දැනුම

විද්‍යා දැනුම් සාගරයේ මුහුදු මංකොල්ලකාර රැජිණිය

ඔබට හදිසියේ මොනවා හෝ මාතෘකාවකට වාර්තාවක් (report) සකස් කරන්නට සිදු වුණා යැයි සිතන්න. ඔබ මොකද කරන්නෙ? අනිවාර්යෙන්ම අන්තර්ජාලය ඔස්සේ ඒ මාතෘකාවට අදාළ කරුණු සොයන්නට ඔබ යොමු වෙනවා නිසැකයි. කොතරම් හෙව්වත් කිසිවක් හොයාගන්න බැරිව ඉන්න මොහොතක, අහම්බෙන් එක පර්යේෂණ වාර්තාවක් (Research paper)  ඔබට හමු වුනොත් කොතරම් සතුටක් දැනෙයි ද නේද? ඒත්, ඒ හම්බවුණු එකම Research paper එකත් කියවන්න, දැරිය නොහැකි තරම් විශාල මුදලක් ගෙවන්න සිදු වුනොත් මොකද වෙන්නෙ?

ඇලෙක්සැන්ඩ්‍රා එල්බකියන් (Alexandra Elbakyan) කියන්නෙත් අන්න ඒ වගේ අවස්ථාවකට තම විශ්ව විද්‍යාල අධ්‍යයන කාලයේ දී මුහුණ දුන් චරිතයක්. නමින් ඇයව නොදන්නවා වුවත්, ඇගේ නිර්මාණයක් වන Sci-Hub ගැන නම් නොදන්න සරසවි සිසුවෙක්  සිටින්නටත් නොහැකි ය. සරසවි සිසුන්ට දේවතාවියක් වූ ඇගේ සුවහසක් සිසුන්ට දැනුම බෙදා දෙන මාර්ගය විවර කිරීමේ ගමන් මග නම් රෝස මල් යහනාවක් නොවේ. කටු අකුල්, ගල් මුල්, බාධක මැදින් යන්නට වුණු ගමනක්. අද දිනට යෙදී ඇති ඇගේ ජන්ම දිනය වෙනුවෙන් දිග හැරෙන ඇගේ ඒ ගමන් මගේ  මතක ආවර්ජනයයි මේ.

1988 වසරේ අද වැනි දිනෙක කසකස්තානයේ  අල්මාටි නම් නගරයේ දී ඇලෙක්සැන්ඩ්‍රා අසනෝ(ව්)නා එල්බකියන් මෙලොව උපත ලැබී ය. පරිගණක ඉංජිනේරුවරියක් වූ ඇගේ මවගේ ආභාශය උප්පත්තියෙන් ම රැගෙන ආ ඇය අවුරුදු 12 ක් තරම් කුඩා වයසක දී  තමා විසින්ම වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට සමත් වීම ඇගේ දක්ෂතාව මනාවට පැහැදිලි කරන්නක් විය. මෙසේ කාලය ගෙවී ගිය අතර තම උසස් අධ්‍යාපනය Kazakh National State විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් ඇය තම සිහින සැබෑ කර ගැනීමට තමන් සතු ධනය වියදම් කරමින්  ජර්මනියේ Freiburg විශ්ව විද්‍යාලයට ද  ඇතුළත් විය. Sci-Hub නිර්මාණය  කළේ ද මේ අවදියේදී ය. විශ්ව විද්‍යාලයේ දී පරිගණක විද්‍යාව පිළිබඳව උපාධියක් හදාරමින් සිටි ඇය  Hacking පිළිබඳව තමා සතු දැනුම Sci-Hub නිර්මාණයට යොදා ගත්තා ය.

Sci-Hub මගින් සිදු වූයේ ඒ වන විට  මුදල් ගෙවීම් සිදු කර ලබා ගැනීමට සිදු වූ (paywall) Research papers නොමිලයේ ලබා ගැනීමට සලසා දීමයි. නමුත් පැවති නීතී රීති අනුව නම් මේ ක්‍රියාවලිය නීතීයට අනුගත නොවේ. 2011 දී නිකුත් කෙරුණු Sci-Hub පරිශීලකයින් අතර ජනප්‍රිය වූයේ කිසිදු ප්‍රචාරක උපක්‍රමයකින් නොවීම ද  එම නීතී රීති වල වූ සාධාරණ අසාධාරණ බව ප්‍රශ්න කිරීමකට ලක් කරන්නට ද විය.

 ඕනෑම යහපත් ක්‍රියාවක් කරන්නෙකුට බාධක වලට මුහුණ දීමට සිදු වීම නියතයක් වන නිසාවෙන්දෝ ඇලෙක්සැන්ඩ්‍රාටත් මුහුණ දීමට සිදු වූ අභියෝගවල නිමක් නැත. 

2015  වසර වන විට Sci-Hub,  එවකට පැවති  පර්යේෂණ වාර්තා වල ප්‍රකාශන අයිතිය හිමි ආයතන වලට හිසරදයක් වීමට පටන් ගෙන තිබුණි. තම අධිකාරී බලයට පිටින් යමින් සිදු වූ මේ ක්‍රියාව හෙලා දැකි ප්‍රකට ඇමරිකානු ආයතනයක් වන Elsevier ආයතනය Sci-Hub වෙබ් අඩවියට විරුද්ධව නඩු මගට පිවිසියේ ය. එම නඩුව වෙනුවෙන් ඇය උසාවියට යැවූ ලිපියේ  Sci-Hub  නිර්මාණයට හේතුව වශයෙන්,

“Payment of 32 dollars [for each download] is just insane when you need to skim or read tens or hundreds of these papers to do research”

“ඔබට පර්යේෂණ කිරීමට මෙම පත්‍රිකා දහයක් හො සිය ගණනක් දළ වශයෙන් හෝ සම්පූර්ණයෙන් කියවීමට අවශ්‍ය වූ විට (එක් එක් බාගත කිරීම සඳහා) ඩොලර් 32 බැගින් ගෙවීමට සිදුවීම උමතුවක්”

 යැයි සඳහන් කර තිබුණි. තම අරමුණ තුළ දැඩිව සිටිය ද ඇයට එම නඩු විභාගයෙන් සාධාරණයක් නම් ඉටු නොවුණි. ඒ වෙනුවට වන්දි මුදල් වශයෙන් ඇමරිකානු ඩොලර්  මිලියන 15 ක් ගෙවීමට නියෝග කෙරුණි. මින් පසු අවස්ථාව කිහිපයකදීම මෙවැනි නඩු කටයුතු වලට මුහුණ දීමට සිදුවූ ඇයට ඇගේ වෙබ් අඩවියේ වසම් නාම ගණනාවක් අක්‍රීය කර දැමීම ද සිදුවිය. නමුත් එයින් ද නොසැලී සිටි ඇය අදටත් තම වෙබ් අඩවිය හරහා තම සේවාව සපයමින් සිටී. ඇගේ මෙම කර්තව්‍ය හෙලා දැකි පිරිසට වඩා ඇගේ සේවාව අගයන විශාල පිරිසක් ඇය වටා එක් රැස් ව සිටීම නීති රීති වල වෙනසක් විය යුතු බව ලොවට පණිවිඩයක් ලබා දෙන්නට විය. 

“To Remove all barriers in the way of science”

තේමාව මුල් කර ගත් Sci-Hub නිසාවෙන් ඇස් ඇරුණු Harvard වැනි විශ්ව විද්‍යාලය තම නීති රීති ලිහිල් කිරිම ද ඇගේ අදහස තව තවත් සමාජ ගත කරන්නට විය.

2016 වසරේ දී Nature publishing Group මඟින් ඇලෙක්සැන්ඩ්‍රා ව Nature’s 10 එසේත් නැතිනම් විද්‍යාවේ වඩාත් වැදගත් සේවා ඉටු කළ දස දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර ඇයව 2018 වසරේ දී දැඩි විරුද්ධත්වයට හා සතුරුකමට එරෙහිව විද්‍යාව හා විද්‍යාත්මක තර්කය වෙනුවෙන් පෙනී සිටීම සඳහා මහත් ධෛර්යයක් පෙන්වූ පුද්ගලයින්ට පිදෙන ජෝන් මැඩොක්ස්  (john maddox) ත්‍යාගයට ද නිර්දේශ වී ඇත.

තම අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යා යුතුය යන ආදර්ශය ලොවට කියා දුන් ඇයව ලෝකයේ බොහෝ දෙනා මංකොල්ලකාර රැජිණ ලෙස හැඳින්වුව ද ඇයට අවශ්‍ය රැජිණක් වීමට නොව, ජනතාව අතරම හිඳිමින් ඔවුන්ට උදව් කළ යුතු බව යැයි ඇය වරක් මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පවසා ඇත.

ඉතින් අද දිනට යෙදී ඇති ඇගේ ජන්ම දිනය වෙනුවෙන් Colombo Beacon අපි ඇයට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරන අතරම තවත් මෙවැනි වූ සමාජ මෙහෙවරයන් කිරීමට ශක්තිය ලැබේවායි! පතන්නෙමු.

Design by : Shanaka Vishwantha

References :

Image:

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

මල්ෂා සමාධිකා

දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය

Leave a Comment