ක්‍රීඩා

විස්සයි විස්සේ කඩුලු දඩයක්කරු

2017 වසරේ ජූලි මස දෙවනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකාව  අතර දෙවන එක්දින ක්‍රිකට් තරගයයි. මුලින්ම පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිළ පන්දුවාර තිස් තුනක් අවසානයේ කඩුලු හතකට ලකුණු 151කි. 

තරගයේ තිස් හතරවැනි පන්දුවාරය යැවීමට නායක මැතිව්ස් එදින එක්දින පිටියට පා තැබූ කෝඩුකාර පන්දු යවන්නෙකු කැඳවීය. ඒ වන විට පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කර තිබූ මෙම පන්දුයවන්නා ලබාදී තිබුනේ ලකුණු 11ක් පමණි. පන්දුවාරයේ පළමු පන්දුව පිතිකරුගේ පිත්ත සොයා ආ ෆුල්ටොස් පන්දුවකි. පන්දු යවන්නා තමාගෙන් වූ වරද තේරුම් ගන්නා විට පන්දුව හතරේ සීමාවේ නතර වී තිබුණි. පන්දුවාරයේ දෙවන පන්දුව, එවර පිතිකරුවා සම්පූර්ණයෙන් පරාජයට පත් විය. පිත්තේ දාරයේ වැදුනු පන්දුව කඩුල්ල සිපගන්නා විට කෝඩුකාර පන්දු යවන්නාගේ මංගල ජාත්‍යන්තර කඩුල්ල සටහන් වී හමාරය. මීළඟට පන්දුවට පහරදීමට පමිණි ක්‍රීඩකයාවද තමන්ගේ ඊළඟ පන්දුවෙන්ම ක්‍රීඩාගාරයට හරවා යැවීමට කෝඩුකාරයා සමත් විය. මීළඟට ඇත්තේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ තීරණාත්මක පන්දුවයි. ගුග්ලි පන්දුවක් වූ එම පන්දුව කඩුල්ල සිපගන්නා විට මංගල තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් තෙවන ක්‍රීඩකයා ලෙස වාර්තාගත වීමට අපගේ කෝඩුකාර පන්දු යවන්නා සමත් විය. ඒ වෙන කිසිවෙකුත් නොව අද මුලු ලෝකයක් කතා කරනා වනිදු හසරංගයි.

1997 ජූලි මස 29 වන දින  පින්නදුවගේ වනිදු හසරංග ද සිල්වා  ගාල්ල දොඩම්දූවේ දී උපත ලැබීය. ගාල්ල රිජ්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන වනිදු එහිදී ක්‍රිකට් දිවියට අත්පොත් තබන්නේ ජාතික කණ්ඩායම නියෝජනය කළ තම සොයුරු චතුරංග ද සිල්වාගේ අඩි පාරේ යමිනි.

තම දක්ෂතාවයන් නිසාම ඔහු  2015 වසරේ දී AIA ප්‍රිමියර් සීමිත ඕවර් තරගාවලියේ දී List A තරග සඳහා ක්‍රීඩා කිරීමට වරම් හිමි කරගන්නා ලදි. දේශීය ක්‍රිකට් පිටියේ දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් 2015 දෙසැම්බර් මාසයේ දී ඔහු 2016 වසරේ පැවැත්වීමට නියමිත 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවේ සංචිතයට නම් කරන ලදි.

එම තරගාවලියේ ඉහළම දක්ෂතා දැක්වීමට සමත් වූ හසරංග එම ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 34 කට කඩුලු 3 ක් ලබා ගත්තේය. වරාය අධිකාරියේ ක්‍රිකට් සමාජය සමඟ පළමු පෙළ වරම් හිමි කරගන්නා වනිදු එහිදී වේගවත් ලකුණු 87 ක් ලබා ගැනීමට සමත් විය. එම දක්ෂතා නිසා කොළඹ ක්‍රීඩා සමාජය හා එක් වන  හසරංග 2017 ප්‍රිමියර් ලීග් තරගාවලිය ලකුණු 586 ක් රැස් කිරීමට සමත් විය.

2017 වසරේදීම සිම්බාබ්වේට එරෙහිව එක්දින වරම් හිමි කර ගන්නා හසරංග විස්සයි විස්ස වරම් හිමි කරගන්නේ 2019 වසරේ සැප්තැම්බර් පළමු වැනිදා නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදීය. සීමිත ඕවර තරග වලදී තම දක්ෂතා දක්වන හසරංග 2020 වසරේ දෙසැම්බර් 26 දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන් (Centurion) හිදී ටෙස්ට් වරම් හිමි කර ගත්තේය.

ආරක්ෂක හේතූන් මත ප්‍රධාන ක්‍රීඩකයින් නොමැතිව 2019 වසරේ පැවති ශ්‍රී ලංකාවේ පාකිස්තාන සංචාරයේ දී ලංකාවේ එකම විශේෂඥ දඟ පන්දු යවන්නා වශයෙන් එයට සහභාගි වූ හසරංග, එහි විස්සයි විස්ස තරගාවලියේ දී කඩුලු අටක් ලබාගන්නේ තරගාවලිය 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට මහඟු දායකත්වයක් ලබා දෙමිනි. එම තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරගයේ වීරයා වන හසරංග තරගාවලියේ වීරයා සම්මානයද තමන් සතු කර ගත්තේය.

2020 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  සංවිධානය කළ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ශූරතාවය දිනූ ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම නියෝජනය කළ වනිදු හසරංග එහිදී කඩුලු 17ක් බිඳ හෙලුවේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමිනි. ඉන් නොනැවතී තරගාවලියේ වීරයා සම්මානයද තමා සතු කර ගැනීමට ඔහු සමත් විය.   

තම මංගල ටෙස්ට් තරගයේ  ලකුණු 171ට කඩුලු 4ක් ලබාගන්නා හසරංග එම තරගයේ දෙවන ඉනිමේ දී තම මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබා ගැනීමට සමත් විය. 2021 වසරේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව තම මංගල එක්දින අර්ධ ශතකය රැස් කරගන්නා වනිදු එම තරගයේ අශේන් බණ්ඩාර සමඟ හත්වන කඩුල්ලට ලකුණු 123ක සබඳතාවයක් දැක්වීය.

තම දක්ෂතාවයන් දිනෙන් දිනම දියුණු කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කැපවන මෙම දක්ෂ තරුණයා නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල පන්දු යවන්නන්ගේ දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ කලකට පසු ලාංකිකයෙකුගේ නාමය එම ලැයිස්තුවේ මුල් ස්ථාන අතරට එක් කරමිනි. 

පැහැබර අනාගතයක් ඇති මෙම දක්ෂයාට ශ්‍රී ලංකා නාමය ලොව බබළවන්නට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! යි පතමින්, ඔහුට සුභ උපන්දිනයක් වේවා! යි Colombo Beacon අපි මෙසේ සුභ පැතුම් එක් කරන්නෙමු. 

Design By Shanaka Vishwantha

Reference :

Image :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

යොහාන් බුද්ධික

පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය

Leave a Comment