ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ එක්තරා සුවිශේෂ උත්සවයක් ලෙසට SLUG (Sri Lanka University Games) හැදින්විය හැක. මෙය 1980 වසරේ සිට වර්ෂ තුනකට වරක් පවත්වනු ලබයි. විශ්ව විද්‍යාලීය ක්‍රීඩා ප්‍රජාව මෙය දේශීය ඔලිම්පික් උත්සවයක් ලෙසින් හැදින්වීමට පසුබට නොවේ.තමන් අධ්‍යාපන කටයුතු වලින් පමණක් නොව ක්‍රීඩා ක්ෂේත්රයෙන්ද අන් අයට නොදෙවෙනි බව ලොවට පෙන්වීමට විශ්ව විද්‍යාල සිසුවාට මෙය මහගු අවස්ථාවකි.
1980 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අංශයේ එවකට අධ්‍යක්ෂකව සිටි ලෙස්ලි හදුන්ගල මහතාගේඅදහසක් පරිදි මෙය ක්‍රියාවට නැංවිණි. ඔලිම්පික් තරගාවලියේ ශ්‍රී ලංකාවද නියෝජනය කර ඇති ඒ මහතා විශ්ව විද්‍යාල සිසුන් අතර ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීමට උනන්දු විය . එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රථම අන්නර් විශ්ව විද්‍යාලීය ක්‍රීඩා තරගාවලිය 1980 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පැවැත්විය. මේ සදහා ක්‍රීඩා ඉසව් 20ක් නියෝජනය කරමින් විශ්ව විද්‍යාල 6ක සිසුන් සහභාගී විය. අද වන විට එය Sri Lanka University Games ලෙසින් හදුන්වනු ලබයි.
වර්තමානයේ සෑම වසර තුනකට වරක් මෙය සංවිධානය කරනු ලබන අතර ක්‍රීඩා ක්ෂේත්‍ර 22ක් යටතේ තරග ඉසව් 33 ක් පැවැත්වේ. අවසන් වරට පැවැත්වූ තරගාවලිය ශ්‍රී ජයවර්ධනපපුර විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කළ අතර එහි ශූරතාවය දිනා ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලය සමත් විය. කොළඹ විශ්ව විද්‍යාලය අට වරක් ශූරතාව දිනා ගනිමින් වැඩිම වාර සංඛ්‍යාවක් ශූරතාව දිනූ විශ්ව විද්‍යාලය ලෙසින් SLUG ඉතිහාසයට එක්වී ඇත.
මෙවර 11 වන විශ්ව විද්‍යාලීය ක්‍රීඩා උලෙළ මොරටුව විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබයි.මේ සදහා කොළඹ විශ්ව විද්‍යාලය,මොරටුව විශ්ව විද්‍යාලය,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය,කැළණිය විශ්ව විද්‍යාලය,පේරාදෙනිය විශ්ව විද්‍යාලය,යාපනය විශ්ව විද්‍යාලය,රුහුණු විශ්ව විද්‍යාලය,සබරගමුව විශ්ව විද්‍යාලය,යාපනය විශ්ව විද්‍යාලය,නැගෙනහිර විශ්ව විද්‍යාලය,රජරට විශ්ව විද්‍යාලය,වයඹ විශ්ව විද්‍යාලය,ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය,අග්නිදිග විශ්ව විද්‍යාලය සහ සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් සිසුන් සහභාගී වීමට නියමිතය.
SLUG යනු තවත් එක්තරා ක්‍රීඩා තරගාවලියක් පමණක්ම නොවේ.මෙය යොවුන් විශ්ව විද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීමටත් තම ක්‍රීඩා කෞෂල්‍ය ලොවට පෙන්වීමටත්,සිසුන් අතර සහයෝගීතාව වැඩි කර ගැනීමටත් සිසුන්ට ලැබෙන මහගු අවස්ථාවකි.
Leave a Comment