොහොතකදීය. අජීවී වස්තූන් සජීවී කර දක්වමින් වචන තුළින් ජීවය ඇති කිරීමට ඉහත කාරණා හැර තවත් උපහැරණ අනවශ්‍යය.

කවියාගේ සාර්ථකත්වයට අත්වශ්‍යම ලක්ෂණ ලෙස චිත්ත රූප මැවීම දැක්විය හැකිය. සහෘද ඔබ හට කවි පෙළෙහි මා ඉහත කියූ පරිදි කුඹුක් අතු ඔයට නැමී ඇති අයුරු, ඔය ගලා හැලෙන සිහින් ශබ්දය සේම සඳක් මෙන් පිරිපුන්ව ජලයෙන් පිරී ගොස් අවට මල් සුවඳ පතුරවන්නට කෙකටියා පඳුරු දරන වෙහෙස ඔබේ සිත තුළ සිත්තම් මැවිය යුතුම කොටස්‍ ය.

සොබාදහම කෙතරම් නම් ලොවට සෙනෙහෙවන්තද? 

“නිල් කුරුලු බිළිඳු නිදි, ඇහැරවන්නේ කුමට? 
රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එළිය 
මිහිරි මව්කිරි වගේ පොවන්නෙමි නුඹලාට”

වෘක්ෂ ලතා ආදියෙන් කූඩුවද තනා දී එහි නින්දෙහි සිටින කුරුලු පැටවුන් දැඩි හිරු රැසින් ඇහැරේවි යන බියෙන් එයද සොබාදහම පෙරා සෞම්‍ය ලෙස ලොවට ලබා දෙන ආකාරය කවියා පවසයි. ලොව ඇති උතුම් යැයි සැලකෙන වස්තූන්ගෙන් මවු කිරි අග්‍රස්ත වේ. මෙහි මූලික හරය මෙන්ම ව්‍යංගය නම් අපගේ ජීවිතයේද එකිනෙකාට ප්‍රේමයෙන්, අවිහිංසාවෙන් ජීවත් වන්නේ නම් ස්වභාවධර්මයෙන් හොඳම දේ අපට ලැබෙන බවයි. කුරුළු පැටවුන් කෙතරම් අහිංසකද? කිසිවෙකුට හානියක් නොකරන ඔවුන්ගේ ජීවිත ඇසුරෙන් මිනිසාට අවිහිංසාව ඉගැන්වීම කවියා අතිසාර්ථක ලෙස සිදු කර ඇත.

පරිසර වර්ණනය ගත් කළ ඉතා ඉහළ මට්ටමක පවතින මෙම කවි පන්තිය තුළ එය වඩාත් තීවෘ කරනුයේ කවියා සන්නාලියන් විසින් මොනරුන්ට පිල් වියන බවත්, පරිසරයේ සුන්දරත්වයේ උච්චතම අවස්ථාවක් වන දේදුන්න සන්නාලියන්ගේ නිමැවුමක් බව පැවසීමෙනි.

පැදි පෙළෙහි අවසානය ළං වෙත්ම කවියා සමස්ත සමාජයටම ව්‍යංගයෙන් කතාවක් කියයි. මේ හුලන්දා ඔය ගිම්හාන කාලයේ පොළව ඉරි තලා, වතුර සිඳී ගිස්, කෙකටියා පඳුරු මැලවී ගොස් පරිසරයම වියළී ගොස් තිබී ඇත. එය කවියා හැඬූ කඳුළින් සිටින බවට සමාන කරයි. එහෙත් වැසි සමයත් සමඟම මල්වර වී මෙන් පරිසරයේම ඇති වූ සුන්දරත්වය කවියා පද්‍ය පුරාම මෙන්ම කවි පෙළෙහි මාතෘකාවට ද වස්සානය ලෙස නම් තබමින් තහවුරු කරයි.

“දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස”

ජීවිතයටද ගිම්හාන කාල නොකියාම පැමිණෙනු ඇත. එහෙත් අප හට අවැසි මොහොතක හැර යාම සිදු කළ නොහැකිය. කෙදිනක හෝ වස්සානයක් පෙමිණෙනු නියතය. එතෙක් ගිම්හානයේ දරා හිදීම ජීවිතය යැයි කවියා පවසයි.

අවසාන වශයෙන් ලියමි. වත්මන් සමාජයට මෙම කවිය පූර්වාදර්ශයකි. ඔබත් මමත් මුහුණ දෙන ව්‍යසනකාරී තත්ත්වයන් දරා ගනිමින් දිනෙක විකසිතව හිනැහීමට මේ ගිමන්යම දරාගත යුතුමය. 

Reference :

Design By Ravindu Sandeep

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විහාරා දිව්‍යාංජලී

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment