“චමීරට තියෙන්නෙ විශේෂ හැකියාවක්. ඔහු තමන්ගේ වේගය වගේම හොඳ එල්ලයකට පන්දු යවනවා. ඒ වගේම හොඳ දෝලනයකුත් ඔහුගේ පන්දු වල තියෙනවා. තවත් විශේෂ කරුණක් තමයි චමීරගේ පන්දු වාර දහය තුළ ම ඔහු මේ දේ කරන එකයි. ඇත්තටම චමීරට තියෙන හැකියාව තවත් දියුණු කරගන්න ගමන් දිගටම තියාගන්න එකයි අවශ්‍ය වන්නේ.”
මේ කොයි කවුරුත් අතර “චමී” ලෙස ප්‍රසිද්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන දුෂ්මන්ත චමීර පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රවීණ ක්‍රීඩක චමින්ද වාස් විසින් දැක් වූ අදහසකි. සැබැවින්ම දුෂ්මන්ත චමීර යනු කවුරුන් ද? ඔහු ක්‍රිකට් පිටියට පා තැබුවේ කෙදිනක ද? මේ ආදී එකී නොකී විස්තර රැගත් දුෂ්මන්ත චමීරගේ රසිකයන්ට හා ඔහුව හඳුනා ගැනීමට කැමති සියලුම දෙනා වෙනුවෙන් Colombo Beacon වෙතින් ඔහුගේ උපන් දිනය පාදක කොටගෙන දිගහැරෙන සටහනකි.
1992 ජනවාරි 11 වන දින රාගම ප්‍රදේශයේ උපත ලැබූ දුෂ්මන්තගේ සම්පූර්ණ නාමය වන්නේ පතිර වාසන් දුෂ්මන්ත චමීර යි (Pathira Vasan Dushmantha Chameera). මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් තම ප්‍රාථමික අධ්‍යාපන දිවිය ආරම්භ කළ චමීර ප්‍රථමයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ මුලකුරු කියවීම ඇරඹුවේ 2003 වසරේ දී ය. තම ක්‍රිකට් දිවියේ ආරම්භයේ දී ඔහුගේ මුල්ම පුහුණුකරු වූයේ හර්ෂ ගමාධිකාරී යන පුහුණුකරු ය.
ඉන්පසු අවුරුදු 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ චමීරගේ පුහුණුකරු වූයේ මුදිත බණ්ඩාර ය. රූස්ස ගසක් වැඩීමට ජලය, හිරු එළිය, සාරවත් පස යන සාධක අවශ්‍ය වනවා මෙන්ම චමීර අද සිටින ස්ථානයට පැමිණීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව නිර්මාණය වීමට එම මුල් පුහුණුකරුවන් සිදු කළ කැපවීම පිළිබඳව නොකියාම බැරි ය.
ඉන්පසුව උසස් පෙළ සඳහා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට ඇතුළත් වූ විට එහි දී ද චමීරගේ ක්‍රිකට් පුහුණුකරු වූයේ හර්ෂ ගමාධිකාරි ය. එම අවස්ථාවේ චමීර development team සඳහා සුදුසුකම් ලබයි. ඒ වගේම එහි දී ඔහුගේ වේග පන්දු යැවීමේ (Pass bowling) පුහුණුකරු වූයේ අනූෂ සමරනායක ය. එහි දී චමීර දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට ජාතික A කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙයි.
මේ ආකාරයෙන් ජාතික A කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ දී ඔහුට තම හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කර ගැනීම සඳහා ජේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ලද අත්දැකීම් ඔහුගේ ක්‍රිකට් දිවියේ ඔහු ලද මහත් භාග්‍යයක් වනු ඇති බවට නොඅනුමාන ය. එහිදී රොමේෂ් කලුවිතාරණ යටතේ පුහුණු වීමට ද ඔහුට ඉඩ ප්‍රස්ථාව ලැබෙයි. එවිට ඔහුගේ වේග පන්දු යැවීමේ පුහුණුකරු වූයේ චම්පික රාමනායක ය.
මෙවැනි පුහුණු වීම් යටතේ චමීර දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඔහුට එංගලන්ත සංචාරයකට දොරටු විවර වෙයි. ඒ වගේම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිළ සමඟ පැවති තරගයකට ක්‍රීඩා කිරීමට ද ඔහුට අවස්ථාව සැලසෙයි. චමීර 2012 වසරේ සිට NCC (Nondescripts Cricket club) කණ්ඩායමට ක්‍රීඩා කරන අතර එහි දී ඔහුගේ මුල්ම පුහුණුකරුවන් වූයේ හේමන්ත දේවප්‍රිය, නුවන් සොයිසා යන පුහුණුකරුවන් ය. මෙවැනි කැපවීම් ඔස්සේ 2014 වර්ෂයේ දී ඔහුට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙයි. එහි දී ඔහුගේ පුහුණුකරුවන් ලෙස මාවන් අතපත්තු, චමින්ද වාස් යන ප්‍රවීණ ක්‍රීඩකයන් පත් විය.
2014 වසර අවසානයේ නවසීලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමි කර ගත් චමීර එම සංචාරය සඳහාම එක් දින සංචිතයට ප්‍රමාද වී ඇතුළත් වූ අතර ඔහුගේ ජාත්‍යන්තර මංගල තරගය Wellington හි දී සිදු කළ අතර ඔහු පළමු ඕවරයේ දී ම පැයට කිලෝමීටර් 146 ක වේගයකින් Ross Taylor ගේ කඩුල්ල ලබා ගත්තේ ය. ඒ අනුව චමීර 2015 ජනවාරි 29 නවසීලන්තයට එරෙහිව සිය මංගල එක් දින තරගයට පිවිසියේ ය. එහි දී ඔහු ඕවර 8 ක දී කඩුලු 2 ක් දවා ගත්තේ ය. එම තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 34 කින් තරගය ජයග්‍රහණය කළේ ය.
චමීරගේ ක්‍රිකට් ක්‍රීඩා ශෛලිය පිළිබඳව සඳහන් කිරීමේ දී ඔහු දකුණත් වේග පන්දු යවන්නෙකි. ඒ වගේම දකුණත් පිතිකරුවෙකි. එහි දී ඔහුගේ සුවිශේෂීත්වය වන්නේ පැයට කිලෝමීටර 142 ක ට වඩා වැඩි වේගයකින් පන්දු යැවීමට ඔහුට ඇති හැකියාවයි. NCC (Nondescripts Cricket club) තුළින් තම දක්ෂතා ඔපමට්ටම් කර ගත් චමීර දේශීය තරගාවලි තුළින් තරග අසූවකට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩාකර ඇති අතර කඩුලු 120 ක ට ආසන්න ප්‍රමාණයක් දවාගෙන ඇත.
2015 ජනවාරි 29 නවසීලන්තයට එරෙහිව සිය මංගල එක් දින තරගයේ ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඉන් මාස 5 ක ට පසුව චමීරට පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් වරම් හිමි විය. ඒ අනුව 2015 ජූලි 15 දින එම තරගයේ දී ඔහු කඩුලු 4 ක් දවා ගත් අතර මුළු කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ඔහුගේ සහාය මහත් වූ රුකුලක් විය. ඒ වගේම 2015 දෙසැම්බර් මස නවසීලන්තයට එරෙහිව හැමිල්ටන් හි දී පැවති තරගයේ දී ඔහු ලකුණු 47 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් දවා ගනිමිනි. විවිධ අවස්ථාවන් වල දී නොයෙකුත් ආබාධ තත්ත්වයන් නිසා තාවකාලිකව කණ්ඩායමෙන් ඉවත්ව සිටියත් ආබාධ තත්ත්වයන් සුව වීමෙන් පසු නැවත වතාවක් සුපුරුදු පරිදි තම දස්කම් ඉදිරිපත් කිරීමට චමීර පසුබට වන්නේ නැත.
වේග පන්දු යවන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රචලිත චමීරගේ දිවියේ ඔහු විසින් පූර්වාදර්ශයට ගත් තවත් දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩකයන් ද ඇත. එහි දී ඔහු වඩාත් ප්‍රිය කරන ලොව වේග පන්දු ක්‍රීඩකයන් ලෙස සඳහන් කරන්නේ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් වන Dale Willem Steyn හා Clive Edward Butler ය.
ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තමන් කැමතිම ක්‍රීඩකයා කවුරුන් ද යන්න විමසන විට දී ඔහු තම කුඩා කල මතකයන් අවදි කරමින්,
“පොඩි කාලේ මං ශ්‍රී ලංකා කණ්ඩායමේ කැමැතිම ක්‍රීඩකයා වුණේ චමින්ද වාස්”
යනුවෙන් තම අදහස් ඉදිරිපත් කරයි. පසු කාලීනව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ කැමතිම ක්‍රීඩකයා ලෙස දක්වන්නේ ලසිත් මාලිංගයි.
