දැනුම

ශ්‍රී පාද වන්දනා සමය

තුන් ලොවටම සිත් පහන් කලා වූ මෙම භද්‍ර කල්පයේ තුන් වන බුදුන් වන අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් ශ්‍රී පතුල් සටහන පවත්නා වූ උතුම් පුදබිම වශයෙන් බෞද්ධයන් වන අපහට ශ්‍රී පාද අඩවිය වැදගත් වේ.බුදුන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කල අවස්ථාවේ සුමන සමන් නමැති ප්‍රාදේශීය බලවතෙකු පැමිණ බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල් සටහන මිනිසුන්ට වන්දනා කිරීම උදෙසා මෙහි තබා යනු මැනැවැයි ඉල්ලා සිටි බව ජන වහරේ සඳහන් වේ.ඒ අනුව බුදුන් වහන්සේ සමනල කන්ද ‍තෝරා ගෙන එම කඳු මුදුනෙහි තම ශ්‍රී පතුල් සටහන පිහි‍ටුවා ඇත.කඳු මුදුනට ළඟා වීම ඉතා අසීරු භයානක ගමනක් වූ හෙයින් ශ්‍රී පතුල වන්දනා කිරීමට පැමිනෙන සැදැහැවතුන් පුළුන් රොදක් සේ ගෙනවුත් වන්දනා මාන කරවා නැවත කඳු පාමුලට ‍රැගෙන යන බවට සුමන සමන් නැමැත්තා විසින් බුදුන් වහන්සේට ප්‍රකාශ කර ඇත.

එතැන් පටන් ශ්‍රී පාද වන්දනාව අඛන්ඩව වසර ගණනක් සිදු වී ඇත.නමුත් කාලයාගේ ඇවෑමෙන් කෙමෙන් කෙමෙන් ශ්‍රී පාද වන්දනාව මිනිසුන්ගෙන් ගිලිහී ගොස් ඇත. බොහෝ දුරට ඉන් පසු කිසිවෙකුත් ශ්‍රී පාදය වන්දනා මාන නොකරන්නට ඇතැයිද සිතිය හැක.කෙසේ වුවත් දෙවිවරුන් මෙම ස්ථානය අඛණ්ඩව වන්දනා මාන කළ බව ජන වහරේ සඳහන් වේ.මෙතැන් පටන් මිනිසුන් අතින් සියවස් ගණනක් යනතුරු ශ්‍රී පාද වන්දනාව සිදු වී නැත.ශ්‍රී පාද වන්දනාවේ ආරම්භය නැවතත් සිදුවන්නේ අනුරාධපුර රාජධානියේ 93 වන රජු වශයෙන් රජකම් කරන ලද කීර්ති ශ්‍රී මේඝවර්ණ රාජ්‍ය සමයේය.එතුමාගේ රාජ්‍ය කාලය ක්‍රි.ව. 555 සිට ක්‍රි.ව. 573 දක්වා වූ කාලයකි. විජය රජු ලංකාද්වීපයට පැමිනෙන්නේ බුදුන් වහන්සේ මහා පරිණිර්වානයට සැපත් වන දිනයේය.ඔහු ලංකාද්වීපයේ රජ වන්නේ ක්‍රි.පූ. 543 දීය.  එනම් කීර්ති ශ්‍රී  මේඝවර්ණ රජ දවස වන විට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර දහසකටත් වඩා අධික කාලයක් ගත වී ඇත.ඒ අනුව ශ්‍රී පාද සටහන සමනල කන්දේ තබා ඊටත් වඩා කාලයක් ගත වී ඇත. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ දවස ශ්‍රී පාද සටහන සොයා ගත් කතා පුවත මෙලෙස දැක්විය හැක.

