උඹ මෙහෙම ඇවිත් යනවට මං හරි ආසයි . උඹ ඇවිත් ගියාම හරියටම මෙතන මේ පපුව මැද රිදෙන වේදනාවට මං හරි ආසයි.උඹ ඔහොමම හිනා වෙලා යන්නම් නොකියම යනවට මං ආසයි. කොටින්ම ඔව්.. උඹ ඉන්න ඕනේ නෑ. උඹ යන්න ඕනේ. මගේ හදවත මැද්දෙන් අඩියක් දිග උල් සපත්තු දාගෙන උඹ ඇවිදින්න ඕනේ. මට උඹේ ආදරේ දැනෙන්න ඕනේ. දනවන්න ඕනේ. රිද්දන්න ඕනේ … මට රිදෙන්න ඕනේ …
සාzරා… ඒ උඹයි
හැමදාම දාස්පෙතියා මල් පාත්ති මැද්දෙන් එද්දී දිග කොණ්ඩේ අග උඹ ගහන කහ මල මට පේනවට මං ආසයි. උඹ මූණ වල ගැහෙනකං හිනාවෙලා බිම බලන් ළග නතර වෙනවට මං ආසයි. ඇස් තවත් ලොකු කරන්
“ඇයි තවම මෙතන?”
අහනවට මං ආසයි.
සාzරා … උං කිව්ව තරමටම ගොළු වෙච්ච නැති උඹ. ඔය ඇස් දොඩවන දෙඩවිල්ල. උඹේ ඔය ඇස් දෙක පණ ගැහෙන හැටි මට පේනවා බං.. ඒ ඇස් ඒ තරමටම නලියනවා , දඟලනවා, හිනාවෙනවා , නටනවා…. ගිනි ගන්නවා, නිවෙනවා, වැළහින්නක් වගේ අඩනවා.
සාzරා
ඉතින් මං උඹට හරි ආසයි.
උත්තර නැතුව ගොළු වෙලා මමත් ගොළුවා වගේ ඉන්නකොට උඹ ගස්සගෙන ආයේමත් යන්න යනවට මං ආසයි.කොටින්ම උඹ කොයි මොහොතේ හරි යන්න ඕනේ කියන හැගීම් මගේ ඔලුවේ ඇතුලේ දෝංකාර දෙනවා… මෙතන නැවතීමක් නෑ සාzරා…උඹ යන්නම යන්න ඕනේ.
එච්චර උසක් නැති පට්ට කෙට්ටු කට්ට කළු මගේ සුදු කෙල්ල උඹ… වාත්තු කරපු ප්‍රතිමාවක් වගේ අව්වේ දිලිසෙන, හැඬ , වතුර සුවඳ උඹ… මායාකාර ප්‍රංශ පිළිරුවක් වගේ සුමට එක ස්පර්ශයකින් හැඟීම් මහ ගොන්නක් දනවන උඹ…ආයේ ආයේම දකින දකින පාරක් ගානේ පපුව අස්සටම ගිලිලා පතුලේ නොපෙනීම යන්න හදන උඹ..
සාzරා…
උඹ මහ පුදුම කෙල්ලෙක්.
අච්චරක් ලොකු මැජික් ඇස් ඉස්ස ඉස්සල්ලමලාම මූණට මුණ ගැහුන දා මගේ මුළු සරුවාංගෙටම හෙන ගහපු හැටි උඹ දන්නෑ..මහ නුගේ පාමුලටම කඩා පාත් උන විදුලියක් වගේ , උණු පිටින් අලුත් නැවේ ආ කුවේණී වගේ කොණ්ඩේ කඩා දාගේන හැරි හැරි නියපොතු වික විකා , මං දැක්ක පළවෙනිම තප්පරේ ඉදන් අදත් හෙටත් හැමදාටමත් එදා උඹ ඔය ඇස් දෙකෙන් ගැහී ගැහී බය වෙවී මං දිහා බල බලා හැංගිලා බිම බලන් ගිය හැටිය මට තාම මතකයි. අමතක කරන්නම ඕනේ උනත් අමතක කරන්න බැරි තරමටම මතකයි. ඉතින් දැන්වත් යන අතක පලයන්…
“අර කොණ්ඩේ දිග කළු කෙල්ලට එන්න කියපං..”
ගල් බැම්මේ ගැට්ටේ අග පස්ස තියාගෙන හිනා කළදක් නැතුව රවාගෙන මම උඹට අඩ ගහපු හැටි මට අද වගේ මතකයි.දිග සාය බිම අතුලගෙන ඉහිං කනිං දාඩිය පෙරාගෙන මං ළගට ඇවිල්ලා නැවතිච්ච හැටියේම තිගැස්සෙන දෙකම්මුල් හිමීට පිරිමදින ගමන් උඹ මං දිහා බලපු හැටි.
“නම මොකක් ද?”
මට එහා හිටපු එකා , සුරුට්ටුවා තග දාලා ඇහුවාම බෙල්ල එහෙමම ඇළ කරන් උඹ බලා උන්න හැටි… දිලිසෙන අසරණම ඇස් වලින් මං දිහා උඹ බලපු හැටි..
“ඇයි උඹ ගොළු ද? කතා කරපං …”
සුරුට්ටුවා ආයේමත් සැර එහෙම නග්ගලා ඇහුවාම නිනව්වක් නැතිව කලබලේ උඹේ ඇස් වටේටම දුවපු හැටි…
“ඇයි දෙමළ ද? සිංහල තෙරියමා”
“ඇති බං…”
බැරිම තැන මම උන්ට කිව්වාම, ලොකු බෝල කදුළු ගෙඩි දෙකක් ඇස් දෙකෙන් බේරීලා වැටුන හැටි…තෙල් බැම්මෙන් මම නැගිට්ටා නෙවේ මාව නැගිට්ටවුනා.
උඹේ ළගම යාළුවෙක් හදිසියේ කඩා පැන්නේ එතකොටමයි…
“අයියේ, මෙයාට කතා කරන්න බෑ.. මෙයා …”
උඹ ඇත්තටම ගොළුලු…මට හිතුනේ මං මහා වැරදක්කරා කියලා…
ඊටත් පස්සේ හැමදාම මම දකින දකින තැන උඹ, අර ලොකු ඇස් වලින් හිනාවුන හැටි.යන්තමට ඔලුව උස්සලා ඔහොම බලනකොට උඹ දන්නෑ මං දස දහස් වාරයක් ඇතුලෙන් පිච්චෙනවා.එයිනුත් සෑහෙන කාලෙකට පස්සේ කැන්ටිම ඉස්සරහා රොබරෝසියා ගහ යට උඹව තනියම අල්ල ගත්තේ උවමනාවට වඩා බලහත්කාරෙන් වගේ…උඹේ දකුණු අත මගේ අත් එක්ක පැටලුන හැටි.. උඹේ ලොකු ඇස් මගේ ඇස් මත්තේ ගැටුන හැටි… මගේ කශේරුකා අතරින් තප්පරේකට වොට් ලක්ශ ගානක විදුලි එළි කන්දක් හදවත පසාරු කරගෙන එළියට පැනපු හැටි.. ආශ්වාස ප්‍රාශ්වාසය දිගේ ගැහෙන හෘදය වස්තුව මං වමතින් තදේට අල්ල ගත්තේ උඹට මාව ඇහෙයි කියලා බයට … කාලයත් අවකාශයත් අතර එච්චරම හිස් මේච්චරම නිහඬ තප්පරයක් මම ජීවිතේ පළමු වතාවට අත් වින්දා.. උඹෙ ඒ ඇස්… ගැඹුරක් නොදකින තරමටම ගැඹුරු , පත්ල පෙනෙන තරමටම පැහැදිලි , නිරවුල් , දියමන්ති කැට තරමටම පිරිසිදු , කළු ලොකු ඇස්.. මා ඈ තුළ ආසක්තව ගිලෙන ඇස්…
ආදරෙයි නොකිය නොකියා මොකක්ද මන්දා එහෙකට මම උඹව, උඹවම හොයපු හැටි . නොපෙන්වා ඉන්න මම දත කාපු හැටි . හවසට කහට කෝප්ප උස්සන් කැන්ටිමේ දොරෙන් එළියට පැනලා වෙරළු ගහ පැත්තෙන්
” බඩගිනි නැද්ද? ” ඔය ඇස් වලින් අහනකොට මට ලෝබයි. ඒත් එතකොටම ඒකීව මතක් කරගෙන පපුව පිච්චීගෙන මතක කතන්දර අඩ ගහනකොට ආයේම උඹට රවන්න මං ආසයි… උඹව අතාරින්න … දැනෙන්න අතාරින්න.. උඹට දැනෙන්න උඹව අතාරින්න… මට මාවත් අතැර ගන්න..
තේ කෝප්පේ දික් කරගෙන මම ඒක අතට ගන්නකං පිළිමයක් වගේ උඹ හුස්ම ගන්නකොට මම අසරණයි මැණිකේ… උඹ දිහා බලාගෙනම උගුරෙන් පල්ලෙහාට ගලන තේ උගුරක් උගුරක් ගානේ ඇගම සෝදාපාළුවෙලා ගැහෙනකොට උඹේ ඇස් ඇතුලේ උඹ මගෙන් හොයන දේ දෙන්න හිතෙනකොට මට මං ගැනම එන කේන්තිය… තරහා…
උඹ අසාධාරණ නෑ… වැරදිකාරයා මම. දැන දැනම දැන දැනම මම මටම වද දී ගන්න කරේ උඹට රිද්දපු එක.ඒකී යනකොට මට දීලා
ගිය ගින්දරට මම ඇදලා දැම්මේ උඹව. වෙන එකෙක්ට ඇහැ ගැටෙන්න නොදී උඹව හිර කරන් සැර දැම්මේ මම.වෙන එකෙක්ට දෝත පුරා උඹව බාර දෙන්න තරම් හයියක් නැතුව ඔහේ වැනි වැනි ඉන්න දෙවොන්දරා මම. උඹ වෙරෝනිකා..
දෙසැම්බරේ මැද දවසක රතුම රතු දිග සල්වාරියක් ඇදන් අද පල්ලි යමු කියන උඹ.කුරුසේ ඇදගෙන දෑත් බැදගෙන දෙවියන් වහන්සේට යාඥා කරන උඹ. මාව පන්සල් එක්ක යන්නේ කවද්ද අහන උඹ.මම හිනා වෙලා අහක බැලුවම ආය වදයක් වෙන්න දන්නෙ නැති උඹ. ඔහොම උඹ ඉන්නකොට උඹ එක්ක ජීවිතේ කොච්චර ලේසි ද කියලා හිතෙනවා. ඒත් හිත ඇතුලේ අරගල කරන්නේ උඹත් දවසක වෙනස් වෙයි කියන බය.උඹට කලින් මම වෙනස් වෙයි කියන බය… උඹටත් මාව මදි වෙයි කියන බය … නැහැ …. මට උඹව දරන්න බැරිවෙයි කියන බය…
උඹ මාව මෙහෙම ඉවසන තරමක්. මට මං ගැනම එතකොට එන්නෙ මහම මහ පිළිකුලක්. උඹ මට දෙන වටිනාකම මට දරන්න බැහැ සාZරා… උඹ කහපාට ලොකුම ලොකු මලක්. මට හුස්ම දෙන ලොකුම ලොකු කහපාට එකම එක මල.එතකොට මම හිතක් පපුවක් නැති මත්වෙච්ච,බොරපාට දියවෙච්ච, හීතලක් නැති ගලක්. උපන්දිනේ අමතක වෙන දවසක් දවසක් ගානේ ඒකී මා එක්ක අල්ලපු රණ්ඩු…උඹේ උපන් දිනේ ඉවරයක් වෙලා මම දන්නේවත් නැතුවා උනත්, වචනෙකින්වත් වේදනාවෙන් මාව නොරිද්දපු උඹ. වැලන්ටයින් කුමාරයා ආ දවසට නොවරදවා මම දුන්නු හාදු ඇති මළු ගණන් ඒකී ළග. රෝස මලක තරමක දෙයක්වත් මගෙන් උඹට නැතිවාට උඹ දන්න කතන්දර මට කියපු උඹ, නන්දා කියන සින්දුවක පද පේලියක් මගේ අතේ ලියන උඹ….
පණ්ඩිත පොත් රාක්ක ගණන් කියවන උඹ… හැමදේම ඩිංග ඩිංග දන්න උඹ .. මන් දන්නේ හරි පොඩ්ඩයි. අත් එකට පුංචි කරලා මට කියන උඹ.. ඔහොම හිනාවෙන උඹ.. සාzරා..
මම කල්පනා කරනවා. උඹ ආදරේ හැමදේම එකින් එක මට කියද්දී උඹ ආදරේ විදිහ ටිකෙන් ටික ටිකෙන් ටික මට පෙන්නද්දී මම උඹට ආදරෙයි ද නැද්ද කියලා හිත හිතා ඉදිද්දී.. අපි අපිට ආදරෙයි ද කියන එක ඇරෙන්න අනික් හැමදේම අපි අතර හුවමාරු උන හැටි…
මුළු ලෝකයක් අපි අතරේ සම්බන්ධදෙට අර්ථකතන දෙද්දී අපි අගක් මුලක් නැතුව ඒ මැද්දේ … පැටලිලා .. මම උඹට ආදරෙයි ද මම දන්නෑ .. මට දැනෙනවා.. ඔව් උඹ මට ආදරෙයි
.. ඒ තමයි ආදරේ..
“එතැන ඇත්තේ කුමක්දැයි නොදන්නා නමුත්, එතැන ඇත්තේ යමක් ද මා එතැන නවතිමි”
මට මහන්සියි. මම හින්දා මට මහන්සියි. උඹ උඹේ ජීවිතේ උඹම හදාගන්න ඕනේ කාලේ ඇවිල්ලා සාzරා.මම නැතිව…ඔව් මේ තමයි හරිම වෙලාව…. මේ කාලකණ්ණියා උඹට ආදරේ නැතුව ඇති. මේ කාළකණ්නියා ආදරේ කරන්න දන්නේ නැතුව ඇති. උඹ නෙවෙයි සාZරා … මමයි හැමදේම පටලවගත්තේ …. මමයි …මමයි උඹව නතරකරගෙන අල්ල ගත්තේ…ඒත් උඹ දැන් යන්න ඕනේ.උඹ ගාව මට තියෙන ඉඩකඩේ හිස්තැනට පිරවෙන්න ඕනෑ තරම් උං ඉදී මැණිකේ. ඒත් මේ හදවතේ උඹ උන්නු තැන හැමදාම උණුහුමට තෙතමනේ තියේවී… මේ උඹ ඉන්න තැන, උඹේ ජීවිතේ හරිම තැන නෙවෙයි. ඉතින් උඹ යන්න ඕනේ… උඹ ඉන්න එපා මැණිකේ.උඹ යන්න ඕනේ…දැං හොදටෝම ඇති… හොදටෝම….
It’s really nice akki