දැනුම

සකල කලාවෙහි සක්විති පනාපුත්‍ර කුහුඹු පානියා

 හනික වරෙව් කොල්ලනේ… මෙන්න මෙහෙ වරෙව්…
නට නටා වරෙව් කොල්ලනි… නට නටා වරෙව්…
තොපිට හරිම වාසියක්….. නට නටා වරෙව්… යකෝ…

(බෙර හඬ)

මෙය ඇසූ පමණින් තාලයට එය මිමිනෙනවාද? විවිධ අවස්ථාවන් චිත්තරූප මැවෙනවාද? එසේනම් මඳක් රැඳෙන්න ඒ බෙර හඬෙන් මුල් අකුරු කළ අපූරු කලා කප්පිත්තෙකු මෙවන් වූ පොසොන් මහක, ලක් කලා කෙත අස්වද්දනු අරමුණින්, හිරු දෙවිඳුගේ හෝරාවක මෙලොව එළිය දකිනුයේ සාමාන්‍ය කොලුගැටයෙකු පරිද්දෙනි.

කොංගානී බෙනඩික්ට් ඇන්තනී පියාණන්ට සහ පොඩි වී කුඹුරේ රොසලින් පෙරේරා මව්තුමියට දාව 1958 ජූලි 8 වන දින රාගම රෝහලේදී හරි අපූරු දරු උපතක් සිදු විය. එය ඇත්තෙන්ම සුවිශේෂී දරු උපතකි. දින 10 ක් පුරා මවකට විලිරුදාව උරුමකොට රාත්තල් 10 ක බරින් යුත් පුත් කුමරෙකු මෙලොව එළිය දුටු අතර ඔහු නමින් කොන්ගානී ජෝසප් මැල්සි ජැක්සන් ඇන්තනී නම් විය. රාගම පොඩි වී කුඹුර නම් දිළිඳු, නූගත් පරිසරය මුල්කරගනිමින් සිය උපත ආරම්භ කරනා ජැක්සන් රටක්  සංස්කෘතික කලාපය කරා, ඓතිහාසික රැල්ල කරා, කලාත්මක චින්තනය කරා නැවත රැගෙන යතැයි මොහුගේ උපතේදී කිසිවෙකු නොසිතන්නට ඇත.

යහළු යෙහෙළියන් හට ජැක්සන් වූ මොහු සිය මව ඇතුළු පොඩිවී කුඹුරේ වැඩිහිටි පරම්පරාව හට මැල්සි නම් විය. ආදරණීය පවුල් පසුබිමක් තුළ බාලයා ලෙස හැදී වැඩුණු ජැක්සන් නිතැතින්ම කලාව වෙත යොමු වනුයේ සාංසාරික පුරුද්ද හෝ ඔහු නිතර විශ්වාස කරනා දෛවය නිසා වන්නට ඇත. හත්මුතු පරම්පරාවෙහි කිසිවෙකු ප්‍රසිද්ධ කලාව වෙත සම්බන්ධ නොවූ වාතාවරණයක් තුළ සිය අත්තිවාරම තමාම සලසා ගැනීමට මොහු නිතැතින් උත්සාහ දැරුවෙකු විය. සිය පියාගේ කලාත්මක ආභාසය පමණක් ඔහු වෙත ආශිර්වාදයක් වූ අතර එය ඔහුගේ කලාත්මක කලාපය සඳහා බෙහෙවින් සහය වන ලදි.

ඔහු වරෙක මෙසේ පවසයි,

“අපේ තාත්තා ගමේ ටීටර්කාරයා, නාට්ටිකාරයා, සින්දු කියන්න හරි ආස කෙනෙක්. තාත්තාගේ හවුහරණෙන් මම සැළසුමක් හදා ගත්තා.’’

සිය පියා තුළින් පමණක් තම පෞරුෂය ගොඩනගා ගැනීමට උත්සාහ නොකළ ජැක්සන් සිය හැකියාව සහ ඉලක්කය සාක්ෂාත් කරගැනීම උදෙසා සිය අරමුණ කරා ගමන් කරයි.

