“තාත්තේ අපි මේ සැරෙත් ලොකුම ලොකු නෙළුම් මලක් හදමු නේද?”
බර කල්පනාවක නියැලෙමින් සිටි තාත්තාගේ උකුලට පැන මෙසේ අසන්නට වූයේ ඔහුගේ සුරතල් සිඟිත්තා ය. කල්පනා කරමින් සිටි දෙය අමතක වී ගිය තාත්තාගේ මුහුණට නැගුණු සිනහව තම පුතුගේ වචන මගින් දහඩිය දමමින් තිබූ තම සිතට පවන් ගසන්නාක් මෙන් පෙනුණි. “නෑ පුතේ, අපි මේ සැරේ ඊටත් වඩා ලස්සන දෙයක් හදමු.” එසේ පවසනවාත් සමග තාත්තාගේ මුහුණේ තිබූ සිනහව බොඳ වී ගියේ ඉටිපන්දමකින් එළිය වූ කුටියක ඉටිපන්දම නිවා දැමීමත් සමග අන්ධකාරය පැතිර යන්නා මෙනි.
එසේ වූයේ තම සිඟිත්තාගේ කුසගින්න නිවා දැමීම මේ තාත්තාට මෙවර වෙසක් සැරසිල්ල කුමක්ද යන්නට වඩා වෙහෙසකර ප්‍රශ්නයක් නිසාවෙනි. “එතකොට තාත්තේ අපි මේ සැරේ පාරෙ යන කාර් වලට දෙන්න වෙසක් කූඩු හදන්නෙ නැද්ද? ” තාත්තා ඒ පැනයට පිළිතුරක් නොදුන්නේ ඉන්පසු තම පුතු නගන ප්‍රශ්න ගොන්නට නිරුත්තර වන බව දැනගෙන ය. ඒ පිළිතුරු තේරුම් ගැනීමට තරම් තම පුතුගේ මනස නොමේරූ බව ඔහු දනියි.
බස් රථ වලට නැග පොත්පත් විකුණමින් තම සිඟිත්තාගේ කුසගිනි නිවූ මේ තාත්තා දැන් මාස දෙකක සිට දන්නා හඳුනන අයට ණය වෙමින් සිටින්නේ වෙනත් කිසිඳු විකල්පයක් නැති තරමට ඔහු අසරණ වී ඇති හෙයිනි. වෙනත් වසර වල වෙසක් කූඩු විකුණා ලැබෙන මුදල් වලින් මහමෙරක් තරම් දේවල් කරගන්නා මේ තාත්තාට අද සිදුවී ඇත්තේ මීළඟට ණය ඉල්ලාගන්නේ කාගෙන්ද කියා කල්පනා කිරීමට ය.
මෙය එක් පියෙකුගේ අඳෝනාවක් නොවේ. සුවහසක් දුගී ජනයාට මේ වන විට අත් වී ඇති ඉරණම මෙයයි. අවාසනාවන්ත ලෙස මීට හේතු වූ ගෝලීය වසංගතය නිසා උතුම් වූ වෙසක් මංගල්‍යය නිවසේ සිට සැමරීමට සිදුවී ඇත්තේ අප සැමගේම සුරක්ෂාව උදෙසාමය. වසංගතයට එරෙහි සටනේ සිටින ප්‍රමුඛයින් දැඩි කැපකිරීමකින් සටන් වැදුණත් කොවිඩ්-19 නම් ඒ සතුරා පරාජය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බව සැමට හොඳින් වටහාගත හැකි කරුණකි. මෙම තත්වය යටතේ “මහා බත් දන්සැල” වැනි මහා පිංකම් කිරීමට හැකියාවක් මෙවර බෞද්ධයින්ට ලැබී නැත.
නමුත් මෙසේ සිතුවහොත්,
දන්සලක් දීමෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද? කෙනෙකුගේ කුසගින්න නිවීම නොවෙයිද? අතේ මුදල් හිඟ අසරණ මිනිසුන් දන්සැල් වලට පැමිණියත් වැඩියෙන් සිටින්නේ එසේ නොවන අයයි. එසේ නම් ඇයිද අපට නොහැකි අප ග්‍රාමයේ වෙසෙන දුගී පවුල් වලට හැකි අයුරින් සහනයක් වන්නට? අපට හැකි නම් ඔවුන්ට ආහාර ද්‍රව්‍ය ලබාදීමට එසේත් නොමැතිනම් කිසියම් මුදලක් ඔවුන් අත තබන්නට, මින් පෙර කිසිදු වසරකදී සිදු කළ මහා පිංකම් වලදී නොලද නිහතමානී සතුටක් ඔබට ලැබේවී නිසැකයෙන්ම. මන්ද යත් මේ ඔබ උපකාර වන්නේ අන්තයටම අසරණ වී ඇති මිනිසුන්ට නිසා ය. එපමණක් නොව ඔබගේ හෘදසාක්ෂිය විසින් ඔබව වසංගතයට එරෙහි සටනේ විරුවෙකු කරාවි.
අප අමාමෑණී ලොවුතුරු බුදුරජාණන් වහන්සේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලබා ගත් ඒ උතුම් නිවණ අපටද ළඟා කිරීමට උන්වහන්සේ ජීවිත කාලය පුරාවට වෙහෙසුණු සේක. අප රට පමණක් නොව මුළු ලෝකයම අගාධයට පත් ව ඇති මෙවන් මොහොතක අපහට ඇති එකම සරණ බුදුන් සරණ පමණි. අනිත්‍ය වූ මේ මිනිස් ජීවිතයෙන් නිසි ඵල ලබා ගැනුමට අප බුදුරදුන් දෙසු මග ලුහුබැඳිය යුතුය. හැකි අයුරින් අන් අයට සහය වී වසංගතය ජයගන්නට අදිටන් කරගමු.
අපගේ ලොව සුවපත් වේවා!!!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!
Leave a Comment