මම අපේ ආත්තම්මට කිව්වේ අම්මම්මා කියලා. සීයට කියන්නේ සීයා තාත්තා කියලා. ඊයේ රෑ ඉදලාම චිරි චිරි වැස්ස!!! අපේ අම්මම්මා නම් මේ වැස්සට කියන්නේ පේලි වැස්ස කියලා. මොකද එක පේලියට වැස්ස අහසින් කඩාගෙන වැටෙන්නේ. මේ වෙද්දී හැම සති අන්තෙම මම කොළඹ ඉඳලා ගාල්ලේ මහ ගෙදරට එන්න පුරුදු වෙලා හිටියේ.
අපේ සීයා තාත්තා අම්මම්මාටත් වඩා එයාගේ කාර් කබලට ආදරෙයි කියලා මම දන්නවා.ඒකට මම පොඩි කාලේ කිව්වේ බෲම් එක කියලා. බෲම් එක මගේ ජිවිතේට ගොඩක් සම්බන්ධයි. මම ඉපදිලා ඉස්සෙල්ලම ඉස්පිරිතාලේ ඉඳලා මහ ගෙදරට එක්කගෙන ඇවිත් තියෙන්නේ බෲම් එකේ. ඒ කියන්නේ මම නමෝවිත්තියෙන් මේ ලෝකේ ගොඩවෙච්ච පලවෙනි වාහනේ තමයි අපේ සීයාතාත්තගේ බෲම් එක. හොඳටම වැස්ස නිසා සීයා තාත්තා මාව බෲම් එකෙන් ගාල්ලේ ස්ටේශමට එක්කන් ආවා කොළඹ යන්න.
“අලුත් වැස්සක් වහින්නට සැරසේ…
පුරුදු ආකාසේ…
දිගු කාලයක් නිහඬව සිටී නුඹ වගේ…
අලුත් වැස්සක් වහින්නට සැරසේ…”
බෲම් එකේ සියුම් හඩින් වාදනය වුනු සුනිල් එදිරිසිoහ මහත්මයාගේ ඒ ගීතය කවදාවත් නැති තරම් මගේ හදවත වැලඳ ගත්තා. මේ වෙද්දී මම කෝච්චියට නැගලා පැය එකහමාරක් විතර වෙනවා. ඒත් තාමත් ඒ ගීතය හදවතේ ඒ රිද්මෙටම වාදනය වෙනවා.
“අදත් පත්තරේ කියවමු මිස්”
මගේ හදවතේ මෙතෙක් වෙලා වාදනය වුනු ඒ ගීතය එක පාරම නැවතිලා ගියා.හරියට අකුණක් ගහලා විදුලිය විසන්දි වුණා වගෙයි.
“මිස් හැමදාම පත්තරේ ගත්තට මම මිස් ගැන දන්නේ වත් නැහැනේ. මිස් හැම සතියෙ ම කොළඹ යන්නේ එහේ මොනවද කරන්නේ”
“තවම ඉගෙනගන්නවා”
කෙටි පිළිතුරක් ලබා දුන් මම පුවත්පත මිලට ගැනීමට මුදල් පසුම්බිය සොයන්නට වුණා.
“එතකොට මිස් ගේ නම මොකද්ද..?”
මට මතක විදියට මම ඔහුත් එක්ක වැඩියෙන්ම කතා කල දවස ඒ.
“ඇත්තම කිව්වොත් මට නම් ගොඩක් තියනවා. මට වත් ඒ නම් ගොඩ මතක නැහැනේ. මගේ නම කසුනි දිනුශ් ශ්වේතා. ඒ ඉතින් අපේ වාසගම නැතුව විතරයි. සමහරු කසුනි කියනවා. සමහරු ශ්වේතා කියනවා. තවත් සමහරු දිනුශ් කියනවා. ඒත් මගේ ලඟම හොඳම යාලුවන්ට නම් මම නිකන්ම ම නිකන් දිනුශ් විතරයි. මම නැති තැන මට මොන තරම් කියන්න නම් හදන් ඉන්නව ද කියලා මම දන්නේ නැහැ”
හිනාවෙලා කතා නැවැත්තුවම හරියට වැස්සක් වැහැලා පෑව්වා වගේ කියලා ඔහුට හිතෙන්න ඇති. ගිරවෙකු මෙන් පාලනයකින් තොරව හුස්ම නොගෙන එක දිගට වේගයෙන් කතා කිරීමේ මාගේ හුරුව ස්ථානෝචිත නෑ කියලා මට තේරෙන්න ගොඩක් වෙලා ගියා.

“මිස් කතාකරනවට වඩා මැදින් හිනාවෙනවනේ…ගඟෙන් එහා නිසා වෙන්න ඇති මිස්ගේ කතාවත් තියෙන්නේ අධිවේගයක් නේ”
ඒ එක්කම වගේ තැන නොතැන නොබලා අනවශ්‍ය පුද්ගලයෙක් සමඟ ඕනවට වඩා කතා කලේ දැයි සියුම් ලැජ්ජාවක් හා සැකයක් මා හට ඇති විය.
” දිනුශ් කියන නම නම් කලින් අහලා නෑ මිස්..ඒත් ඉතින් දිනුශ් කියුවම කොල්ලෙක් වගේනේ…ශ්වේතා කියුවමත් අනේ මන්දා…කසුනි කියන නම් හරි ලස්සනයි මිස්…සරල නමක් වුනාට රත්තරන් වගේ වටිනවනේ”
ඔහු සිනාසෙයි.එදාත් පුරුදු විදියටම සිනාසීම හැර වාචික ප්‍රකාශනයකින් ප්‍රතිචාර දැක්වීමට මම අපොහොසත් වුණා.
“මම යනවා මිස් . පරිස්සමින් යන්න”
ඔහු අනිත් දුම්රිය පෙට්ටියට මාරු වෙනකන් මම බලන් හිටියා.
……………………………………………………………………………………………………………………………….
සම්ප්‍රදායික විදියට කාලයේ වැලිතලා විසින් අතීතය යට කලා කියන්න මට අමාරුයි. දවසින් දවස කාර්යබහුල වෙද්දී අපේ ම ජීවිත පවා අපට මඟ හැරෙනවා.
මේ වෙද්දී ගම්භීර එක්ක දවස් දෙක තුනකට වතාවක්වත් විනාඩි දහයක් පහලොවක්වත් වයිබ(ර්) ඇමතුමක් හරි ස්කයිප් ඇමතුමක් අරන් හරි කතා කරන්න මට වෙලාවක් තිබුනේ නැත්ද ඕන කමක් තිබුනේ නැත්ද මම දන්නේ නැහැ.
විශ්ව විද්‍යාලයේ සෙමෙස්ටර් විභාග, තව ප්‍රොෆෙශනල් විභාග විතරක් නෙවේ මේ වෙද්දී මම ආරම්භ කරලා තිබුනු නීති ප්‍රවේශ විභාගෙත් එක දිගට පෝලිමට තියෙන්න පටන් ගත්තා. සමහර විභාග එක පාරක් පාස් වෙන්න දෙතුන් පාරක්ම ලියන්න සිද්ධ වුනා. ඉස්කෝලේ කාලේ නම් පන්තියේ පලවෙනියා වෙන්න බැරි වුන එහෙමත් වාරෙක මම සුමානයක් විතර ඉකි ගහ ගහා ඇඬුවා. ඒත් දැන් අද උදේ විභාගයක් අසමත් වුනත් ඊලඟ උදේ සල්ලි තියනවා නම් ආයෙත් විභාගේ ලියන්න පුලුවන් තරමට ම එක පැත්තකින් ජීවිතේ සරල වෙලා.
මේ දවස්වල රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න ඕනම සිසුවෙක් වගේ මහන්සි වුනේ කාලේ තාලෙට අඩුම ගානේ උපාධි දෙකක් වත් එක පාර අරන් රැකියා වෙළඳ පොලේ පුද්ගලික විශ්ව විද්‍යාල සිසුන්ට හොඳ තරඟයක් දෙන්න.
මහ ගෙදර යන්න රුහුණු කුමාරී අල්ලගත්තේ නූලෙන්. දුම්රිය කවුළුවට ඔලුව හේත්තූ කරගෙන නැවුම් මුහුදු සුළඟේ පුසුඹ විඳින ගමන් මම ආයෙත් අතීතය මත ඇවිදින අතීතයේ වහලෙක් වුණා.
මේ මගේ විශ්ව විද්‍යාලයේ අන්තිම අවුරුද්ද. ගෙදර යන්නත් කම්මැලියි. ගෙදර ගිය හැම වතාවෙම වගේ මාව ඉක්මනින් ගෙදරින් පන්න ගන්න වගේ අම්මා මඟුල් බෙරේ ගහන්න ගන්නවා. අපේ අම්ම කියන්නේ හොඳ හොඳ මනමාලයෝ ඉන්නේ ඉංග්‍රීසී පත්තරවලලු. මේ ටිකේම මම අමාරුවෙන් පාඩම් කරලා පාස් කරගත්ත විභාග සහතික ටික මනාලීයෝ තීර වල උණු උණුවේ මා(ර්)කට් වෙනවා මට බලන් ඉන්න බෑ. ඒ වැඩේට නම් මට අම්මා එක්ක හොදටම කේන්තියි. පරක් තෙරක් නැතිව මම කල්පනා කලා.

“මගේ අම්මේ…කසුනි මිස්ව දැක්ක කල්…බැරි වෙලා හරි අද මුණගැහුන නේ…”
මීට කාලෙකට ඉහත දී මම ඔහු දුටුවාට වඩා ඔහු මේ වන විට කේඩෑරි වී සුදුමැලිව ඇත.
“හාලෝ…දැන් පත්තරේ විකුණන්නේ නැද්ද..?
“නෑ මිස්… පත්තරේ විකුණන්න වෙලාවක්වත් දැන් නෑ මිස් මට. දැනුත් මේ පොඩි වැඩ වගයකට කැන්ස(ර්) හොස්පිටල් එකට ගිහින් එන ගමන්. ඉතින් මිස් ට කොහොම ද..?ගොඩක් කාලෙකින් නේ.”
“හ්ම්ම්…මම නම් හොඳින්. ඔයාට කොහොම ද?”
“ජීවිතෙත් හරි දුකක් නේ මිස්. ඔන්න ඔහේ ඉන්නවා. මට නම් කෝච්චියේ යන එන හැම වෙලාවකම වගේ මිස්ව මතක් වුණා. මම ඉතින් මිස්ට මිස් කිව්වට මිස් අපේ ලොකු නoගිට වඩා අවුරුද්දක් විතර තමා වැඩිම වුනොත් වැඩිමල් ඇත්තේ”
ඔහු එහෙම කිව්වාම සුපුරුදු විදියට එදාත් ඔහුට හිනාවකින් සoග්‍රහ කරන්න විතරයි මම දැනගෙන හිටියේ.
(සතියකින් තැග් ගැහෙමු ආදරේ නැති ප්‍රේමයක් ලඟ)
Leave a Comment