සාමාන්‍ය

වැටුනු තැන මතක ද?

“අයියෝ මේ මොකක්ද මට වුනේ?”
“මොන කරුමයක් ද මේ?”
“මට නම් දැන් ඇතිවෙලා තියෙන්නේ මේ මඟුල?”
“මට වෙන්නෙම මෙහෙම දේවල්නේ, සික් විතරක්”

වැටිල්ලෙත් එක එක විදි තියෙනවනේ. ඔය මොන වැටිල්ල වැටුනත් අන්තිමේ දි තුවාල උනාම, වේදනාව ඉවසගන්න බැරි උනාම, කොයි කාටත් කියවෙන්නේ ඔය ටික තමයි.

ජීවිතය කියන්නේ ගතවන හැම තත්පරයකම ගොඩ නගන හීන කන්දක්. ඒත් ඒ එක හීනයක් කඩන් වැටුනොත්, වැටෙන වැටිල්ලට වෙන තුවාල නම් සෑහෙන්න දරුණු වෙන්නත් පුළුවන්. සමහරවිට ඒවා මුළු ජීවිත කාලෙටම කැළල් ඉතිරි කරන්නත් බැරි නෑ. මොන වැටිල්ලකට මුහුණ දෙන්න වුනත්, ඒ වැටුණු තැන මතක තියාගන්න තරම් අපි පරිස්සම් වෙන්න ඕන. ඒ ඇයිද කිව්වොත් ජීවිතය කියන්නේ සරලවම කිව්වොත්,

“නිරුවතින් දෑස් හැර
සියක් දේ රැස් කර
සුදුවතින් සැරසී
හිස් අතින් හැරයන
තාවකාලික සොඳුරු නවාතැනක්..”

තවත් විදියකට කිව්වොත්, හරියට කුලී ගෙදරක ඉන්නවා වගේ…

මේ කුලී ගෙදර අයිතිකාරයා තමයි සොබාදහම, ඒ ගෙදර නිර්මාණය වෙලා තියෙන්නේ සොබාදහමට ඕන විදියට, ඉතින් අපි මේ ගෙදර ජීවත් වෙන්නෙ හරියට ඒ ගෙදර අපේමයි කියල හිතාගෙන, නිරන්තරයෙන් සොබාදහම එක්ක තරග කර කර. ඒ ගෙදරට තියෙන ආශාව, කැමැත්ත, රුචිය කොච්චරද කියනවනම් අපිට ඒ ගෙදර අපේ නෙවෙයි කියලත් අමතක වෙනවා. නිසි වෙලාව ආවහම මේක දාල යන්න වෙනවා කියලත් අමතක වෙනවා. එහෙම වෙන්න හේතුව තමයි මේ, කුලී ගෙදර ඉන්න කාලෙදි අපිට ලැබෙන ප්‍රශ්න පත්‍රය, ඉපදුනු දවසෙ ඉඳලාම ඔය ප්‍රශ්න පත්‍රයට උත්තර හොයන එක තමයි අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ.

දැන හෝ නොදැන ජීවත් උනත් ජීවිතය කියන්නේ ප්‍රශ්න හා උත්තර , ‘ප්‍රශ්න’ කියන වචනෙ ඇහුනත් බයවෙන අපි, ඇත්තටම දන්නේ නෑ, ඉපදුනු දවසෙ ඉඳන් මැරෙනකන්ම අපි කරන්නේ, ප්‍රශ්න වලට උත්තර හොයන එක කියල. ඉතින් මේ ප්‍රශ්න පත්තරේ සුන්දරම කාලේ තමයි ඉගෙන ගන්න කාලේ. හොඳට ඉගෙනගන්නවා ඇරෙන්න වෙන වගකීමක් ඇත්තෙම නැති තරම්. ඉතින් ඊළඟ ප්‍රශ්න ටික හමුවෙන්නේ තරුණ කාලෙයෙදි ඒ ප්‍රශ්න පේන තරම් අමාරුත් නෑ, ඒත් ලේසිත් නෑ.. මේ ලැබෙන ප්‍රශ්න වලට නිසි තැන, නිසි විදියට හරි උත්තර දෙන්න බැරි උනොත් ජීවිතේ අවසන් කාලේ දුකින් පසුතැවීමකින් තමයි ඉන්න වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න වැලට හරියටම උත්තර දෙන්නෙ කොහොම ද කියල අපි බලමු.

ජීවිතය කියන වන්දනාවේ අපි යෙදෙන්නේ බලාපොරොත්තු නිසා. බලාපොරොත්තු නැත්නම් ජීවත් වෙන්න ආසාවක් නෑ. කොහොම උනත් බලාපොරොත්තු අසීමිතයි. එකක් ඉෂ්ට කරගත්තම තව එකක්. ඇතිවෙන බලාපොරොත්තු නිසා අපේ ප්‍රශ්න පත්තරය තවත් සංකීර්ණ වෙනවා. ඉතින් මේ සංකීර්ණකම හමුවේ ඒක දරාගන්න බැරිව ප්‍රශ්න පත්‍රය අතහැරලා යන අයත් නැතුවාම නොවේ. ඒත් ඒක මෝඩ කමක්. ඒ ඇයි කියල කෙනෙක් ඇහුවොත් මෙහෙම කියන්න පුලුවන්. එක්තරා මොහොතක මහමෙරක් තරම් ප්‍රශ්න වලට මුහුණ දෙමින් සතුටේ උපරිමය විඳිමින් ගෙවන ජීවිතය ජය ගන්නට මහමෙරක් තරම් වූ බාධක මැඬගෙන ඉදිරියට යන්න වෙනවා. සමහරවිට පළමු දෙවනවරටත් අසාර්ථක වෙන්න පුලුවන්. ඒත් ඒක ජයග්‍රහණයේ මාවත වෙන්න පුලුවන්.

පරාජය තුළින් ජයග්‍රහණය සොයාගිය සැබෑ අපරාජිතයන් ගැන ඔබ අනන්තවත් අහල ඇති. ඉගෙනීම කිසිසේත්ම ඔහුට නොගැළපෙන කාර්යයක් කියල ගුරුවරුන් විසින් පාසලෙන් එළවා දැමුනු පුද්ගලයෙක් හරි අරුම පුදුම දේකට මුල පිරුවා, අනුවණයා නමින් හංවඩු ගැසුණු ඔහු මොනතරම් සිනහවට ලක්වුනු ක්‍රියාවක යෙදුන ද කිව්වොත් අසාර්ථක වූ වාර ගාන නම් සුළු පටු නෑ. ඒ මොන දේ සිද්ද වුනත් 1879 දී, අසාර්ථක පරීක්ෂණ 999ක් අභිබවා යමින් ඔහු මුළුමහත් ලෝකයම එළිය කරනවා ඒ බල්බය ලෝකයට හඳුන්වා දෙමින්. මේ වෙන කවුරුවත් නෙවෙයි; තෝමස් අල්වා එඩිසන්. වරක් දෙවරක් අසමත් වීමෙන් ඔහු එදා පසුබැස්සානම් අපිට තාමත් කුප්පි ලාම්පු එළියේ පිහිට තමයි. බල්බය කුඩා එකක් වුවත් මුළු ලෝකයක්ම ආලෝකය ලබන්නේ එම කුඩා බල්බයෙන්.

හැම ජයග්‍රාහකයෙක්ම එක්වරෙක අත්හැරීම පසෙකදාල තරග වදින්නෙක්. ඔයත් මමත් ජීවිතයේ බොහෝ අවස්තාවල දී අසාර්ථක වෙලා ඇති. නමුත් අපි මතක තියාගන්න ඕන වේදනාත්මක අවසානයක් සාර්ථක ජීවිතයක ආරම්භය බව. ලෝකයට බිහිවුනු සියලුම ශ්‍රේෂ්ඨයින් ජීවිතයේ එක්වරක් හෝ කීපවරක් අසමත්වූ අය. ඒත් ඔවුන් තරම් අත්දැකීම් වලින් පරිපූර්ණ අය හොයාගැනීම අමාරු දෙයක් නෙවෙයි, කරන්න බැරි දෙයක්. ඒකට හේතුව පරාජය වටා අත්දැකීම් ගොන්නක් එකතුවෙලා තියෙන එක. ඔබත් වරෙක අසමත් වෙලා තියෙනවනම් , එවැනි විශිෂ්ටයෙක් වෙන්න හිතුවනම්, මේ ගෙවා ආපු ගමන දිහා බලල සතුටුවෙන්න පුලුවන්. සාර්ථකත්වයට උරුමකරුවන් ගොඩක් හිටියත් අසාර්ථකත්වය අවජාතකයෙක්.

ජයග්‍රහණයේදී අපි ළග ඉන්න ගොඩක් අය අපි පරාදවෙන තැන්වලදි අපිට හිනා වෙනවා, ඒත් ඒ හිනාව ධෛර්යයක් කරගන්න පුලුවන් නම් ඇත්තටම ඔබ දිනලා ඉවරයි. උඩුගං බලා පිහිනා යන ධෛර්යවන්ත මිනිස්සුන්ට ගං ඉවුරේ සිනාසෙන අයගෙන් ඵලක් නෑ.

ඉතින් ඔබටත් මේ ප්‍රශ්න පත්‍රයේ කොහේහරි උත්තරක් වැරදුනා නම් ඒ තැනට වෛර නොකර ආදරය කරන්න…

ඒ වැරදුනු තැන, වැටුණු තැන අමතක නොකර හොඳින් මතක තියාගන්න…

ඒ ඇයි කිව්වොත් ඒ වැරැද්ද, පරාජය, වැටිල්ල ඔබ මේ ජීවිතය ගෙන යන වන්දනාවේ අලුත් පිටුවක් පෙරලනවාට කිසිම සැකයක් නොමැති නිසා…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රන්මුනි නවෝදා

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment