වීදි පහන් එළියට මුළු කොළඹම තනි වෙද්දී දිවා කල මුළු නගරයම දෙවනත් කළ අවිවේකී දහසක් දෙනා තද නින්ද්‍රාවක වෙලී නිදි ලොව සිහින අතර විවේකයේ ය. මාර්ගයේ ඉඳහිට දිවෙන වාහනයක හඬ හැරුණු විට වෙනත් කිසිදු හඬක් නොවුනු පරිසරයේ වූයේ දැඩි නිහැඬියාවකි. මැදියම ද පසුව දෙහෝරාවක් පමණ ගතව ඇති බවට එය කදිම සාක්ෂිය යි.
නගරයණ තද නින්දේ පසුවුව ද, මේ අවේලාවේ නොනින්දෝ ද බොහෝ වෙති. ඉන් එක් තැනැත්තෙකු වන්නේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මානසික වෛද්‍යවරයකුගේ එකම දරුවා වූ, තරුණ සරසවි සිසුවෙක් ය. ඔහු නිදාගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවීය. ඔහුට වටහාගැනීමට නොහැකි හැඟීමක් මනසට කරදර කළේ ය. උඩුකය නිරුවත්ව සිටි හෙයින්, ඇද සිටි සරම ද පොරවා ගත් ඔහු, යකඩ පොලු මලකඩ කෑ ජනෙල් කවුළුව දෙසට ගොස්, දැල්වෙන විදී පහන් දෙස බලා සිටියේ මානසික ගැටලුවකට මැදිවයි. ගත වූ නිමේෂයකින් පපුව හිරවෙන බව ඔහුට දැනිනි.
“කරුමක්කාරයා.”
ඔහු ඇස් පියාගන්නට උත්සාහ කරන සෑම විටක දී ම දෙසවන් වල එය රැව් පිළි රැව් දෙන්නට විය. බහ තෝරන වියේ පටන් නින්ද ගිලගත් ඒ වචනයට ඔහුගේ සිතේ උපන්නේ වෛරයකි. ඒ වෛරය කාලයාගේ ඇවෑමෙන් ආවේගයක් බවට පත්විණි. තරුණ සරසවි සිසුවා සතුව ස්වභාවයෙන්ම නිහඬ සාමකාමී චරිතයක් වුව ද, ‘කරුමක්කාරයා’ යන ආමන්ත්‍රණයට පමණක්ම ඔහු තුල සැඟව සිටින අධික ප්‍රේම කුසගින්නෙන් පෙලෙන ආවේගකාරී විනාශයට බර මනසක් ඇති ව්‍යාඝ්‍ර ස්වරූපයට, ඔහුව සම්පූර්ණයෙන්ම ඩැහැගැනීමට හැකි ය.
ජනේලය ළඟ සිට පිටුපසට පැමිණි ඔහු, නොදැනුවත්වම අත වැදී මේසය මත තිබූ වතුර වීදුරුව බිමට පතිත වුයේ මහ හඬිනි. තමාටම දොස් පවරාගත් ඔහු කඩිමුඩියේම වීදුරු කටු අහුලා අස් කර දමන්නට සැරසුණි.
හදිසියේම ඔහුට ඇසුනේ අඩි ගැටෙනා හඬකි. පැමිණෙන්නා කවුරුන් ද ඔහු හෝ ඇය වේගයෙන් හුස්ම ගන්නා තැනැත්තෙක් බව ඔහු නිරීක්ෂණය කළේය. පැමිණෙන තැනැත්තිය නිවසේ අයිතිකාර මහලු ගැහැණිය බවට ඔහු තත්පර කිහිපයකට පසුව නිගමනය කළේය.
ඔහු ජිවත් වන්නේ නිවසක ඉහළ මහලේ මාසික කුලියට ලබාගත් තරමක් විශාල කාමරයක ය. සැප සම්පත් වලට අතිශය ප්‍රිය නොකල බැවින් සහ අප්‍රිය වූවන් සමඟ ජිවිතය ඔහුට ප්‍රිය නොවුනු හෙයින්, ඔහු මෙම තීරණය ගත්තේ සරසවියට ඇතුළු වූ ආරම්භක අවදියේම ය. දෙවසරකට පසු වුව ද තනිව ගෙවන ජිවිතය තුල පවතින හැඟුම ඔහුට සතුටක් ගෙන දුනි. සාගරයක් තරමට මහත් වූ මිනිසුන් මැද ඔහුට දැනෙනා තනිකම මේ බිත්ති හතර මැද දියාවී තනියම තනිකමට ආල කිරීම ඔහුගේ විනෝදාංශය බවට පත්වී ඇත.
“මහත්තයා.”
නිවසේ අයිතිකාර මහලු ගැහැණිය දුර්වල හඬකින් ආමන්ත්‍රණය කළා ය. රැලි වැටුනු ඇදී ගිය දිරාපත් වූ සිරුරක අයිතිකාරියකගෙන් දුර්වල බයාදු හඩක් හැර වෙන කුමක් අපේක්ෂා කළ හැකිද?
වීදුරුව බිම පතිත වූ ශබ්දය මහලු ස්ත්‍රියගේ නින්දට බාධාවක් වීම පිළිබඳව ඔහු තැවෙන්නට වුයේ ය. මැදි රැයේ මේ කාන්තාවට තමා අතින් කරදරයක් වීම පිළිබඳව ඔහුට ඇතිවූයේ තමන් ගැනම කේන්තියකි.
“මහත්තයා…”
ඔහුට නැවත ඇසුනේ මහලු ගැහැණියගේ දුර්වල හඬයි .
ඔහු කොපමණ වැලැක් වුව ද තවමත් මහලු ගැහැණිය ඔහුට අමතන්නෙ මහත්තයා යනුවෙනි. ආරම්භක අවදියේ මෙය ඔහුට වේදනාවක් වුව ද, දෑ අවුරුද්දකට පසුව වේදනාව පරයා මහලු ස්ත්‍රියගේ කැමැත්තට ඉඩ දෙන්නට ඔහු ඉටා ගත්තේය.
“මේ වීදුරුව බිම වැටුන අච්චම්මා… ”
ඔහු මහලු ස්ත්‍රියට කිවේ බිම පුරා විසිරුණු වීදුරු කැබලි පෙන්වමිනි. කහ පාට නියෝන් බල්බයේ ආලෝක පරාවර්තනයෙන් වීදුරු කැබලි කාමරයේ තැනින් තැන දිලිසෙන්නට විය. එය දෑස් පිනවන රසවින්දනාත්මක චිත්‍රයක් මවාපාන්නට සමත් විය.
ආවේගය, ආතතිය සහ බියසුළු බව කහ පැහැති ආලෝකයෙන් පරාජය කිරීමට හැකි බව ඔහු පාසලේ පළමු වසරේ දී ඇසූ පදනමක් රහිත ප්‍රකාශයක් වුව ද ළපටි මනසේ අස්වැසිල්ලට ඔහු ඒ ක්‍රියා පිළිවෙලට හුරු වූයේ ය. විසි දෙහැවිරිදි පිය උරුමයෙන් ආ දේහදාරි පිරිමියෙක් වුව ද, අදටත් ඔහුගේ ඒ පුරුද්ද වෙනසක් වී නොමැත. සෙනෙහසේ හිඩස තුල අදටත් ඔහුගේ මනසේ කුඩා ළමයකු සැගව සිටී.
මහළු තැනැත්තිය වකුටුව, අපහසුව ඔහුගේ අත්වැරැද්දෙන් බිඳී ගිය වීදුරුවේ කැබලි සීරුවෙන් පරෙස්සමට ඉවත් කරන බව ඔහු බලා සිටියේ ඇහිපිල්ලමක්වත් නොසෙල්වමිනි. රැලි වැටුනු මාංශ දියවූ අස්ථි පෑදුණු සිරුර ඇයගේ ශක්ති හීන බව පැහැදිලි කරයි. වකුටුව නැවත නැගිටන විට වේදනාත්මක කෙදිරියක් ඒ මුවින් නික්මුන ද, එකතු කර ගත් කටු කැබලි ද සමඟ මහළු ගැහැණිය ආපසු යන්නට සුදානම් වූයේ ඔහුට පිරිනැමූ සිනහවක් ද සමඟිනි. වරදකාරි සිතුවිලි ඔහු හදින් පහ කරන්නට ඒ සිනහව සමත් විය.
ඔහුගේ මතකය දිව ගියේ වසර ගණනක අතීතයට යි. රබර් බෝලයක් දිය යට සඟවන්නට නොහැකිවන තාක් මෙන් ඔහුගේ අතීතය ද මතක අතර සඟවා දැමිය නොහැක. මව් සෙනෙහස උපතේ සිටම අහිමි කොලුවෙක් අප්පච්චී අසලම වෙලී ආදරය සෙවූ කොලුවෙක් විසල් නිවසක මව් පාර්ශවයේ මිත්තණිය සමඟ ගෙවූ කඨෝර ළමා කාලයක් ඔහුගේ මතකයේ විය.
මව මරා ජිවය ලැබූ කරුමක්කාරයෙක් බවට ඔහු පත්වුයේ තමන්ගේම මිත්තණිගේ චින්තනයෙනි.
එක් දිනකට දෙතුන් වතාවක්ම මිත්තිණියේ වාග් පීඩන වලට ලක්වන්නට ඔහුට සිදුවිය.
“කරුමක්කාරයෙක් ”
ඔහුට මෙලොව ඇති පිළිකුල් සහගතම වචනය එය විය.
” මහත්තයෝ… මෙන්න තව වතුර වීදුරුවක්… මම දන්නවා නෙ මහත්තයාට රෑට තිබහයි කියලා… ”
ඇය ගෙනවිත් ඔහු අත තැබුවේ තවත් වතුර වීදුරුවකි. ඉතාමත් පැහැදිලි නිසොල්මන් වතුර වීදුරුව ඇගේ ඔහු කෙරේ ඇති ලෙන්ගතුකම පසක් කෙරිණි. ඔහුගේ හද ගැස්ම වැඩිවුයේ නිතැතිනි.
කාලයාගේ ඇවෑමෙන් අව පහ ගැන්වුනු හිඩැස් සහිත දත් දෙපොල පෙන්වා සිනාසුනු මහළු ගැහැණිය පිය ගැට පෙල බැස යනතෙක්ම ඔහු බලා සිටියේය. වේදනාබර මතකයන් වල සදාකාලික පීඩිතයෙක් ලෙස කල් ගෙවූ ඔහුට ඒ සිනහව සැනසුම් සුසුමකි.
පෙරදාක නොවූ විරූ හැඟීමක් සහිතව යහනට වැටුනු ඔහු විනාඩි ගණනක දී නිදි මව් සැනසුමේ හිනැහුනේ ප්‍රීති මතකයන් ද කැටුවයි. ඔහුගේ සිනාවට හේතුව දුර්වර්ණ බෙලහීන කැහැටු මහලු කතකි.
නිදි පෙති භාවිතය අත් හැරි පසු ලැබූ යහපත්ම නින්ද ඔහු ලැබුවේ ගෙවී ගිය පැය කිහිපය තුළ යි. පියකරුව උදෑසන අධ්‍යයන කටයුතු වලට පිටවීමට පෙර ඔහුට මහළු කතට සුභ උදෑසනක් පතන්නට අවශ්‍ය විය. වෙනදා නොවූ නැවුම් උද්යෝගයක් ඔහු තුළ මතුව ඇත.
නිවසේ පසුපස දොරපිලේ වාඩිවී සිටි ඇයව දුටු ඔහු තම ගමන වේගවත් කළේ ය.
නමුත් ඔහු නැවතිණි.
” ආච්චම්මේ… ”
පිටුපස සිට දිව ආවේ කලිසමකින් පමණක් සැරසී සිටි අවුරුදු හයක් පමණ වන කොලු ගැටයෙකි. ඔහුගේ උද්දාමයෙන් පිරි හඬට ඔවුන් දෙස බැලූ මහළු කත, දෙදෙනාම හා සිනාසුනාය. ඒ සිනාවෙන් බල ගැන් වූ කුඩා කොලුවා නතර වුයේ මහළු ගැහැණියගේ තුරුලෙහි ය. කුඩා කොලුවා මහළු ගැහැණියට යමක් මුමුණන බව තරුණ සරසවි සිසුවාට පැහැදිලිව පෙනුනි. ඔහු නොසෙල්වී තවමත් මහළු ගැහැණිය දෙස හා කුඩා කොලුවා දෙස බලා සිටියේ ය.
” මගේ පුතා දක්ෂයා. ”
මහළු ගැහැණිය කියනු ඔහුට ඇසුණි. මහළු ගැහැණිය කුඩා කොලුවාගේ හිස ද සිපගත්තාය.
මේ මිත්තණියත් කුඩා කොලුවාත් දෙස බලා සිටි ඔහුට සියුම් ඊර්ෂ්‍යාකාරි හැඟුමක් ඇති විය.
” වාසනාවන්තයෙක් ”
අවසන, ඔහුට නොදැනීම ඔහුගේ මුවින් පිට විය.
Leave a Comment