Colombo Beacon ඇසළ පුරාණය

වීදී සරනා මග එළි කරනා පෙරහැර මඟුලේ කතිකාවත

Written by Colombo Beacon

සකල සත වෙත පතළ මෙත් සිත කන්ද උඩරට සමිදුනේ
ගන්ධ කුටියේ වඩා හිදිමින් දරා අබිසෙස් බල ඇති
චතුත් දෙස ලොව්තුරා බලයෙන් සිහල දීපය රකිමිනේ
බලන් ශෝභන ඇත් රජුන් පිට සමිදු වඩිනා සැටි

කන්ද උඩරට සතර සතහට මහා කරුණා පාන්නා
ගතේ තුන්දොස් කඩා බිඳහැර සතට සුවසෙත පාන්නා
තුණුරුවන් සරණයට වැදිලා මතුව භවදුක සිඳින්නා
බලන් ශෝභන ඇත් රජුන් පිට දළදා සමිදුන් වඩින්නා

ඇසළ මාසයේ මහනුවර පවත්වනු ලබන ඇසළ පෙරහැර ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ම ප්‍රසිද්ධ වූ පෙරහැරක් මෙන් ම සංස්කෘතික සංදර්ශනයක් ලෙස හැදින්විය හැක. මහනුවර මෙන් ම අලුත් නුවර, නවගමුව, දෙවුන්දර, රත්නපුර හා කතරගම ආදි ස්ථානයහි දී ද පෙරහැරවල් පැවැත්වුණ ද උත්කර්ෂවත් ලෙස පැවැත්වනුයේ මහනුවර දළදා මාළිගාව ආශ්‍රිතව ය. නුවර පෙරහැර, සෙංකඩගල පෙරහැර, සිරි දළදා පෙරහැර, කන්ද උඩරට පෙරහැර ආදි විවිධ නම්වලින් මෙය හඳුන්වනු ලැබේ.

පෙරහැර ඇරඹෙනුයේ නැකැත් මොහොට්ටාල විසින් නියම කරනු ලබන සුභ මොහොතින් කප් සිටුවීමෙන් අනතුරුව ය. කප් සිටුවීම යනු, “ඇසළ මස අමාවක දිනට, දින කිහිපයකට පෙර අලුත්නුවර දේවාල භූමියෙන් වියන් තුනක වට ප්‍රමාණයකින් සමන්විත ඵල හට නොගත් නෑඹුල් කොස් ගසක් තෝරාගෙන එහි අරක් ගත් යම් වෘක්ෂ දේවතාවෙක් සිටී නම් ඉවත්ව යන ලෙස ආයාචනා කොට කදෙන් රියන බැගින් දිග කොටස් හතරක් කපා සතර දේවාලයන්හි සිටුවීමයි”. ඉන්පසු දළදා මාලිගාව හා සතර මහා දේවාලයන්හි වෙන් වෙන් වශයෙන් පෙරහැර අරඹනු ලැබේ. සිව් දේවාලයන්හි බස්නායක නිළමේවරුන් ඇතුලු නිළධාරින් දළදා කරඬුව ප්‍රමුඛ පෙරහැර පුරා දින 5ක් කප වටා ගමන් කිරීමෙන් අනතුරුව වීදි සංචාරය කරනු ලැබේ. මෙහි දී දිනෙන් දින අලි ඇතුන්, නැට්ටුවන් ආදී අංගයන් වැඩිවෙමින් පෙරහැර සංවර්ධනය වේ. මෙය “කුඹල් පෙරහැර” ලෙස හඳුන්වනු ලැබේ. අතීතයේ දළදා පෙරහැර වීදි බැසීමට ප්‍රථම අලුත් වළං කදක් රැගත් කුඹලෙකු පෙරහැර ඉදිරියෙන් ගමන් කළ බැවින් මෙම නම් ලැබී ඇති බව ජනප්‍රවාදයේ පවතී.

          පෙරහැරේ උත්කර්ෂවත් හා දර්ශනීය අවස්ථාව වනුයේ  රන්දෝලි පෙරහැර යි. කුඹල් පෙරහැරෙන් අනතුරුව වීදි සංචාරය කරනු ලබන්නෙ රන්දෝලි පෙරහැර යි. මෙය සියලු අංගයන්ගෙන් සමන්විත අංග සම්පූර්ණ පෙරහැරකි. මෙහි දී දෙවියන්ගේ සහ බිසෝවරුන්ගේ චිත්‍ර, විචිත්‍රයන්ගෙන් ආවරණය කරන ලද පල්ලැක්කි, රන් කලස්, කඩු ආදිය ඔසවාගෙන යාම සිදු වේ. අතීතයේ දී රජතුමාගේ බිසව ද මෙම පෙරහැරේ ගමන්ගත් බව පුරාවෘත්තවල සඳහන් වේ. පසුකලෙක එය සංකේවත් කිරීම සඳහා බිසව ගමන්ගත් දෝලාව පෙරහැරේ රැගෙන යාම හේතුවෙන් මෙයට “රන්දෝලි” යන නම ලැබී ඇති බව සඳ්හන් ය. අවසන් දිනය වනවිට පළමුව දළදා පෙරහැරත්, පිළිවෙළින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාල පෙරහැරින් මෙය සමන්විත වීම දැකිය හැකි ය. ප්‍රථමයෙන් කස පුපුරවන්නන්, ගිනි බෝල කරකවන්නන්, හේවිසි ගසන්නන් හා හොරණෑ පිඹින්නන් පෙරහැරේ ගමන් කරනු ලැබීම ඉතා විචිත්‍ර ය. පෙරහැරේ අලංකාරම දර්ශනය නම් රන්, රිදී අගනා ඇදුම් ආයිත්තම්වලින් සැකසුනු ගෙල බැඳි මිණි හඩ නංවමින් ගමන් කරන අලි ඇතුන් ය. පිළිවෙළින් උඩැක්කි, පන්තේරු, ලී කෙළි, කඩු හරඹ, කුළු හා කලගෙඩි නැටුම් ආදි විචිත්‍ර අංගයන්ගෙන් සමන්විතව මෙය වීථී සංචාරය කරනු ලැබේ. මාළිගාවේ මංගල හස්ති රාජයා සධාතුක කරඬුව දරමින් උඩු වියන් හා පාවඩ ඔස්සේ තේජාන්විතව හා ගෞරවාන්විතව ගමන් කිරීම ඉතා මනරම් දසුනකි. පසුපසින් දියවඩන නිළමේ සේසත් හා මුරායුධ සමඟ ගමන් කරනු දැකිය හැකි ය. එක් එක් දේවාල පෙරහැර අවසානයේ අදාළ දෙව් ආභරණ රන්විසි ගෙයක තැන්පත් කොට සතර දේවාලයන්හි බස්නායක නිළමේවරුන් සමඟ ඇතු පිටින් නැවත දේවාලයන් කරා වැඩම කරනු ලැබේ. සධාතුක කරඬුව රැගත් ඇතු දළදා මාළිගාවට පිවිස කරඬුව දළදා වහන්සේ වැඩ සිටින කුටියට යළි වැඩම කීරීම ද සිදු වේ. එමඟින් පෙරහැර නිමා වූ බව පසක් කරයි. ඊට ගෞරවය සදහා දළදා වහන්සේ උදෙසා ගිලන්පස පූජාවක් සිදු කරනු ලැබේ.

        පෙරහැරේ අවසාන අංගය ලෙස හඳුන්වනුයේ දිය කැපීමේ චාරිත්‍රය යි. පෙරහැර අවසානයේ මහවැලි ගඟේ ගැටඹ තොටේ දී සෑම වසරකම ඉතා චාරිත්‍රානුකූලව මෙය සිදුකරනු ලැබේ. මෙහි දී අලංකාර ලෙස සකසනු ලබන ඔරුවකින් ගඟ මධ්‍යයට ගොස් රන් කඬුවකින් දිය කැපීම සිදු කරයි. කඩුවෙන් කපනු ලැබූ ජලයෙන් පෙර අවුරුද්දේ පුරවන ලද පැන් කෙණ්ඩිය හිස්කොට අෂ්‍ටකයන් හා ජයමංගල ගාථා මධ්‍යයේ නව පැන් කෙණ්ඩියක් පුරවාගනු ලැබේ.

        පුරාණ ප්‍රෞඪ සිංහල රජ දරුවන්ගේ ඖදාර්ය මනාව පිළිබිඹු කරමින් අතීතයේ පටන් සෞන්දර්යේ අඩුවක් නොවන පරිදි මේ දක්වා වසරක් පාසා පෙරහැර පවත්වනු ලැබේ. ආගමික වතාවත්, ජාතික සිරිත්, විවිධ කලාවන් ආදි සංස්කෘතික දායාදයන් එක්තැන් කොට පවත්වනු ලබන ඇසළ පෙරහැර අද්විතීය වටිනාකමින් යුත් සංස්කෘතික මංගල්‍යයක් බව මනාව පැහැදිලි වේ.

R. M. S. නිශාදනි රත්නායක 
පළමු වසර 
ශාස්ත්‍ර පීඨය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Colombo Beacon

Leave a Comment