ආගමික

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි…

දෙසැම්බර් මාසය ලං වෙනකොට අවුරුද්දක් ඉවරයි කියන දේට වඩා අමුතුම හැගීමක් මට දැනෙනවා . වෙනදාට නැති සීතලත් එක්ක මගෙ හිත කියන්නෙ දැන් නම් සිරිපදේ යන්න කාලේ හරි කියල. ඔවු අවුරුද්දෙ අවසාන පෝය හෙවත් උදුවප් පෝය එක්ක පටන් ගන්නෙ ශ්‍රී පාද වන්දනා සමයයි. බොහෝ දෙනෙක් ආදරය කරන බොහෝ දෙනෙක් ආසවෙන් වන්දනා කරන හමෝටම යන්න අවස්තාව නැති, ගියපු අයට අමතක කරන්න බැරි තැනක් තමයි ශ්‍රී පාදස්ථානය කියන්නෙ. උදුවප් පෝයත් එක්ක ඇරඹෙන ශ්‍රී පාද වන්දනා සමය බැතිමතුන් ට මෙන්ම සංචාරකයින්ටද සුවිශේෂී සමයක්.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙන්නේ උතුම් උදුවප් පොහෝ දිනයේදී ය. සාමාන්‍යයෙන් ශ්‍රී පාද අවාර සමයේදී ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සිදු නොකරන අතර එම කාලය තුලදී ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රනින් කරවන ලද පිලිරුව, සධාතුක කරඩුව හා දේවාභරණ තැන්පත් කර තබන්නේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේයි.

මෙම මස 10 වෙනිදා අලුයම පුරාණ චාරිත්‍රානුකූලව ශ්‍රී පාද රජමහා විහාරයෙන් පෙරහැර තුනක් ලෙස ගමන් ආරම්භ කිරීම සිදු කරයි. පෙරහැරවල් තුන ශ්‍රී පාද වන්දනා මාර්ග 3ක් වන හැටන්, රත්නපුර හා කුරුවිට යන මාර්ග වලින් ශ්‍රී පාදස්ථානය කරා ළගා වෙයි. විශේෂත්වය වනුයේ මෙවර දේවාභරණ වැඩමවීම කුරුවිට එරත්න මාර්ගයෙන් සිදු කිරීමයි. මෙම මාර්ගයෙන් පෙරහැර ගමන් කිරීම සිදු වන්නේ ප්‍රථම වතාවටයි.
දෙසැම්බර් 11 උතුම් උදුවප් පොහෝ දිනයේදී යෙදෙන සුබ නැකතකට දේවාභරණ තැන්පත් කිරීමත් සධාතුක කරඩුව උඩ මලුවේ තැන්පත් කර පූජෝපහාර දැක්වීමෙන් අනතුරුව ශ්‍රී පාද වන්දනා සමය නිල වශයෙන් ඇරඹේ. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන් වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට මෙවර වෙනදාට වඩා උද්‍යෝගයක් දැකගත හැකි අතර ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවෙ ධම්මදින්න හිමියන් මෙම වැඩසටහන් වල ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීම සිදු කරයි.

පෙරහැර කුරුවිට එරත්න මාර්ගයෙන් ගමන් ගන්නේ මෙවර වන්දනාකරුවන් අතර කුරුවිට මාර්ගය ප්‍රචලිත කිරීමේ අරමුණෙනි. විචිත්‍රවත් වූ පරිසර පද්ධතියක් හරහා පරිසරයේ සුන්දරත්වය විදිමින් මෙවර ඔබත් උතුම් ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න. එසේම මෙවන් සංවේදී පරිසර පද්ධති ආරක්ෂා වන පරිදි ඔබේ අඩි සටහන් පමණක් ඉතිරි කර පැමිණෙන්න…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රංගන මධුෂාන්

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment