සාමාන්‍ය

විලම්භීත – දෙවන කොටස

“ගුඩි මෝනින් මිස්”

කොයිතරම් කියලා රූපලාවන්‍ය ශිල්පීන් හිටියත්, පදුරක් පදුරක් ගානේ රූපලාවන්‍යාගාර තිබුනත් මිනිස්සු ලස්සන කරන්න පුලුවන් සරල ම දෙය සුන්දර හිනාව විතරයි.ඉරටත් කලින් පාන්දරින් ඒ තරම් ලස්සනට සුබ පැතුව ම ප්‍රතිචාරයක් නැතුව තවත් හිරිමල් හිතකට හොර පාරේ යන්න පුලුවන් ද?

“ගුඩ් මෝනින්”

දත් තිස් දෙකින් හතරෙන් පoගුවක් විතර එලියට දාල මමත් හිනාවුණා දන්න තරම් ලස්සනට.

ඊලගට ඔහු කතා කලේ ඇම දානකන් ඇම කන්න ම බලන් හිටිය මාලුවෙක් වගේ.

“අද පත්තරේ ගන්නේ නැද්ද මිස්? ඊයේ මැච් එකත් අපි පරාදයිනේ …ෂිට්…!” 

ක්‍රිකට් තරගයක් පැරදුනත් සතියක් විතර හූල්ලන මිනිස්සු ඉන්න රටක ඒකත් වැදගත්
ප්‍රවෘතියක් තමයි.

“අරයත් ඔන්න මේ පැත්තටම පනිනවලු මිස්…කියවලාම බලන්නකෝ අදත් පත්තරේ”

එකම රාමුවක් තුල එකම මිනිස්සුන්ගේ  පක්ෂ පාට විතරක් මාරු වෙන අපේ රටේ දේශපාලනයත් අපේ ජීවිතය වගේම ඉක්මනට වෙනස් වන  හරිම අස්ථාවර මාතෘකාවක්.

“ගන්න අද දවසේ පත්තරේ…යන එන ගමන් කියවන්න ගන්න අද දවසේ පත්තරේ අද..”

ඊලගට ඔහු ආයෙත් වතාවක් මුලු කෝච්චි පෙට්ටියටම ඇහෙන්න කෑගැහුවා.

පත්තරය මොහුගෙන් මිලදී ගැනීම නවත්වන ලෙස දෙතුන් වතාවක ගම්භීරගේ පූර්ව නියෝග අදත් මම මේ විදියට නොසලකා හරින්නේ මේ පත්තර කොල්ලගේ අහින්සක ඉල්ලීමට පිටු පාන්න බැරිකමක් නිසා ම නොවෙයි.ගම්භීර ආයෙත් වතාවක් කේන්ති ගස්සලා සෙල්ලක්කාර පුoචි විනෝදයක් ලබන්න අදත් මට ඕන වුණ නිසා.

හොල්මන් වලට භය නම් කනත්තේ ගෙවල් හදනවද? 
මගේ  හදවත මට ම විරිත්තලා හිනාවෙන්නේ මේ වගේ වෙලාවක.ගම්භීරගේ දිලිසෙන නපුරු ඇස් මා මනසේ හොල්මන් කරද්දිත් මම එදිනත් ඔහුගෙන් පුවත්පත මිලට ගන්න අමතක කලේ නැහැ.

අත් දිග චෙක් කමීසයක් වැලමිට තෙක් නවා හැද රබර් සෙරෙප්පු යුවලක් හා උපැස් යුවලක් පැලදී සාමාන්‍ය උස මහත තරුණයකු ලෙස මම ඔහුව ඔබට හදුන්වා දීමට කැමැති ය.මේ පත්තර කොල්ලා ගම්භීර සිතන පරිදි තුන්වන පoතියේ අන්තිම කොනක රස්තියාදු නියෝජනයක් ලෙස හoවඩු ගැසීමට මම අකැමැති ය.
ඔහුගේ පෞරුශත්ව සාධක අනුව ඔහු මෙවැනි රැකියාවක් කිරීම මාගේ කුතුහලයට පමනක් හේතු වූ අතර ගම්භීර සිතන පරිදි මා තුල ඔහු කෙරෙහි අනවශ්‍ය ලෙන්ගතුකමක්  නම් මෙතෙක් ඇතිවී නැත.

මෑත කාලයේ පුවත්පත් වල වාර්තා වෙන එකම ආරක පුවත් නීරස වුවත් ඔහු දුම්රිය තුල මුන ගැසෙන ඕනෑම වෙලාවක ඔහුගෙන් පුවත්පතක් මිලට ගැනීමට මම සැදීපැහැදී සිටියේ ද ඇබ්බැහි වී සිටියේ දැයි මම හරිහැටි දන්නේ නැත.

……………………………………………………………………………………………………………

කුණු ඇලක් උඩින් වුනත් ලස්සන හදවත් එකතු කරන සමනල පාලමක් හදන්න පුලුවන් කියලා යන්තම් දන්න තේරෙණ කාලේදී ම මට කියලා දුන්නේ මම හුස්ම ගන්න ගාලු නගර ය.ලන්දේසී ගාල්ලට කොටුවක් හැදුවට ගාල්ලේ මිනිස්සුන්ගේ නිවහල්  චින්තනය නම් ඒ කොටු පවුර අස්සේ ලන්දේසිකාරයින්ට ඕන විදියට ම හිර වුනේ නැහැ.ඊට පස්සේ කාලෙදිත් එහෙම ම තමයි.හෙමිහිට ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොලේ පියගැට පෙල බැහැලා මම ඊට යාබද දුම්රිය ස්ථානයට සේන්දු වුණා.

දීර්ඝ සති අන්තයකට පසුව එලඹෙන සදුදා දිනය තරම් නීරස දවසක් දුම්රිය මගියෙකුට තවත් නෑ.ගාල්ලේ ඉස්කෝලෙක ඉගෙන ගතපු දැනට විශ්ව විද්‍යාලයක ඉන්න ගොඩක් දෙනෙකු ඉස්සර සෙනෙහසින්ම ආයෙත්මත් එකට මුණ ගස්සවන සෙනෙහසේ වේදිකාව තමයි ගාලු දුම්රිය වේදිකාව.දුම්රිය වේදිකාවට ඇතුල් වෙද්දීම ඉස්කෝලේ කාලේ දන්න කියන මුහුණු එහෙන් මෙහෙන් එක පේලියට හිණාවෙන්න ගත්තා.

“කෝහේ ද  දැන් ඉන්නේ..?”
“මොනවද කරන්නේ..?”
“ඉතින් කොහොම ද..?”
“දැන් ඉතින් හරි ගිහින් ද”

අන්තිම ප්‍රශ්නේ අහද්දී නම් කට්ටියගේ මූණේ පෙම් පාට වැක්කෙරෙනවා.ඉස්සර යාලුවෝ දැන් මුණ ගැහුන ගමන් අහන්න දෙයක් නැති කමට ඒ වගේ දේවල් ටිකක් තමයි අහන්නේ කතාව පටන් ගන්න.ඒ ප්‍රශ්න ටික දැන් නම් මට හරිම ඒකාකාරියි.ඒ වගේම සාම්ප්‍රදායික යි.එහෙමත් වෙලාවක තමයි හිතෙන්නේ ඒ වගේ බොරුවට අහන ප්‍රශ්න වලට ඇගටපතට නොදැනී  ස්වයoක්‍රීයව ප්‍රතිචාර දක්වන්න පුලුවන්කමක් යාන්ත්‍රික සැකැස්මක් මිනිස්සුන්ටත් තිබුණා නම් කොයිතරම් හොදද කියලා.

මොන රටක ඉදලා කොයි මැණිකේ  ගාල්ලට ආවත් පස්සෙන් පස්සට යනවා මිසක් ගාල්ලට පස්ස හරවලා යන්න තේජාන්විත ගාලු දුම්රිය සැලැස්ම ඉඩ දුන්නේ නෑ.වවුලගේ මගුල් ගෙදර ආව නම් එල්ලිලා හිටු කියලා මම දුම්රියේ අල්ල ගන්න තිබුනු යකඩ පොල්ලක  එල්ලුනා.අනේ ඉවසන්න බැරි දහිරිය වාට්ටුවෙන් වැඩ කරන කසි කබල් දුම්රිය විදුලි පන්කාවේ නෝක්කාඩුව!

“ගුඩ් මෝනින් මිස්”

හිටිහැටියේ ම ඇසුණු මාගේ පත්තර සගයාගේ හඩින් මම ගැස්සුණා.

“මේ බලන්නකෝ මිස් මේ නිවුස් එක .පුදුම සමාජයක් නේ මේ…”

සමාජය විග්‍රහ කරන්න විශ්ව විද්‍යාලවල ආචාර්යය උපාධි ම ඕන නෑ.සාමාන්‍ය සමාජයේ තැලුනු පොඩි වුණු ඕනෑම කෙනෙක්ගේ ආත්මීය ස්වරයෙන් කම්පනය වෙන්නේ ඒ අයට ආවේණික සමාජ පද්ධතියේ හදගැස්ම.

“අද කාලේ අය කියවනවා අඩුයි නේ මිස්…මිස් නම් හැමදාම  පත්තරේ කියවනවා නේ ද?”

ඊට ප්‍රතිචාරයක් ලෙස මම නිහඩව සිනාසුණා.

“ඊයේ හරි වැඩක් වුණා මිස් …මම පොත් සාප්පුවට ගියා සිදත් සගරාව ගන්න කියලා ඊයේ…පොත් සාප්පුවේ ගෑනු ලමයා දුන්න උත්තරේ මතක් වෙද්දී තාමත් හිනා යනවා..”

“ඇයි මොක ද වුනේ?”

කතාවට වචන ඉස්සර නොවුනට මගේ ඇස් ඉස්සර වෙන්න ඇති. මම ඇස් වලින් කතා කලා.

“මේ සතියේ සගරාව තාම ආවේ නෑ කිව්වා”

තොරතෝන්චියක් නැතිව එක දිගට කතා කරගෙන ගිය ඔහු ඊලගට හිනාවෙන්න පටන් ගත්තා.මමත් සිනාසෙමින් පුවත්පත එදාත් මිලට ගත්තා.

අර කිව්වත් වගේ නිකන් ම නිකන් පත්තර කාරයෙක්ට මොකට ද අනේ සිදත් සගරාව වගේ වටින කියන පොතක් හැබෑට ම!!!.මගේ හිත මම එක්කම පොර අල්ලා අල්ලා තර්ක කරන්න පටන් ගන්නේ මේ වගේ වෙලාවට.

 

(සතියකින් තැග්ගැහෙමු ආදරේ නැති ප්‍රේමයක් ළඟ)

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විශ්වරංගි හෙට්ටිආරච්චි

කළමනාකරණ පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment