මට පුංචි මායාකාරියක් ගැන අහන්න ලැබුණා. ඉතිං මං ඒ පුංචි මායාකාරිට යැව්වා පුංචි තෑග්ගක්. ඒ තෑග්ගට එයා මට එව්වා පුංචි “සටහනක්”.ලියුමක් කියන වචනය එතනට නොදැම්මෙ ලියුමක් ලියන්න තරංවත් වයසක් ඒ පුංචි මායාකාරිට නැති නිසා. මං මොකද්ද යවපු තෑග්ග කියලා මායාකාරිගේ සටහන දැක්කහම තේරෙයි . වීීන්ගීස් ආයිත්මාතව්ගේ හොඳම පොත ගුරුගීතය. අල්තීනායි පොඩි කාලේ ඉඳලා දුකට හැදිච්ච ළමයෙක්. දුයිෂේන්ගේ යටතේ හිටපු නිසා එයා ඉස්සරහට ගියා. මම මේක කියවන්න පටන්ගන්න කලින් කියවන්න හිටියේ “අම්මා” පොත. ගුරු ගීතය පොත තමයි මං කියවපු හොදම පොත. මේකෙ ගුරුතුමා අල්තීනායි ළගට ආවනම් මේ කතාව තවත් ලස්සනයි.
මේක ඇත්ත කතාවක් ද?ලෙනින් කෙනෙක් ඉන්නවාද?

පොප්ලර් ගස් දෙකට මොකද වුනේ. මේ කතාවෙ හිටිය අල්තිනායිට තිබිච්ච එකම බාධාව තමයි එයාගෙ නැන්දා. මේ අයිලයේ හිටපු මිනිස්සු හිතාගෙන ඉන්නේ ළමයින්ට අධ්‍යාපනයක් ඕන වෙන්නෙ නෑ කියලා. ඒත් කාටහරි ඉදිරියට යන්න ඕනනම් අධ්‍යාපනය අපට අවශ්‍ය වෙනවා.” මගේ පුංචි මායාකාරිට මං උත්තරයක් යැවුවෙ නෑ. උත්තර යැව්වොත් ඒ පුංචි හිත අතරමං වෙයි කියලා මට බය හිතුණා. ඒත් එයා ප්‍රශ්න ගොඩක පැටලිලා. කොහොම හරි පුංචි මායාකාරි කතාව ගේනවා ලොකු තැනකට. “ඒත් කාටහරි ඉදිරියට යන්න ඕනනම් අධ්‍යාපනය අපට අවශ්‍ය වෙනවා” ඒ වචනවල මට පෙනුනා මහා ලොකු ගැඹුරක්.කදුලුගෑස් කාලා, වතුර පාරවල් කාලා,උද්ඝෝෂණ කරලා, මහ පාරෙ දියපට්ටා පුපුරනකල් ඇවිදලා අනේක කැපකිරීම් කරන, අරගලකාරීන් කරන අරගලේ සැබෑ අරගලය මතුවෙලා වගේ හැගීමකුයි මට තදින්ම දැනුණේ. මට මතක් වෙන්නෙම පාරෙන් පිට අරගල කරපු විප්ලවකාරී ගුරුවරිය. “හෝ ගානා පොකුණ”

පුංචි හිත් හරි පුදුමාකාරයි. දෙයක් ඕන වුනොත් ඒක කොහොම හරි ලබාගන්නවා. අඬලා දොඬලා බිම පෙරලිලා ඒක කොහොම හරි ලබාගන්නවා. ඒක තමයි ඒ මොහොතෙ එයාලා කරන අරගලය. ඔවුන් ඒ අරගලේ නවත්තන්නේ කොහොම හරි ජය අරගෙන.ඒක තමයි පුංචි හිතේ ශක්තිය. ඉතිං විප්ලවේ දැන් ළගයි. ළගයි කියන්නේ සියවස් ගානක් ළගයි. මගේ පුංචි මායාකාරිගේ හිතේ පැලවෙලා “”ඒත් කාටහරි ඉදිරියට යන්න ඕනනම් අධ්‍යාපනය අපට අවශ්‍ය වෙනවා” කියලා. හරියට පොල්පර් ගස් පැලවුණා වගේ. මේ සමාජෙට ඕන කරන්නෙත්. ඒ වගේ පුංචි හිත් ටිකක්. ටිකක් නෙමේ මහ ගොඩක්. ඒ පුංචි හිත් පැල කිරීම දැරිය යුත්තේ වැඩිහිටි ඔබත් මමත් කියලයි මට නම් හිතෙන්නෙ. සාමන්‍යපෙල විභාග ප්‍රතිඵල ඇවිල්ලා. මට ඇහුණා කෝචිචියේ මිනිස්සු ලංකාවේ පලවෙනිය ගැන මහා ලොකු කතා කියනවා. ළමයි කොච්චර ලකුනු ගත්තත් මනුස්සකම,ආදරය,කරුණාව,දයාව, ඒ හිත් වල පැල වෙලා නැත්නම් ගන්න ලකුණු වලින් වැඩක් වෙන්නේම නෑ. දුල්ෂේන් අල්තීනායි එක්ක පැල කරනවා පොල්පර් ගස් දෙකක්. පුංචි මායාකාරි අහලා තිබුණේ නෑ ඒ ගස් දෙකට මොකද වුණේ කියලා. ඒවා තාමත් තියෙනවා. ලෝකෙ තැන් තැන් වල මේ කියන පැල, පැලවෙනවා කාලෙන් කාලෙට. හරියට ඔයා වගේ.

” මේ රටේ මිනිස්සු හිතන් ඉන්නවා ළමයින්ට නිදහස් අධ්‍යාපනය ඕන වෙන්නේ නෑ කියලා. ඒත් කාට හරි ඉදිරියට යන්න නම් අධ්‍යාපනය අපිට අවශ්‍ය වෙනවා.” මාත් පුංචි මායායාවක් කලා මගේ පුංචි මායාකාරිට. මං දැන් යන්නේ ඒ රහස එලි කරන්න. මං කතාව පටන් ගත්ත ගමන් කිවුවා ” මං මොකද්ද යවපු තෑග්ග කියලා මායාකාරිගේ සටහන දැක්කහම තේරේවි කියලා” . මං ඇයට යැව්වෙ පොල්පර් පැලයක්. ඇය ඒක පැලකරලා.
Leave a Comment