රජුගේ මල් උයනෙහි දිනෙන් දින මල් අඩු වීමක් සිදු වූ බැවින් ඒ බව දැක කෝපාවිශ්ඨ විය.මෙම මල් සොරකමේ යෙදෙන සොරුන් අල්ලා දෙන ලෙස රාජ පුරුශයන්ට නියෝග ලැබුනද ඔවුන් ඊට අපොහොසත් විය.ඉන් පසු රජු විසින් මෙම සොරුන් අල්ලා දිය හැකි කෙනෙකු සිටිත්නම් වහා පැමිනෙන ලෙස දන්වමින් අඬ බෙරයක් යවන ලදී. ඒ අනුව අත් පා හතරම ආබාධිත කොර මිනිසෙකු රජු හමුවට පැමිනියේය. ඔහු පැමින සොරු අල්ලා දෙන්නම් යැයි රජු හට දැන්වීය. අත් පා හතරවත් හරි ආකාරයෙන් පිහිටා නොමැති නුඹ වන් මිනිසෙකු කෙසේ සොරුන් අල්ලන්නේ දැයි රජු ඇසූ විට මල් උයනෙහි කොනක මා වට කරමින් මා හට එලියට යා නොහැකි වන අයුරිනුත් කිසිවෙකුටත් ඇතුල් වන නොහැකි වන අයුරිනුත් කුටියක් ඉදිකර දෙන ලෙසත් එවිට මා විසින් සොරුන් අල්ලා දෙන්නේ යැයිද රජු හට කොර මිනිසා විසින් දැන්වීය. ඒ අනුව රජු විසින් අදාළ කටයුතු සූදානම් කරන ලදී.රාත්‍රී යාමය ආරම්භ වත්ම කුටිය තුල සිටින කොර මිනිසා විසින් මිහිරි හඬින් සතිපට්ඨාන සූත්‍රය ගායනා කිරීමට පටන් ගත්තේය. මෙසේ කාලය ගෙවෙන අතරතුර දිව්‍යාංගනාවන් පිරිසක් මල් උයනට පැමින මල් නෙලීමට පටන් ගත්හ. මේ දිව්‍යාංගනාවන් යනු මල් සොරාගන්නා සොරුන්ය. මේ අතරතුර දිව්‍යාන්ගනාවන්ට මිහිරි නාදයෙන් ගැයෙන සතිපට්ඨාන සූත්‍රය ඇසිනි. ඔවූහු එම කොර මිනිසා අසලට ගොස් පිලිසරඳහි යෙදුනහ.එවිට කොර මිනිසා තමන් කොරෙක් බවත් මෙතැනින් එලියට ඒමට නොහැකිව සිර වී සිටින බවත් අනුකම්පා සහිතව දිව්‍යාංගනාවන්ට පැවසීය. අප ඔබට කෙසේද උදව් කරන්නේ යැයි ඇසූ විට ඔබගෙන් අයෙකුගේ සළුව ඉහලින් අවුත් පහලට දමන්න , මා එහි එල්ලී උඩට එන්නම් යැයි කොර මිනිසා පැවසීය.ඒ අනුව එක් දිව්‍යාංගනාවක් කුටිය උඩට ගොස් තම සළුව පහලට දැමීය. කොර මිනිසා එහි නො එල්ලී සළුව තමා වෙතට ඇදගත්තේය.සළුව දිව්‍යාංගනාව අතින් ගිලිහිනි. සළුව නොමැතිව අහසින් ගමන් කල නොහැකි හෙයින් දිව්‍යාංගනාවන් පිරිස නැවත මෙම මල් උයනෙහි මල් කඩන්නට නොපැමිනෙන බව පවසමින් කොර මිනිසා ඉදිරියේ සමාව ඇයදීහ.කොර මිනිසා ඊට සවන් දී මේ මල් කුමක් සඳහා ‍රැගෙන යන්නේ දැයි ඇසීය.මේ මල් ‍රැගෙන යන්නේ ශ්‍රී පාදය වන්දනා කිරීමට බව දිව්‍යාංගනාවන් පැවසීය.අපහටත් එම ස්ථානය පෙන්වන ලෙස කොර මිනිසා දිව්‍යාංගනාවන්ගෙන් ඉල්ලීය. ඔවුන් ඊට එකඟ වී අහසින් ගොස් ශ්‍රී පාදස්ථානයට යන මාර්ගය ඔස්සේ මල් හෙලූ බවත් රජු හා පිරිවර එම මාර්ගයේ ගමන් කර ශ්‍රී පාදස්තානය සොයාගත් බව ඉතිහාසයේ කියැ වේ.

ශ්‍රී පාදස්ථානය සම්බන්ධ තවත් කතා වස්තුවක් තිබේ. ඒ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ පිරිවර සම්බන්ධවයි.ලොව පළමු ශිෂ්ටාචාරය වන්නේ ඇට්ලැන්ටික් ශිෂ්ටාචාරයයි.එය මුල් බැසගත් දිවයින වූ ඇට්ලැන්ටික් දිවයිනෙහි විශාල ප්‍රදේශයක් මුහුදට ගිලා බැස එම ශිෂ්ටාචාරය විනාශ වූ බව ඉතිහාසයේ කියැ වේ.මින් ඉතිරි වූ බිම්කඩ අපගේ ලංකාද්වීපය බව බොහෝ දෙනාගේ මතයයි.අඳුරු වනාන්තරය පසු කල පසු ඉතාමත් රමණීය දිවයිනකට ගොඩ බැසිය හැකි බව සමහර නාවිකයන්ගේ පොත් වල සටහන්ව ඇත.අඳුරු වනාන්තරය ඇත්තේ දකුනු අප්‍රිකාවේය. එය පසු කිරීමෙන් අනතුරුව හමුවන දිවයින ලංකාද්වීපයම විය යුතුය.එමනිසා යුරෝපය පුරාම ලංකාද්වීපය පිලිබඳ යම් යම් දේ කතා බහ වී ඇති බව සැලකිය හැක. මහා ඇලෙක්සැන්ඩර් රජු(ක්‍රි.පූ 356-ක්‍රි.පූ. 323) ආසියාව ජයගෙන ලංකාවට පැමිනියේය. ඉන් පසු ඔහුගේ සේනාව ලංකාද්වීපයට පැමිණි බව කියැවේ.ඒ මෙම ශ්‍රී පාදස්ථානය බැලීමටය.ඔවුන් ගමන් කලේ වර්තමාන කුරුවිට – ඒරත්න මාර්ගයේ බව ජනවහරේ කියැවේ.සමනල කන්දේ වර්තමානයේ මෙන් පඩිපෙල් නොතිබූ හෙයින් ගල් වල එල්ලී ගමන් කිරීමට සිදු විය. එය අතිශය භයානක කාර්යයකි.එම ගල් තරණය කිරීමට මොවුන් යෝධ දම් වැල් ‍රැගෙන ආ බව සඳහන් වේ.එම දම් වැලක පුරුකක් මිනිසෙක් තරම් උස වූයේලු.ඒවා ගල් පර්වත වල එල්ලා ඒ අධාරයෙන් ඒම ගල් තරණය කල බවත් පසු කාලීනව බැතිමතුන් සමනල කන්ද තරණය කලේ මෙම දම් වැල් වල උපකාරයෙන් බවත් ජනවහරේ අදහසයි.සමහරවිටෙක කීර්ති ශ්‍රී මේඝවර්ණ හා පිරිවරද සමනල කන්ද තරණය කරන්නට ඇත්තේද මෙම දම් වැල් උපකාරයෙන් බව සිතිය හැක.

කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු ගමන් කල මාවත රත්නපුර –  පලාබද්දල මාර්ගයයි. එතැන් පටන් කල්ප කලාන්තරයක් තිස්සේ රජවරුන් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ගමන් ගත්තේ මෙම මාර්ගයේය. මෙම මාවත රජ මාවත ලෙස හන්දුවයි.තවද කුරුවිට- ඒරත්න මාර්ගයේ ද සමනල කන්දට ලඟා විය හැක.හැටන් මාර්ගය ජනතාවගේ පහසුව තකා පසුකාලීනවම නිර්මාණය වූ මාර්ගයකි.සමනල කන්දේ පාමුල සිට යම් යම් විශේෂ ස්ථාන හමු වේ.සීත ගඟුල,නෝනගෙ අම්බලම,ඉඳික‍ටු පාන,ගෙත්තම් පාන,හැරමිටි පාන,ළිහිණි හෙල ඉන් සමහරකි. ශ්‍රී පාද වන්දනාවට පැමිණෙන සියලු බැතිමතුන් සියල්ලෝම සීත ගඟුලෙන් ස්නානය කොට කිලි කුනු සෝදා හැර පිරිසිදු විය යුතුය.ප්‍රථම වතාවට ශ්‍රී පාද වන්දනාවට උදවිය සීත ගඟුලෙන් ස්නානය කොට ශ්‍රී පාදය කිසිදු කරදරයකින් තොරව වැඳ පුදා ගත හැකි වේවායි කියා ඊට යාබදව ඇති සමන් දේවාලයට අනිවාර්යයෙන් භාරයක් විය යුතුය. මෙම නවකයන්ගෙන් කුඩාවියේ පසුවන උදවිය කිරි කෝඩු ලෙසද,මැදි වියේ පසු වන උදවිය දඬු කෝඩු ලෙසත් මැදි විය ඉක්මවූවන් මූකලන් කෝඩු ලෙසත් හඳුන්වයි.නෝනගේ අම්බලම යනු ගජමන් නෝනා විසින් සැදූ අම්බලමකි.ගෙත්තම් පාන යනු ශ්‍රී පාද සටහන තැබීමට බුදුන් වහන්සේ වැඩම කරන අවස්තාවේ තම සිවුර ආපදාවකට ලක් වී එය ගෙත්තම් කල ස්තානයයි.එය ගෙත්තම් කර ඉන්දික‍ටු  තැබූ ස්ථානය ඉන්දික‍ටු පානයි.ළිහිණි අක්කානම් ස්ත්‍රියක් හෙලකින් පහලට පැන් දිවි නසා ගත්තේලු. එම ස්ථානය ළිහිණි හෙල යනුවෙන් හඳුන්වයි.අදටත් එතනින් ගමන් කරන බැතිමතුන් පාලුව කාන්සිය මකා ගැනීමට “ළිහිණි අක්කේ” කියා කෑ ගසයි.එවිට එම හඬ දෝංකාර දී “ඕ ඕ” යන හඬක් ඇසේ. ඒ ළිහිණි අක්කා හෙල පහල සිට “ඕ ඕ” ලෙස බැතිමතුන්ට ප්‍රතිචාර දක්වන බවට ඔවුන්ගේ අදහසයි.මේ ලෙස ශ්‍රී පාද මලුව දක්වා හමුවන සෑම තැනකටම පාහේ යම් විශේෂ කතාවක් ඇත.

සමනල කන්ද තරණය කරන විට තමන්ගේ ගමන් මහන්සිය නිවා ගැනීම උදෙසා තුන්සරණේ කවි ගායනා කරයි. තුන් සරණේ කවි හා ශ්‍රී පාදය අතර කිසිදු සම්බන්දයක් නැත. එම කවි වල තාලය අප සමනල කන්ද තරණය කරන විට පියවර තබන තාලයට සමාන වන බැවින් බැතිමතුන් ශ්‍රී පාද වන්දනාවට යාමේදී තුන්සරණේ කවි ගායනා කරති.මෙම කවි අද්‍යනය කල විද්වතුන් පවසන්නේ මෙම කවි අතීතයේ සිරගතව සිටි පුද්ගලයෙකු තමන් සිරගතව සිටි කාල වකවානුවේ දී රචනා කරන ලද්දක් බවයි.එම අපූරු තුන්සරණේ කවි කිහිපයක් පහතින් දක්වමි.

බුද්ධං සරණේ සිරස දරා ගෙන…
ධම්මං සරණේ සිත පහදා ගෙන…
සංඝං සරණේ සිවුරු දරා ගෙන…
එඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන..

පෙරයම බුද්ධං සරණේ ගඤ්ඤයි…
මද්දිම ධම්මං සරණේ ගඤ්ඤයි…
අළුයම සංඝං සරණේ ගඤ්ඤයි…
තුන් යමටම තුන් සරණේ ගඤ්ඤයි…

කකුසඳ කෝණාගම පෙර වැඳ මුණිවර…
කාශ්‍යප ගෞතම මුණිඳු අදර කර…
සමාන් පතිනි ඝන දෙවිඳුනි ඉසිවර…
දමන් ඉවත ඇති වරදක් දුරුකර…

ශ්‍රී පාද වන්දනාව සිදු කරන්නේ වසරේ අඛන්ඩ මාස හයක කාලයක්  පුරා පමණි.එය ආරම්භ වන්නේ උඳුවප් පෝයෙනි.එම පෝයෙන් ආරම්භ වී වෙසක් පොහෝ දින මෙම කාල සීමාව අවසන් වේ.ඉන් පසු ආරම්භ වන මාස හයක කාලය පුරාවට ශ්‍රී පාද වන්දනාව සිදු නොකෙරේ.එම කාලය පුරාවට සමනල කන්දට මහා ධාරානිපාත වර්ෂා වසිනු ලැබේ.එයින් සිදුවන්නේ මිනිසුන් විසින් ශ්‍රී පාද වන්දනාවේදී කිලිටි වන ශ්‍රී පාද පුදබිම සෝදා හැරීමයි. සමනල කන්ද තරණය කරන්න පඩිපෙල් ඔස්සේ කරක් උසට ජලය ගලා එයි.මෙම ධාරානිපාත වර්ෂා නිමා වීමෙන් පසු ප්‍රථමයෙන්ම ශ්‍රී පාද වන්දනාව සිදු කරන්නේ සුමන සමන් දෙවියන්ගේ රථාචාර්‍යා වන සුදු ඇතාය. ඉන් පසු සුමන සමන් දෙවියන් ප්‍රමුඛ අනෙකුත් දෙවිවරුන් ශ්‍රී පාද වන්දනාවේ යෙදෙති.ඉන් පසු උදාවන උන්දුවප් පොහෝ දින රත්නපුර සමන් දේවාලයේ පවතින සුමන සමන් දේව ප්‍රතිමාව පෙරහැරෙන් ශ්‍රී පාද මලුවට වැඩමවනු ලබයි.එම පෙරහැරද පුරාතණයේ සිට ගිමන් හැරීම සඳහා විශේෂ ස්ථාන කිහිපයක් පමණක් භාවිතා කරයි.එම ස්ථාන හැර අන් කිසිදු ස්ථානයක  ගිමන් හැරීම සඳහා පෙරහැර නතර නොකරනු ලැබේ. ඉන් පසු ශ්‍රී පාදස්තානය මිනිසුන් සඳහා විවෘත වේ.

පුරාතනයේ මෙය භයනක ගමනකි.එම නිසා අතීත මිනිසුන් ශ්‍රී පාද වන්දනාවට පිටත් වන විට තමන් සතු දේපල තම දරුවන් ආදියට පවරා පිටත් වේ. ඊට හේතුව වන්නේ නැවත ප්‍රාණ සහිතව පැමිණිය හැකියැයි විශ්වාස කල නොහැකි බැවිනි. එමෙන්ම මෙම භූමිය හාස්කම්  බහුලව පවතින භූමියක් බැවින් වැරදි වචන භාවිතා නොකර කට පරිස්සම් කර ගත යුතුය. විශේෂයෙන් වැඩිවියට පත්වීමට ආසන්න වියේ පසුවන දැරිවියන් ආදී පිරිස් ශ්‍රී පාද වන්දනාවට සහභාගී නොවිය යුතුය.මේ අයුරින් ශ්‍රී පාදස්ථානය කිලිටි වූ අවස්ථාවල එම පුද්ගලයන්ට තම ජීවිත වලින් පවා වන්දි ගෙවීමට සිදු වී ඇත.ඒ තරම් හාස්කම් පවතින භූමියකි ශ්‍රී පාදස්ථානය.