ඒ වගේම ඔහු විසින් පන්දු යවා ඇති පිතිකරුවන්ගෙන් පන්දු යැවීමට අපහසුම පිතිකරුවන් කිහිප දෙනෙකු පිළිබඳව ද ඔහු අදහස් දක්වයි.
“මම පන්දු යවා ඇති පිතිකරුවන්ගෙන් පන්දු යැවීමට අපහසුම පිතිකරුවන් වන්නේ Josh Butler හා AB de Villers ය. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමට අපහසුම කුසල් ජනිත්ට. මොකද, එයා ගොඩක් හොඳට ක්‍රීඩා කරනවා.”
ඔහු තවදුරටත් තම අදහස් දක්වන්නේ ඒ ආකාරයෙන්ය.
සියලුම ක්‍රීඩකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන චමීරට සුවිශේෂී වූ මිතුරෙකු කණ්ඩායම තුළම සිටී. ඒ දසුන් ශානකයි. ඔවුන්ගේ මිතුදම පාසල් අවධියේ සිටම තිබූ බැඳීමකි.
“කණ්ඩායමේ මට ගොඩක්ම සහය වන ක්‍රීඩකයා දසුන් ශානක. මොකද, අපි ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම එකට ක්‍රීඩා කළේ. අපි එකම වයසේ ඉන්නේ. ඒ නිසා එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.”
එක් අවස්ථාවක දී වළලුකර ආශ්‍රිතව සිදු කළ සැත්කමක් හේතුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් තාවකාලිකව ඉවත්ව සිටියත් නැවත වතාවක් පුහුණු වීම් වලින් පසු තම දක්ෂතා අතරට පැමිණීමට චමීර ඉතා හොඳ උත්සාහයක් දරයි.
චමීර මේ වන විට ජාතික ක්‍රිකට් කණ්ඩායමට අමතරව Colombo Stars කණ්ඩායම හා NCC (Nondescripts cricket club) සඳහා ක්‍රීඩා කරයි. ඒ වගේම 2021 IPL (Indian Premier League) තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත් වූ දෙවන අදියරේ දී RCB (Royal Challengers Bangalore) කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට වනිදු හසරංග සමඟ චමීරට ද දොරගුළු විවර වුවත් එහි දී තරග වැදී කඩුලු අතරට පැමිණීමට චමීරට ඉඩ ප්‍රස්තාව නොලැබුණ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් (Mickey Arthur) පවසන්නේ ඒ තුළින් ඔහු ලබා ගත් අත්දැකීම් නිසැක වශයෙන්ම ඔහුගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට විශාල සහයෝගයක් ගෙන දුන් බවයි.
තම තනිකඩ දිවියට තිත තබමින් 2017 වසරේ දී යුග දිවියට එළඹි චමීරගේ අත ගත් සහකාරිය වූයේ දිල්රුක්ෂි ය.
“මම ක්‍රිකට් ගහන්නෙ නැති, ගෙදර ඉන්න බොහෝ විවේක වෙලාවල් වල දී චිත්‍රපට බලනවා, TV Series බලනවා… ඔය වගේ දේවල් තමයි කරන්නේ”
ක්‍රිකට් පිටියේ ගත කරන අවිවේකී කාලයෙන් මද විවේකයක් ලද අවස්ථාවල දී චමීර තම විවේක කාලය ගත කරන ආකාරය පිළිබඳව සඳහන් කරන්නේ ඒ අයුරින් ය.
අද දින දුෂ්මන්ත චමීරට සුවිශේෂී දිනයක් වන්නේ තම දිවියෙ හි 30 වැනි කඩඉම පසුකරමින් ඔහු තම උපන් දිනය සමරන බැවිනි. එසේ නම් අවසාන වශයෙන් Colombo Beacon වෙතින් දුෂ්මන්ත චමීරට සුභ උපන් දිනයකට ආසිරි පැතුම් ගෙන එන්නේ ඔහුගේ ක්‍රීඩා දිවිය තවදුරටත් ආලෝකමත් වීමටත්, ඔහුගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වීමටත් ආශිංසන එක් කරමිනි.
Design by : Pramodya Madhushani
References :
- https://bit.ly/32YJV8t
- https://bit.ly/337zz6b
- https://bit.ly/3JSw8kp
- https://bit.ly/3G9YHYd
- https://bit.ly/3zNU5oq
- https://bit.ly/3HJdBFg
Images :
Leave a Comment