මතකයි එදා පාළුව පැතිරුණු දිනෙක
නපුරක් සිදුවීය අමතක කළ නොහැක
පලදුන් සේය කරුමය මට පෙර කළෙක
කිම අම්මේ මා හැර ගියෙ වෙන දුරෙක
නිවාගනු පිණිස මට ඇති වූ පවස
සමඟින් ඔබත් ආවෙමි විල වෙත සවස
මතකයි සොඬය දැමුවා විල වෙතට තොස
ඔබ මා පසුපසින් විය සෙබලෙකු විලස
හිස ඔසවන විටදි මිනිසෙකු ඉදිරියෙන
ඉවුරට වී ඉඳියි එල්ලය ගෙන මාන
ඉවසුම් නොමැති රුදු මුව තරහව පිරුණ
දුටුවිට මෙමා හඬ නැගුවෙමි බිය පිරුණ
අම්මා මාව හොඬයෙන් පසුපසට කොට
අනතුර ඉව වැටී හැරුණා පිටුපසට
එසැණින් තිගැසුණෙමි මා රුදු වෙඩි හඬට
දුටුවෙමි ඇද වැටෙනු අසරණ ලෙස බිමට
සවිමත් ලෙසින් වෙර වීරිය ගෙන සිතට
නැගුණා දණින් ඇය හොඬ ඔසවා උසට
පෙනුණා ගලායන පිරි කඳුලැල් නෙතට
මම ඈ වැළඳ ගත්විට පෙරළිණි බිමට
සිදුවුණු කිසිත් අදහා ගත් නොහැක මට
ඔබගේ සොඬය දැමුවා මගෙ කර වටට
මම ගුලි වුණෙමි ඔබගේ ළය තුරුල්ලට
ඔබ නෙතු පියවුණා මා නෙත් ඉදිරිපිට
කොපමණ දඟලුවත් මා ඔබ ඉදිරිපිට
නැත යළි ඔබේ ඇස් ඇරුණේ මොහොතකට
කළ යුතු දෙයක් නොහැඟිණි මාගේ සිතට
තැබුවෙමි මගේ හිස ඔබගේ ළය මතට
ඇවිදින් මිනිස් රෑනක් හනිකට මාව
කොහෙදෝ ගිහින් දැම්මා නෑයන් ගාව
මට තවමත් පෙනේ ඔබගේ වීර වත
අප වෙන් කළේ මිනිස් නොමිනිස් කුමන සත
Leave a Comment