ශ්‍රී පාද මළුවේ දී විශේෂ කාර්යයන් කිහිපයක් සිදු වේ.ඉන් එකක්නම් එහි පවතින ඝන්ටාරය නාද කිරීමයි.තමන් ශ්‍රී පාද වන්දනාව සිදු කල වාර ගණනට සමාන වාර ගණනක් ඝන්ටාරය නාද කල යුතුය.එමෙන්ම මළුවේ දොලොස්මහේ පහන යනුවෙන් පහනක් පවතී.එම අපහන අවුරුද්ද පුරාවටම දැල්වෙන පහනකි.තවද මළුවට දර්ශනය වන විශේෂ දර්ශනයක් පවතී.එයනම් ඉර සේවයයි.හිරු උදාවන මොහොතේ තුන් වතාවක් එසවෙමින් පහත්වෙමින් සිදුවන දර්ශනයක් ශ්‍රී පාද මලුවට දිස් වේ. හිරු තම දින චර්යාව ආරම්භ කිරීමට ප්‍රථම තුන් වතාවක් සමනල කන්දට නමස්කාර කරන බව බැතිමතුගේ අදහසයි. මෙම දර්ශන දැකගත හැකි පෘථිවි පෘෂ්ඨය මත ඇති එක ස්ථානය සමනල කන්දු මුදුනයි.මෙහි සැබෑවටම සිදුවන්නේ මෙයයි.හිරු උදාවන්නේ නැගෙනහිර ක්ෂිතිජයෙනි.ඕස්ට්‍රේලියානු මහද්වීපයේ සිට ශ්‍රී ලංකාව දක්වා පවතින අඛණ්ඩ ජල තලාව ඔස්සේ හිරු උදා වෙයි.මෙම ජල තලය , කන්දු මුදුනට පොළොව මට්ටමේ සිට පවතින උස සහ කන්දු මුදුන නැගෙනහිර ක්ෂිතිජය සමග සාදන කෝණය ආදී කරුණු හේතු කොටගෙන හිරුගේ ප්‍රතිබිම්භ තුනක් මිනිත්තු 1-2 අතර කාලයක් තුලදී සමනල කන්දට දිස් වේ. හිරු සමනල කන්දට තුන් වතාවක් නමස්කාර කරනා සේ දිස් වන්නේ මෙයයි.මෙම දර්ශනය සමනල කන්දු මුදුනට පමණක් දිස් වීම මෙහි ඇති විශේෂත්වයයි.

බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බඳු වූ ශ්‍රී පාදස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටි සමනල කඳු මුදුනේ පිහිටීම ශ්‍රී ලාංකිකයන් වන අප ලැබූ ඉතාමත් භග්‍යයකි.සමනල කන්දේ භූගෝලීය පිහිටීම අනුවද එම ස්ථානයේ විශේෂතා බොහොමයක් පවතී.මෙම බුද්ධ කාලයට හිමි වසර 5000 ගෙවෙන තුරු සමනල කන්දට හානියක් නොවීම ඉර හඳ මෙන් විශ්වාසය. නමුදු ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටින ස්ථානය බඳු වූ මෙම අඩවිය ආරක්ෂා කරගැනීම ශ්‍රී ලාංකිකයන් වන අපගේ යුතුකමක් හා වගකීමකි.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ඉසුරු ජයලත්

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment