සොබා ලොවෙහි සොබා විසිතුරු සමග හෙළ ධරණිය පුරා විසීරී ඇති ඖෂධීය ශාක සාරයන්ගේ පෙළහර විදහාපාන Colombo Beacon සුව ධරණී සුව චාරිකාවෙහි විසි දෙවන කතාංගය වෙන්වන්නේ ඉහල නැගීමට ආධාරකයක් වුවමනා නමුදු ශක්තිමත් කඳක් සහිත වෙනිවැල් ශාකයේ වතගොත විදහා ලක්වන්නටයි.
වෙනිවැල්
උද්භිද නාමය : Coscinium fenestratum
ඉංග්‍රීසි නාමය : Calumba wood
වෙනත් නම් : බාන්වැල්, වනුවැල්, කහවැල්, මරමංජල්, මංජල් කොඩි, අට්ටූරම්
ශ්‍රී ලංකාව නිජබිම කරගත් ඖෂධ ගුණයෙන් අනූන ශාකයක් ලෙස වෙනිවැල් ශාකය හැදින්විය හැකිය. Menispermaceae කුලයට අයත්වේ.
සිනිඳු පොත්තක් සහිතව විශාලව වැඩෙන කාෂ්ඨමය වැලකි. ළපටි කඳ කොටස් සිහින් කහ පැහැ බූවකින් වැසී පවතී. සෙ.මී 10-12 පමණ විශාල පත්‍ර පළල් හා රවුම් ය. අග්‍රය දෙසට තියුණු ලෙස සිහින් වේ.
පත්‍ර මතුපිට දිලිසෙන සුළු හා සිනිඳු වන අතර පහල කොටසේ කහ පැහැ බූවකින් ද වැසී පවතී. කැපී පෙනෙන අයුරින් පිහිටන නාරටි ද කහ පැහැ බූවකින් වැසුණු දිග පත්‍ර නටුවක් ද මෙම පත්‍රය සතු වේ. ඉතා කුඩා ස්ත්‍රී පුරුෂ මල් වෙන වෙනම ශාක දෙකක හටගනී. පත්‍ර හටගන්නා තැන් වලින් ඇතිවන කෙටි මල් පොකුරුවල මෙම මල් හටගනී.
ඵලය දිගින් සෙ.මී. 2ක් පමණ වන දුඹුරු පැහැ බූවක් සහිත රවුම් හැඩයකින් යුක්ත වූවකි. ඵලයේ ඇතුලත ඝන ආවරණය ඉතා තදය.
ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ මෙන්ම අතරමැදි කලාපයේද වැවේ. අධිකව පිටරට යැවීම නිසා ක්‍රමයෙන් අභාවයට යන ශාකයකි.
වැලෙහි මහත්ව පවතින ගැටය, කඳ කොටස්, මුල් ඖෂධ සඳහා යොදාගනී.
උණ සඳහා වෙනිවැල්, කොත්තමල්ලි, ඉඟුරු තම්බා පානය කරයි. කොත්තමල්ලි සහ පත්පාඩගම් තම්බා පානය කිරීම ද උණට ඖෂධයකි.
හිසරදයට වෙනිවැල් අඹරා හිස ගැල්වීම සිදු කරයි.
වෙනිවැල් මුල් තම්බාගත් ජලයෙන් තුවාල හා කුඩා බිබිලි පිරිසිදු කරයි. ශරීර අප්‍රාණිකත්වයට සහ අජීර්ණ වලදී වෙනිවැල් තැම්බූ ජලය පාවිච්චි කරයි.
සර්ප විෂ සඳහා ඖෂධ වලදී ද වෙනිවැල් භාවිතා කරයි.
සමේ පැහැය රැකගැනීමට වෙනිවැල් යනු ප්‍රභල ඖෂධයකි. එමනිසා රූපලාවන්‍ය කටයුතු සදහා ද භාවිතාකරයි. කුඩා දරුවන් නෑවීමට ද වෙනිවැල් තැම්බූ ජලය භාවිතා කරයි.
වෙනිවැල් ගැට යනු වගා කිරීමට ඉතාමත් අපහසු ශාකයකි. මී හරක් දිගේලි කිරීමට හා ඈදීමට ගන්නා නිසා බාන්වැල් නමින් ද, කහ පැහැ නිසා කහවැල් නමින් ද හඳුන්වයි.
කෙසේ නමුත් සිංහල වෙදපොත් වල පවතින “දාරු හරිද්‍රා” යනු වෙනිවැල්ගැට ශාකය නොවේ. වෙනිවැල් යනු එම ශාකය වෙනුවට ගනු ලබනා ශාකයකි.
මූලාශ්‍ර :
- ශ්‍රී ලංකාවේ ඖෂධ පැලෑටි සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ව්‍යාපෘතියේ ප්රකාශනයක් ඇසුරිනි.
Design By – Samith Kanshadha
Leave a Comment