ආගමික

ශ්‍රී පාද සමයේ ආරම්භය සනිටුහන් කරන උඳුවප් පුර පසළොස්වක පොහොය

සුපුන් සඳෙන් ගලා හැලෙයි සිහිල් අමා රැස්                       දහරා
හදින් හදට සුව ගෙන එයි වෙහෙරේ සදහම්                    වරුසා
මෙතින් දහස් දෙන  නමදියි මුණිදුන් තුන් සිත්                  පහදා
 මෙපින් දිනේ සිහි කරනෙමි උඳුවප්  පෝදා                      වරුණා 

දොළොස්මහේ පොහොය අතුරින් උඳුවප්  පුර පසළොස්වක පොහොය ලෝකවාසී බෞද්ධ ජනතාව බැතියෙන් සිහි කරනු ලබන ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් ම සිදු වූ උතුම් පුර පසළොස්වක පොහොය දිනයක් වශයෙන් හැඳින් විය හැකිය.

දේවානම්පියතිස්ස රජුගේ ඇමතිවරයෙකු වූ අරිට්ඨ කුමරු රජුගේ සන්දේශයක් රැගෙන දඹදිවට ගොස් සිදු කළ සාර්ථක සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ ද අනුශාසනා පරිදි ධර්මාශෝක රජු “මාගේ දරු පිරිස සිංහල ජාතියට සේවය පිණිස වේවායි”  ප්‍රාර්ථනා කරමින් සිය  දියණිය වූ සංඝමිත්තා මහ රහත් තෙරණිය ද ඒ සමඟ ම ශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ දක්ෂිණ ශාඛාව ද ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවීමට අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව ග්‍රීවය දක්වා ජලයෙ හි බැසගත් දම්සෝ නිරිඳුන් බෝධි රාජයාණන් ඔසවාගෙන නැවෙහි තැම්පත් කළේ උඳුවප්   මස ශුක්ල පක්ෂයෙ හි පෑල වියේ දී ය.

පසුව බෝධියේ ආරක්ෂාට සිවුරඟ සේනාවත්, සංඝමිත්තා මහරහත්තෙරණිය ප්‍රමුඛ උත්තරා, හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, දාසිකා, ඵෙග්ගු, පබ්බතා, මත්තා, ධම්මදිසා, මහාදේවි, පදුමා, හෙමාසා, උන්නලා, අඤ්ජලී සහ සුමා යන භික්ෂුණීන් වහන්සේලා ද සමඟ අරිට්ඨ කුමරු ලංකාගමනය ඇරඹීය.

රාජ්‍ය දූත පිරිස රැගත් මෙම ධර්ම යාත්‍රාව සත් දිනක් මුළුල්ලේ ම වින්ධ්‍යා වනය පසු කරමින් තාමලිත්ති නැව් තොටට පැමිණ මහ සයුර තරණය කරද් දී රළ සිඳී සත් වනක් පියුම් පිපී මේඝ වර්ෂා වැටෙමින් මහා ප්‍රාතිහාර්‍ය දැක්වීය. ගුවනේ තුර්යෝ වැයුණෝය. නාග සේනාවෝ මහා බෝධිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඍද්ධි විකුර්ණය කළහ.

මෙවන් මහා ප්‍රාතිහාර්ය රැසක් මධ්‍යයේ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වඩා හිඳුවාගෙන සංඝමිත්තා මහරහත් තෙරණියෝ  ලක්දිව් තලයේ දඹකොළපටුන ට වැඩම කළහ. අනතුරුව, ගෞරව බහුමානයෙන් යුක්තව මහා පෙරහැරකින් බෝධි රාජයාණන් අනුරාධපුරයේ මහමෙව්නාවට වැඩම කරවීය. බෝ සමිඳුන් අලංකාර ස්ථානයක තැන්පත් කරන්නට වඩා හිඳුවාලූ මොහොතේ අසූරියනක් ගුවන් ගැබේ සවනක් රැස් විහිදුවාලූ බව ද සඳහන් වේ.

සැබවින්ම සැදැහැති බෞද්ධයාගේ ප්‍රසාද සංවේගය ජනිත කරවා බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අද වැනි සුපින්බර උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයක දී උරුම වීම ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව වශයෙන් ලද මහඟු භාග්‍යයකි.

මෙම උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය සමස්ත ලාංකේය කාන්තා පරපුරට සුවිශේෂී වූ පොහොය දිනයක් වශයෙන් ද හැඳින් විය හැකිය. ඒ මක්නිසා ද යත් එකල පරාධීන වූ ලාංකේය කාන්තාවගේ විමුක්තිය උදා කළ මහා පින්කෙත වූ සංඝමිත්තා මහරහත් තෙරණිය කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කිරීමයි.

ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට මුලු ගැන්වුණු ස්ත්‍රීත්වය බාධාවක් නොවේ යැයි පසක් කරමින් ශ්‍රී ලාංකීය කාන්තාව ද සංසාර දුක් සමුදුරෙන් එතෙර කරවීමේ උදාර චේතනාවෙන් යුතුව දස සිල් සමාදන්ව කසාවතින් සැරසුණු ආර්ය ශ්‍රාවිකාවන් පැතූ පැවදි බව ලබා දී අමාදම් සිසිලස දසත පතුරුවමින් ලක්දිව් තලයේ භික්ෂුණී ශාසනය පිහිට වූයේ සංඝමිත්තා මහ රහත් තෙරණියයි.

උඳුවප් පෝදා ශාසනික වැදගත්කම් අතර තවත් වැදගත්කමක් වන්නේ  සුමන සමන් දිව්‍ය රාජයාණන්ගේ ආරාධනාවෙන් රහතන් වහන්සේලා පන්සියයක් සමඟ සමනල කන්දට වැඩම කළ ගෞතම බුදු පියාණන්ගේ වම් පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත්, ඒසේම කිසිඳු භේදයකින් තොරව ලෝකවාසී සැදැහැති පින්වතුන් මහත් වූ බුද්ධාලම්භන ප්‍රීතියකින් යුක්තව වන්දනාමාන කරනු ලබන ශ්‍රී පාදස්ථානය කරුණා  කිරීම ඇරඹෙන්නේ ද  උඳුවප්  පුරපසළොස්වක පොහොය දිනයේ දී වීම සුවිශේෂී සිදුවීමකි. ඉන්පසු ඇරඹෙන සිරිපා සමය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දක්වාම පුරා මාස පහකට ආසන්න කාලයක් සැදැහැවතුන් වෙනුවෙන් පවතියි.

මෙවැනි වූ ශාසනික වැදගත්කම් රාශියකින් යුතු මේ අසිරිමත් උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේ බෞද්ධයන් වශයෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ආමිස පූජාවෙන් මෙන්ම  ප්‍රතිපත්ති පූජාවෙන් ද නමස්කාර කිරීමට අධිෂ්ඨාන කර ගනිමු. ඒ උදෙසා ශ්‍රද්ධා සම්පන්නව සැවොම පෙළගැසෙමු.

එසේනම්  උදා වීමට නියමිත නැවුමි වසරට ආසිරි එක් කරමින් මෙි සුපින්බර උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේ Colombo Beacon අපේ උත්තම වූ ප්‍රාර්ථනය,

සිරිමහ බෝ සමිඳු බලෙන් රෝ දුක් බිය                         දුරුවේවා
මුනිසිරිපා රැකවරණින් සතුරු විපත්                        නොමවේවා
සුමන සමන් සහ සිව් දෙවි ලක්දරු පිහිටට                        වඩීවා 
තෙරුවන් ගුණ සරණින් හැම සත්වගටම සෙත්                වේවා

ඔබ සැමට සම්මා සම්බුදු  සරණයි!!!

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිලිනි මධුශිකා

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment