සාමාන්‍ය

විලම්භීත – තෙවන කොටස

හිතට දරාගන්න අමාරු ඕනම ප්‍රශ්නයකට මම දැනගෙන හිටි එකම විසදුම ඇස් රතු වෙනකන් අඩන එක නෙවෙයි.ටිකක් වෙලා යනකන් එහේ මෙහේ යන හිතයි ඇස් දෙකයි බලෙන් අල්ලලා නිදි කරවන එක.

කැම්පස් එකේ ඉදලා බෝඩිමට ආව ගමන් ම මම ඇඳ බදාගත්තේ වෙන කරන්න දෙයක් දන්නේ  නැති නිසාමයි. ඔලු කට්ට දැන් නැතුවට දැන් ගැලවෙන්න වගේ රිදෙන්න ගත්තා.මට ඉවසගන්න ම බෑ. එහෙට මෙහෙට හැරී හැරී ඇස් දෙක පියාගන්න කියලා මම පැය ගාණක් ම මහන්සි වුණා. රෑ නවය යන්තමට  පහුවෙන්න ඇති. ලාවට වගේ ඇහැ පිය වුණා විතරයි.

“අනේ මාව බේරගන්න කවුරුත් නැද්දෝ…අනේ මාව මරණවෝ….අනේ..අනේ…මාව කාටවත් ම ඇහෙන් නැද්දෝ…!!!”

හීනෙන් වගේ ඇහුණු ඒ සද්දෙට මම උඩ විසි වෙලා ගිහින් ඇහැරුණේ.

“අනේ කවුරුවත්ම නැද්දෝ..අනේ මාව බේරගන්නකෝ..ඊයීයීයීයී…මගේ ලගට කිට්ටු වෙන්නේ නෑ..!!!”

අනේ දෙවියනේ ඒ අල්ලපු කාමරේ සචිනි අක්කගේ සද්දේ! මේ නම් හීනයක් වෙන්න බැහැ. මම මේසේ උඩ තිබුණු වතුර වීදුරුව එක හුස්මට බීලා දැම්මා. අද කාලේ අහන සිද්ධිත් එක්ක ඇඟ සීතල වෙලා ගිහින් කකුල් දෙක පණ නැති වුණා.

“අනේ දෙවියනේ ඇයි මාව කාටවත් ම ඇහෙන්නේ නැත්තේ..මෙන්න මූ මාව මරන්න හදනවෝ…!!!”

බල බලා ඉන්න වෙලාවක් නෑ.මම මොනවා හරි කරන්න ඕන..ඒත්  දෙවියනේ මම කියලා මොකද කරන්නේ දැන්…

එකට කතා කරලා ,එකට හිනා වෙලා එක බත් එක කාලා ඉන්න සචිනි අක්කා හරියට මගේ අක්කා වගේ.මැරෙනවා නම් එකට මැරෙනවා. දැන් වෙන මොනවා කරන්න ද? කොහේදෝ හැoගිලා තිබිලා එලියට ආපු වීරකමක් මවාගෙන හිතට හයිය අරන් මම ඇඳෙන් බිමට පැන්නා.

“ෂා…!!! අනේ මරු අක්කේ මරු…මරු ආතල් එක..දැන් නම් මාර ම තාත්වික යි”

ඊට පස්සෙ ඇහෙන්නේ මගේ රූමා කලනිගේ සද්දේ…

හම්මේ…මම කලබල වුණා වැඩි යි.දැනුයි මතක් වුනේ… කොහේද අද මම ඒකත් අමතක වෙන  තරමට ම ගොඩක් ම හිතේ අමාරුවෙන් නේ හිටියේ.. සචිනි අක්කට රූපවාහිනියේ කොරියන් චිත්‍රපටියක හඩකවන්න අර්ධ කාලීන රැකියාවක් ලැබුනා කියලා ඊයේ හවස මට කිව්වනේ… හඬකවන්න  පුරුදු වෙනවා ඇති.

මම ආයෙත් හිත හදාගෙන නිදාගන්න මහන්සි වුණා. ප්‍රේමාන්විත තරුණ හදවත් වල ආදරණීය හැඟීම් කම්පනය වෙන සරල තරංගයකට වුනත් ගව් ගාණක දුර එක් තැන් කරන්න පුලුවන් කියලා අහලා තියනවා.

ඒත් මම කොහොම ද අහලා විතරක් තියන ඒවා විශ්වාස කරන්නේ…

ගම්භීරට ගුජරාට් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබිලා හෙට උදේ ම ඉන්දියාවට යනවා.

ඉස්සර ඉදල ම එයාට ඕන වුනේ ඉන්ජිනේරුවරයෙක්  වෙන්න.

“අනේ පිස්සු ද  ඔය තරමට  ගනන් හදලා මහන්සි වෙන්න..? මෙන්න මෙහෙම ගිනි කූරක් පත්තු කරනවා.. පත්තුකර ගතපු ගිනි කූරට තව මොනවා හරි දාලා ඒ පාර බලෙන් නිවනවා. ඊටපස්සේ බීකරයක මොනවා හරි දාගෙන පාට වෙනස් වෙනකන් ,වාශ්ප වෙලා යනකන් ඔලුවට අත ගහගෙන බලන් ඉන්නවා..”

මිනිස් සමාජය කියන රසායානාගාරය තුල භෞතික නීති වෙනුවට මිනිසා විසින්ම නිර්මාණය කරගත් නීති රීතී මාලාවන් උඩ සමාජ ආර්ථික පද්ධති තම අරමුණු වලට සක්‍රීයව වෙනස් වෙමින් ගමන් කරන සාමාජයී ය විද්‍යාවන් හදාරන මට නම් භෞතික නීති වලට යටත් වුනු අකර්මණ්‍ය වස්තු පද්ධතීන් තියන ස්වභාවික විද්‍යාවන් හරි විකාර යි.

අන්තිමට මැකැනික් බාස්සුන්නැහේ කෙනෙක් හරි  වුනොත් ඇති  කියලා ඉස්සර මම රඟ පපා හිනා වුණ විදිය ආයෙත් මතක් වුණා.

ආදරය කියන්නේ බොලඳ නීතී වලින් එක තැනක හිර කරන්න ඕන පටු හැඟීමක් නෙවෙයි. ගම්භීර ඉන්දියාවට යන එකට නම් මගේ ඒ තරම් සතුටක් නැහැ. ජීවත් වෙන්නේ අරමුණු බලාපොරොත්තු උඩ නිසා ගම්භීරගේ අරමුණට යන එක මම නවත්වන්නේ කොහොමද..??? බොලඳ ප්‍රේමවන්තියක් වෙන්න මට බැහැ.

පරිස්සමින් ගිහින් හොඳට ඉගෙනගෙන උපාධිය අරන් එන්න කියලා අද හවස ගම්භීර මුණගැහිලා මම හිනාවුනේ කඳුළු හංගගෙන. වාවන්න බැරිම තැන ලා දලු බෝ පත් සෙමින් සැලෙනවා වගේ  රහසේ ඇඬුවලු යශෝදරා දේවිත්. මාව ඉතින් ඒ ලඟින් වත් තියන්න බැහැ නේ. ඇස් දෙක ඉල්ලන තාලෙට අඬන්න දීලා මම ආයෙත් වතාවක් නිදන ඇඳේ කොට්ටේ ඔලුව ඔබා ගත්තා.

 

(සතියකින් තැග්ගැහෙමු ආදරේ නැති ප්‍රේමයක් ලඟ)

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විශ්වරංගි හෙට්ටිආරච්චි

කළමනාකරණ පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment