සාමාන්‍ය

විලම්භීත – පළමු කොටස

“දවසේ පත්තරේ අද…!!! යන එන ගමන් කියවන්න ගන්න දවසේ පත්තරේ අද…”

“මේ අන්තිම වතාවටයි කියන්නේ,ඒ පත්තරකාරයත් එක්ක ආයෙත් කතා කරන්නේ නෑ…තේරුණා ද?”

ගිනි කාෂ්ඨක අව්වේ මේ තරම් සැර දන්නේ එහෙමත් ඉරක් යට ලෝකයක් විතරමයි.

“ඒ මොකද ඒ…?මනුස්සකමටනේ කතා කලේ…කියන්නකෝ බලන්න එහෙනම් ගොලුවෙක් වගේ ඉදගෙන කොහොමද පත්තරේ ඉල්ලන්නේ කියලා?”

ලතාවට පද්දලා තාලෙට හිනාවෙලා කිව්වට තාර බර අයින් කරලා ගත්තාම ඒකත් සෑහෙන්න හිතන්න ඕන උත්තරයක්.පුරාණ පණ්ඩිතයෝ ආදරේ අන්ධයි කියලා පුස්කොල පොත් වල ලිව්වට ඒ ආදරණීය ඇස් වලට රෝස කටු වලින් ඇන්නේ මිනිස්සුන්ට නෛසර්ගික සැකය විතරක් නෙවේ මෝඩකම.

“මොකද්ද කිව්වේ…???”

ගම්භීර දෙවෙනි වතාවටත් ඒ වගේ දෙයක් ඒ විදියට අහන්නේ පලවෙනි වතාවේ හරියට ඇහුණේ නැති නිසා වත් තේරුණේ නැති නිසාමත් ම නෙවෙයි.දෙවෙනි වතාවටත් අහලා ඒ ප්‍රශ්නෙට අනවශ්‍ය වටිනකමක් එකතු කරගන්න ඕන වුනු එහෙමත් වෙලාවක.

“වටින කියන දේවල් එක පාරට වැඩිය කියන්නේ නෑ”

“මොකද් ද කිව්වේ…?අනේ ඇත්තමයි ආයෙත් වතාවක් පණ්ඩිත කතාවක් කිව්වොත් ගහනවා කන හරහට…!!!”

කුකුල් කේන්තියට එහෙම කිව්වට ගම්භීර අහක බලාගත්තේ හරියට ගැරඩි මරලා පව් පුරවගන්නේ කවුද වගේ අදහසකින්.

“ඒ වුනාට මටත් පත්තරේ කියවන්න ඕනා…රටේ ලෝකේ වෙන දේවල් දැනගන්න ඕනා…මටත් කියලා නිදහසක් තියනවනේ…නීති දාන්න එන්න එපා අනවශ්‍ය විදියට මෙතන…!!!”

සමතැන, නිසිතැන ,අරතැන,මේතැන ඉල්ලන මෑත කාලයේ කාන්තා පාර්ශවයේ තවත් එක බිම් මට්ටමේ නියෝජනයක් විදියට තමයි මම ඒ වගේ උදාන වාක්‍යයක් හෙමිහිට වුණත් මිමුණුවේ.

“කවුද දැන් නිදහස නැති කලේ..??ආහ්…!පත්තරේම ඕන ද රටේ ලෝකේ විස්තර දැනගන්න…?ඉන්ටනෙට් වගේ ජාතියක් ගැන අහලවත් නැද්ද..? අනේ නිකන් හතර බීරී කතා කියලා මාව අවුස්සවන්න එපා තවත්…”

යල්පැන ගිය ක්‍රමවේදයන් තුල තාමත් එල්බ සිටින කාන්තා පාර්ශවය නවීන තාක්ෂණය ඉස්සරහා ගොඩක් වෙලාවට අතරමo වෙනවා.එහෙමත් වෙලාවක කණවැල අල්ලන්න හරි පුරුෂ පාර්ශවය කියලා පාර්ශවවක් ඉන්න එකත් සෑහෙන්න වටිනවා.

“අනේ මේ…කතාව වෙනස් කරලා මාව තරහ ගස්සවන්නේ නැතුව ඉන්නවද කරුණාකරලා…ආහ්?”

කාලයේ පරිණාමය එක්ක ගෑනු ලමයින්ට අමතක වෙන්න යන ඕනම දෙයක් හරි ඉක්මනට මතක් කරලා දෙන්නත් එක්ක වෙන්න ඇති දෙවියෝ පිරිමි ලමයි මැව්වේ.

“තවත් අර පත්තර කාරයා එක්ක කතා කරලා මට අහුවෙන්න බෑ…මේ කියන්නේ තේරෙණ සින්හලින් අන්තිම වතාවට.”

ආයෙත් වතාවක් ගම්භීර සැර දාන්න පටන් ගත්තා.

නැවත වචනයක් කතා කිරීමට නොව ප්‍රකෝපයෙන් දිලිසෙන ගම්භීරගේ දෙනෙත් යුග්මට දෙස හැරී බැලීමටත් බියට පත් වූ මගේ ගැහැණුකම මීට සුලු වේලාවකට පෙර මිලට ගත් පුවත්පතට දැඩිව නැඹුුරු විය.

දුම්රිය අසුනට බර දීලා වාඩි වෙලා හිටි ගම්භීර ඊලගට හොරැහින් මම කියවන පත්තරේට ම ඇහ දාන්න පටන් ගත්තා.මමත් නොදැක්කා වගේ ම හිටියා.

“පස් වෙනි වේදිකාවේ නවතා ඇති සීග්‍රගාමී දුම්රිය දැන් ගාල්ල හා මාතර බලා පිටත් වේ…”

(සතියකින් තැග්ගැහෙමු ආදරේ නැති ප්‍රේමයක් ලග(

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විශ්වරංගි හෙට්ටිආරච්චි

කළමනාකරණ පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment