ක්‍රීඩා

විස්සයි විස්සේ කටු ඔටුනු පැළඳි තුන් ඉරියව් තුරුම්පුව

1991 වර්ෂයේ සැප්තැම්බර් 9 වන දින මීගමුවේ දී මෙලොව එළිය දුටු මැදගමගමගේ දසුන් ශානක වර්තමාන ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන අතරම, සියලුම තරග ආකෘතිවල දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි. මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන් හා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ පාසල් අවධියේ පටන්ම ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වරම් හිමි කර ගන්නා  134 වන ටෙස්ට් ක්‍රීඩකයා ද, 171 වන එක්දින ක්‍රීඩකයා ද, 58 වන විස්සයි විස්ස ක්‍රීඩකයා ද වන්නේ දසුන් ශානකයි. තම පාසල් දිවිය නිමා කිරීමෙන් අනතුරුව 2011 දී සිංහල ක්‍රීඩා සමාජය සමඟ සම්බන්ධ වන ඔහු වර්තමානය වන විට ක්‍රීඩා කරන්නේ ද එම ක්‍රීඩා සමාජයටම ය. දකුණතින් පිත්ත හසුරුවන, දකුණතින් මද වේග පන්දු යවන දසුන් ශානක දේශීය තරග පිටියේ දී  දැක්වූ තුන් ඉරියව් දක්ෂතා නිසා ඔහුව කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක් බවට පත්විය. ප්‍රවේගකාරී පිතිකරණය නිසාම ක්‍රිකට් බලධාරීන්ගේ නොමද අවධානය දිනා තිබූ ඔහු, 2015 දේශීය තරග සමයේ දී සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව  පන්දු 46 කින් ලකුණු 123 ක් ද, ගාලු ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 48 කින් ලකුණු 131 ක් ද ලබා පිට පිට එල්ල කළ වේගවත් ශතක ද්විත්වය නිසාම එම වසරේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමට සමත් විය.

2015 අගෝස්තු පළමු වන දා පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස වරම් හිමිකර ගත් දසුන් ශානක, විස්සයි විස්ස පිටියේ දී දැක්වූ දක්ෂතා නිසාම 2016 වසරේ දී ජාත්‍යන්තර ටෙස්ට් සහ එක්දින වරම් දිනා ගැනීමට සමත් විය. 2016 මැයි 19 වන දින එංගලන්තයට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ඔහු එම වසරේදීම ජුනි 16 වන දින අයර්ලන්තයට එරෙහිව සිය පළමු ජාත්‍යන්තර එක්දින තරඟය ක්‍රීඩා කළේය. අයර්ලන්තයට එරෙහිව එම තරගයේ දී පන්දු 19 කින් ලකුණු 42 ක් ලබා ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ ඔහු පන්දු යැවීමේදී ද කඩුලු 5 ක් බිඳ හෙළුවේ සිය මංගල එක්දින තරගයේ දී කඩුලු 5ක් බිඳ හෙලූ ලෝකයේ දොළොස් වන ක්‍රීඩකයා බවට ද, තුන්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා  බවටද පත්වෙමිනි. ඉන් නොනැවතුණු ඔහු එම එක්දින තරගාවලියේ වීරයා බවට ද පත්වන්නේ තේරීම් කමිටුව තමාව ජාතික කණ්ඩායමට කැඳවමින් ලබා ගත් තීරණය ඉතාමත් නුවණැති තීරණයක් බව මනාව පසක් කරදෙමිනි.

එතැන් පටන් ඔහු මේ දක්වා ජාත්‍යන්තර 2020 පිටියේ දී තරග 46 කට සහභාගි වී ලකුණු 567 ක්  ලබාගනිමින් කඩුලු 14 ක් බිඳහෙලීමට සමත්ව තිබේ. එක්දින පිටියේ දී තරඟ 31 ක දී ලකුණු 666 ක් හා කඩුලු 12 ක් ද, ටෙස්ට් පිටියේ තරඟ 6 ක දී ලකුණු 140 ක් හා කඩුලු 13 ක් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට ඔහු සමත් ව තිබේ .

ජාත්‍යන්තර පිටියේ දී දැක්වූ දක්ෂතා නිසා ලොව පුරාම විවිධ ලීග්  තරගාවලි වල කණ්ඩායම්  දසුන් ශානකව තම කණ්ඩායමට මිල දී ගැනීමට උනන්දු වූහ. බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 20/20 තරඟාවලියේ දී 2016 දී රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම, 2017 දී සිලෙට් සික්‍සර්ස් කණ්ඩායම, 2018 දී චිතගොං වයිකිංග්ස් කණ්ඩායම, කැරිබියන් ප්‍රිමියර් ලීග් 20/20 තරගාවලියේ දී ශාන්ත ලුසියා කණ්ඩායම, අබුඩාබි T10 තරගාවලියේ මරතා ඇරබියන්ස් කණ්ඩායම එසේ ඔහු මිල දී ගත් කණ්ඩායම් කිහිපයකි. විදේශයන්හි දී පමණක් නොව පසුගිය වසරේ දී නිමාව දුටු ලංකා ප්‍රිමියර් ලීග් 20/20 තරගාවලියේ දී දඹුල්ල වයිකිංග්ස් පිළට නායකත්වය දුන් ඔහු තම කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා රැගෙන යාමට සමත්කම් දැක්වීය. පසුගිය මාසයේ දී නිමාව දුටු SLC ආරාධිත 20/20  තරගාවලියේ දී තමා නායකත්වය දුන් SLC Greys කණ්ඩායම අපරාජිතව, තරගාවලියේ ශූරයන් බවට පත්වීම කරා මෙහෙය වූයේ ඔහුද තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනා ගනිමිනි.

දස්සා” යන කෙටි නාමයෙන් ඔහු ආදරයෙන් හඳුන්වන ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ, ඔහුට ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම නායකයෙකු ලෙස ද බොහෝ සේ ඇලුම් කරති.  පසුගිය වසර 5 – 6 කාලය තුළ දී සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම කබලෙන් ලිපට වැටුණු අවස්ථා වල දී  නායකත්වය ගෙන තරුණ කණ්ඩායම් සමඟ පවා ප්‍රබල ප්‍රතිවාදී කණ්ඩායම් පරාජයට පත් කිරීමට නායකයෙක්ම ලෙස ඔහුගෙන් ලද මගපෙන්වීම එයට ප්‍රබලම හේතු සාධක වන්නට ඇත.

2009 දී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නගරයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සියලු විදේශීය කණ්ඩායම් පාකිස්තානය සංචාරය කිරීමෙන් වැළකී සිටියහ. එවන් තත්වයක දී  ශ්‍රී ලංකාවට 2019 වර්ෂයේ දී පාකිස්තානයේ සංචාරයකට ආරාධනා ලැබුණද එවකට කණ්ඩායමේ නායකයා ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෝ එයට සහභාගී වීමට අකැමැත්ත පළකළහ. එවිට ඉතාමත් තරුණ අත්දැකීම් අඩු ක්‍රීඩකයන්ගෙන් යුත් විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය ගත් දසුන්, එවකට ලොව අංක එකේ කණ්ඩායම වූ පාකිස්තානය සිය මව් රටේදීම 3 – 0 අන්ත පරාජයකට ලක් කර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය. ඊට අමතරව පසුගිය මස නිමාව දුටු ඉන්දීය තරගාවලියේ දී ද, යොවුන් ක්‍රීඩකයන්ගෙන් සපිරි ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙමින් ප්‍රබල ඉන්දීය  විස්සයි විස්ස කණ්ඩායම 2 – 1 ලෙස පරාජය කිරීමට ඔහු සමත් විය.

තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට තම දායකත්වය දක්වන දසුන්, වඩාත් ප්‍රචලිත වන්නේ පිතිකරණ බළඇණියේ තරග නිමකරන්නකු නොහොත් Finisher කෙනෙකු ලෙසය. තරග නිම කරන්නෙකු ලෙස  ඔහුගේ පිත්තෙන් ජාත්‍යන්තර පිටියේ දී මෙන්ම දේශීය පිටියේදී ද දැක් වූ දක්ෂතා බොහෝය. ඒ අතරින් 2018 වසරේ දී අන්තර් පළාත් විස්සයි විස්ස තරගාවලියේ දී නුවර කණ්ඩායම, ගාල්ල කණ්ඩායම සමග පැවැති තරගයේ පන්දුවාර 20 තුළ ලකුණු 200 ක දැවැන්ත ඉලක්කයක් හඹායාමේ දී  මුල් කඩුලු 2 ලකුණු 20 ක් තුළ දැවී අසීරු අවස්ථාවක සිටි නුවර කණ්ඩායම වෙනුවෙන් පිටියට පැමිණි කණ්ඩායම් නායක දසුන් ශානක පන්දු 52 ක් තුළ ලකුණු 105 ක් රැස් කර ලබාගත් ලබා ගත් විශිෂ්ට මෙන්ම වේගවත් ශතකය නිසා ඔවුන්ට තරගය ජයග්‍රහණය කිරීමට ද හැකිවිය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ද ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ මිහිරි මතක රැසක් ඔහු එක් කර ඇති බව මනාව පසක් වන්නේ කණ්ඩායම විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගත් සෑම තරගයකදී ම  පාසා ලකුණු පුවරු පරීක්ෂාකර බලන කල ඔහුගෙන්  ප්‍රතිවාදී පන්දු යවන්නන්ට පිටිය සිසාරා පහර දී රැස්කරගත් වේගවත් ඉනිම් රැසක් දක්නට ඇති නිසාවෙනි.

ඔහුගේ දක්ෂ නායකත්වයත්, උනන්දුව හා කැපවීමත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව මෙම වසරේ දී ඔක්තෝබර් 17 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ බලාපොරොත්තු ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් තුළ දැල් වී ඇති බව නොඅනුමානය. දක්ෂතාව පමණක්ම නොව තම නිහතමානීකම නිසා ද ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරයට හා ගෞරවයට පාත්‍ර වී ඇති අපගේ ජාතික විස්සයි විස්ස කණ්ඩායමේ නායකයාට සුභ උපන්දිනයක් පතන අතරම එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ලක්මවට දිනා දීම සඳහා නායකත්වය ලබා දීමට හැකියාව හා වාසනාව ලැබේවා! යි අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු.

Design by  : Shanaka Vishwantha

Reference :

Image :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හිරුෂ මුණසිංහ

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment

1 Comment

%d bloggers like this: