සාමාන්‍ය

විලම්භීත – අවසාන කොටස

මම ගාල්ලේ මහ ගෙදර ගියේ මාසෙකට දෙකකට වතාවක එහෙමත් කියලා දවසක විතරයි. අම්මම්මාගේ ආත්මය වෙනින් ශරීර කූඩුවක් හොයාගෙන ගිහින් අදට මාස හයක් විතර වෙනවා. එදා ඉදලාම සීයාතාත්තා බෲම් එක  දිහා බලාගෙන හූල්ලගත්ත ගමන්ම යි. මම අපේ මාතර ගෙදරට වඩා පොඩි කාලේ ඉඳලා හිටියේ ගාල්ලේ මහ ගෙදර. කලින් දවසේ රෑ ආවම ආයෙත් පහුවෙනිදා කොළඹ යන්න හිතෙන තරමට ම මහ ගෙදර මූසල පාටයි. 

මම සෑහෙන කාලයක් ඉඳලා ගාල්ලේ හරි මාතර හරි ඉඳලා කොළඹට යන හැමවතාවකම වගේම ආයෙත් එන හැම වතාවක ම මගේ පත්තර හිතවතා බලාපොරොත්තු වුණා. එත් ඊට පස්සේ කවදාවත් මට ඔහුව මුන ගැහුනේ නෑ.

බොහෝ විට ඔහු ස්ථිර රැකියාවක් සොයා යන්නට ඇත. එහෙත් නැවත එක වතාවක් හෝ ඔහු නැවත මුණ ගැසීමට ඇත්නම් යන නොමියන අපේක්ෂාවක් මාගේ හදවත තුල නිදන්ගතව ඇත. කෙටියෙන් ම කියනවා නම් ඔහුව නැවත එක වතාවක් හෝ හමු වීමට, වචනයක් හෝ කතා කිරීමට මට හොඳටම අවශ්‍ය ය. ඒ සඳහා නොහික්මුනු ආශාවක් ද මා හදවත තුල දලුලමින් වැඩේ.

දුම්රියේ ගමන් ගන්නා සෑම අවස්ථාවක ම ඔහු දුම්රියට ගොඩ වනු ඇතැයි සියුම් ගැඹුරු හැගීමක් ද දැන් මා සතු වෙයි. ඔහු වෙනදා දුම්රියට ගොඩවදින කළුතර දුම්රිය ස්ථානය දෙස එය පසුකර යන ඕනෑම අවස්ථාවක දෙතුන් වතාවක් හැරී බැලීමට තරම් මම දැන් අහේතුකව පෙලඹී ඇත.

පුද්ගල ප්‍රේමය වචනයෙන් විස්තර කල නොහැක. ආදරය යනු වාචාර්ථයෙන්ම ප්‍රකාශ කල යුතුම හැඟීමක් ලෙස අර්ථකතනය කල නොහැකි ය. තවද ආදරය රැඳී පවතින්නේ පුද්ගල ප්‍රතිරූපය මත පමණක්ම නොව ඔවුන්ට ආවේනික අප සිත් ගත් සරල ගති ලක්ෂණයන්ට ය. ඒවා නම් සාමාන්‍ය සාමාජය පිලිගත් ධනාත්මක ,පිරිසිදු, සර්ව සම්පූර්ණ ම ඒවා ම විය යුතු නැත.

කාලෙකට පස්සේ අද නිකමට වගේ මම ගම්භීරගේ මුහුනු පොතේ පිටුව පිරික්සුවා. යමූනා නදී සමීපයේ ප්‍රේමයේ පුදසුන වෙච්ච ටජ් මහල ඉස්සරහා ලස්සන හින්දි කෙල්ලක් එක්ක ගම්භීර ඉන්න කවර පින්තූරය  දිහා ටිකක් වෙලා මම ගොඩක් සන්සුන් ව බලාගෙන ම හිටියා. හරියට ගම්භීර මට පෙනුනේ මුම්ටාස් එක්ක ඉන්න සාජහන් රජ්ජුරුවෝ වගේ. නොදරුවෙක් වගේ අඩන්න බැරි කමට මම හිත තද කරගත්තා.

නොයිදුල් ප්‍රේමණීය හැගීම් එක්ක කාලයෙන් වියපත් වෙද්දී ගැහැනු සිතක් තුල ඇතිවන සoයමය ගොඩක් ප්‍රබලයි.

එත්  තාමත් මට තියෙන්නේ සියුමැලි  ගැහැනු හදවතක්. බැරිම තැන එදාත් මම මූණ කොට්ටේ ඔබාගෙන සිත එක්තැන් කරගන්න ගොඩක් මහන්සි වුණා.

……………………………………………………………………………………………………………………………….

වෙනදාට වඩා කොලඹ අහස අද හරිම බොල් පාටයි. මතක විදියට ගාල්ලේ යන්නේ මාස තුනකට විතර පස්සේ. නමෝ විත්තියෙන් කැම්පස් ආපූ මුල්ම දවසේ ඉඳලා එහෙන් මෙහෙන් අධිවේගී මාර්ග එලලා තිබුනට අද වෙනකන් ම මගේ එකම ප්‍රවාහන මාධ්‍යය වුනේ දුම්රිය විතරම යි. කළුතර පාලම පහුවෙනකන් වගේ නින්දත් නොනින් දත් අතර හිටියට පුරුද්දකට වගේ  කළුතරදී ඇහැරුණා.

බොහෝ කාලෙක සිට දුම්රියේ ගමන් ගන්නා සෑම අවස්ථාවේ දී ම කළුතර දී ප්‍රේමණීය ප්‍රතිමූර්තිය දැක ගැනීමේ ආශාවෙන් මම දුම්රිය කවුළුවෙන් දෙතුන් වතාවක්ම ඔලුව දාල බලන්න පුරුදු වෙලා හිටියේ .

කළුතර දුම්රිය ස්ථානයේ දී වෙනදා වගේ ම දුම්රිය නැවැත්තුවා. හදිස්සියේම මම කලබලවුණා. උන්හිටි තැන් අමතක වෙලා වගේ දුම්රිය අසුනෙන් නැඟිට ගත් මම සෙනඟ පීරගෙන කලබලෙන් වගේ දුම්රියෙන් බැහැගත්තා. ඊට පස්සේ පිස්සුවෙන් වගේ දුම්රිය වේදිකාව දිගේ දුවගෙන ගියා. ආයෙත් නතර වුනේ ස්ටේශම බිත්තියේ අලවපු දැන්වීමක් ඉස්සරහ. දෑස් අදහාගන්න බැරිව ගියා. දැන්වීමේ නමත් , පින්තූරයත් දිහා මාරුවෙන් මාරුවට එක දිගට විනාඩි ගානක් බලන් ඉන්න ඇති.

“නoගී ඔයා එයා දන්නවද?”

ස්ටේශම බිත්තියට හේත්තු වෙලා හිටිය තරුණයෙක් මාව විමසන්න පටන්ගත්තා.

“ඔව්. ඒත් එහෙම ම දන්නෙත් නෑ. දේවක සතරසිoහ කියන්නේ නිතර පත්තරේට ලියන කෙනෙක් නේද? මම එයාගේ පත්තරේ ලිපි හැම සතියෙම වගේ කියවලා තියනවා.”

“ඔව් නoගි…මිනිහට හොඳට ලියන්න පුලුවන්”

“ඒත් මේ පින්තූරේ  ඉන්නේ කෝච්චියේ ඒ දවස් වල පත්තරේ විකුණපු පිරිමි ළමයෙක් නේද?”

මම එහෙම කිව්වාම ඒ තරුණයා මම දිහා ටිකක් විමසිල්ලෙන් බැලුවා.

“නoගිට ද කසුනි මිස් කියන්නේ?”

ආගන්තුකයාගේ ප්‍රශ්නය නිසා මම චකිතයට වගේම භීතියටත් පත් වුණා. කෙටියෙන් ම කිව්වොත් අදහගන්න බැරිව විලම්භීත වුණා.

“ඇත්තම කිව්වොත් මගේ පළවෙනි නම කසුනි තමයි.ඔයා කොහොම ද දන්නේ?”

මේ ලෝකේ මට මිස් කියලා මේ වෙනකන් කතා කරලා තිබුනේ එකම එක පුද්ගලයෙක් විතරයි. ඒ මගේ හිත ආදරයෙන් බැදුනු …නෑ …මම ඇස් වල පොට ගෙවෙනකන් දැක ගන්න පෙරුම් පිරුව…නෑ…නෑ…නෑ නෙවේ ඔව්…. ඒ මගේ සදාදරණීය  පත්තර ප්‍රේමවන්තයා විතරමයි. අහෝ…! නිහඩ පෙම්වතාණනි…

අග මුල තේරෙණ කතාවක මීටත් වඩා යතාර්ථයක් දැන ගැනීමට මට මෙන්ම ඔබට ද අවශ්‍ය නොවිය හැක. අප්‍රකාශිත උපන් ගෙයි මල ප්‍රේමයක් වෙනුවෙන් හදවත කම්පනය වී නැගෙන කඳුළු කැටවල බර දරාගැනීමට මම තවම උගෙන ගෙන නැත. ඔහු ද මට  එය උගන්වා නැත. එය උගෙන ගැනීමට අපට ජීවිතයෙන් අවස්ථාවක් ලැබුනේ ද නැත.

“දේවක මගේ හොදම යාළුවෙක් නoගී.. නoගී හැමදාම ට්‍රේන් එකේ දී පත්තරේ ගන්නවා කියලා විතරක් නෙවෙයි නoගී ගැන තව ගොඩක් දේවල් දේවක ඉස්සර මට ඇවිත් කියලා තියෙනවා.”

ඔහු දිග සුසුමක් හෙලයි.

“හරි උත්සාහවන්ත එකා නoගී… උදේට කැම්පස් යන ගමන් ඉස්සර ට්‍රේන් එකේ පත්තර විකුණුවා. දවල්ට ඉතින් කැම්පස් එකේ වැඩ නේ… ආයෙත් රෑට පත්තරේට ලිව්වේ කීයක් හරි හොයාගන්න ම තමයි. දේවක පොඩි කාලේ ඉඳන්ම මහන්සි වුනේ තමන්ටම කියලා දෙයක් ගොඩනගාගන්න. තාත්තත් නැති කොල්ලනේ නoගී. පහුගිය මාස තුනේ ම පිලිකා වාට්ටුවේ හිටියේ. අනේ මන්දා නoගී මේවට ලබා උපන් විදිය කියන්න ද කරුමේ කියන්නද කියලා… ඊයේ අවසන් කටයුතු තිබුනේ…!!!”

ආයෙත් වතාවක් කිව්වොත් කොහේදෝ තිබිලා ගලාගෙන ආව ඒ කඳුළු කැට මගේ දිලිසෙන ඇස් වලට හරි බරයි.

ඔබත් නිහඩයි,
මමත් නිහඩයි,
ජීවිතේ තනි මංසලේ…
මමත් නුබ වාගේ නිහඬයි…
දරාගනු බැරි ප්‍රේමයෙන්…!!!
නුබත් මම වාගේ නිහඬයි…

අතීතේ මිය ඇදුනු සොහොනක,
පහන් වැටියක හුස්ම ගන්නා,
නොකැලැල්ම ඒ පහන් සිළුවෙන්,
ජීවිතය යදිනා…
නහරවැල් වල රිදි රිදී සරනා…
මේ දරාගනු බැරි ප්‍රේමය යි…!!!
ආලයක් නැති ප්‍රේමයයී…
මේ දරාගනු බැරි ප්‍රේමය යි…!!!

(ආදරේ නැති ප්‍රේමයක් සදාකාලික ජීවිත ස්මරණයක්  විය)

නිමි.

පහතින් ලියමි.
මෙහි සදහන් සියලු නම් ගම් හා සිදුවීම් මනඃකල්පිත ය.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විශ්වරංගි හෙට්ටිආරච්චි

කළමනාකරණ පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment