අකුණු පිපිරුණා හෙණ ගැහුවේ නැතුවා
ඉරිඟු පැළවුණා හේබෑවේ නැතුවා
දෙපෝය ලැබුවා හඳ දැක්කේ නැතුවා
හඳ පෑව්වෙ නැතත් අපෙ බඩකට පිරුනා
ඉල් උඳු වප් මහේ වැහි මොර ගෙඩි වැටුනයි
ඒ වැහි එකතු විලා මහා වැව් පිරුනයි
වැහි නැති යලෙත් ඒ දිය සීරා ගැලුවයි
මෙදා පොටේ වැහි නෑ ආකහෙ බුදියයි
මහ වන්නියට වැහි වෑහෙන හාර මහේ
ඔහොමත් හිනැහිලා හරියනවද රාළේ
හඳ වැහියන්නේ මහ වැහි වැටියන්නේ
නැත්තං අනේ අපි ඔක්කොම බඩගින්නේ
වල් කෙටුවා කකුලේ කටු ඇනෙද්දී
ගිනි තිබ්බා උඩ ඉර ගිනි ගනිද්දී
කොකු ගෑවා හයදාහයි කියද්දී
වහියිම හිතුවා උකුස්සො ඉගිලෙද්දී
සමුර්දියෙන් ණය ගත්තේ වෙනදා කරන හින්දා
මැලේසියන් ඇට ගත්තේ අස්වනු වැඩි හින්දා
මුල් වැස්සට හිටවව්වේ කල්යල් බැලු හින්දා
ඉන්පහු වැහි වැස්සේ නෑ මුළු හේනම මැරුණා
අකලට වහිනවා ගම්බිම් යටවෙන්ඩ
කලට බිංදුවක් නෑ අපිට කැඳ බොන්ඩ
පැය දොළහේ මුරට පන්සීයලු පඩිය
සිකුරිටි වැඩක් හොයාන යනවා කොළඹ
Leave a Comment