එකල විදුලිබල දෙපාර්තමේන්තුවෙහි සේවය කළ සිය පියාගේ හදිසි මාරුවීම හේතුවෙන් කුඩා ජැක්සන් ඇතුළු පවුලේ සියලූම දෙනාහට පොඩි වී කුඹුරේ සිට බණ්ඩාරවෙල බලා ගමන් කිරීමට සිදු විය. කුඩා ජැක්සන් සිය පෙර පාසල් අධ්‍යාපනයේ සිට බණ්ඩාරවෙල පරිසරය තුළ හැදී වැඩුණු අතර හතරවන ශ්‍රේණිය දක්වා බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලය හරහා සිය ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට සමත්විය. කලාකාමී පියෙකුගේ ආභාසය කුඩා ජැක්සන් කලාලාමී මනසක් වෙත උරුමකම් ලබන්නෙකු බවට පත්කරන ලදි. තමා නැරඹූ ප්‍රථම චිත්‍රපටය වන අංගුලිමාල චිත්‍රපටය නැරඹීමට තම පියා තමාව රැගෙන බණ්ඩාරවෙල සීගිරි නම් සිනමාශාලාව වෙත ගිය බව ඔහු වරෙක ඉතා සංවේදීව ප්‍රකාශ කරයි. තමා හිතෙහි ඇතිවන තමාට අත්හදා බැලීමට අවශ්‍ය සියලුම දෙය තම පියා ඔහු වෙත අභ්‍යාසයන් කොට හුරු කළ බවත් ඔහු වරින් වර ප්‍රකාශ කරනුයේ ඉතා ආදරණීය ස්වරයෙනි. සිය කුඩා කාලයෙන් වැඩි කාලපරාසයක් බණ්ඩාරවෙල ගෙවාදමන මොහු ඉතා ආදරණීය පරිසරයක් තුළ හැදීවැඩුණු අතර එහෙයින් ඔහු තම අනාගතය තුළ ඉතා සංවේදී කලාකරුවෙකු විය.

5 වන ශ්‍රේණියේ සිට නැවත පොඩි වී කුඹුර සිය වාසභූමිය කොට ගත් මොහු එතැන් පටන් හපුගොඩ ශාන්ත මරියා විද්‍යාලය සිය අධ්‍යාපන තෝතැන්න බවට පත්කරගනු ලබයි. ඔහු පවසන ආකාරයට තමා ඇගයීමට ලක්වුණු, තමාගේ හැකියාවන් සොයාගත් ගුරුවරු සිටි පාසල් සමය මෙයයි. ඔහු එම කාල වකවානුව හට බෙහෙවින් ප්‍රේම කරයි. තම හැකියාවන් හඳුනාගත් වින්සන් මාස්ටර් නම් ගුරුවරයා  ඔහු හට හමු වූ මේ කාල වකවානුව සහ එකී ගුරුවරයා ඔහු බොහෝ ස්ථානයන්හිදී සිහිපත් කරයි. තම පවුලෙහි අනෙකුත් සාමාජිකයින් ඩිමෙස්ලන්ඩ් නම් පාසල වෙත අධ්‍යාපන කටයුතු සඳහා සහභාගී වුණු අතර මොහුගේ පියා වරින් වර ඔහුවද මෙකී පාසල වෙත ඇතුළත් කිරීමට වෙර දරයි. නමුත් මොහුගේ බලවත් අකමැත්ත මත පියා එකී කර්තව්‍ය අතහැර දමයි. වරෙක නිවේදිකාවක් මේ පිළිබඳ ඔහු වෙත පැනයක් යොමු කරයි. එයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පවසයි.

“මම හිතුවා මේ පුංචි ඉස්කෝලේ මම ලොකු මිනිහෙක්. අර ලොකු ඉස්කෝලෙට ගියොත් මම පුංචි වෙයි කියලා ඒ කාලේ මට හිතුනා. ඉතින් ඒකත් රැකගෙන මේ පුංචි ඉස්කෝලේ මට හොඳයි කියලා හිතුනා”

ලොක්කෙක් වන්නට කැපීපෙනෙන මිනිසෙකු වන්නට තිබූ ආසාව මිනිසෙකු මෙතරම් දුර රැගෙන ඒවියැයි එකල ඔහුද සිහිනෙකින් හෝ නොසිතන්නට ඇත. කුඩාකල කුඩා ලෝකයෙහි තිබූ සොඳුරු ආසාවන් ඔහු මානුෂවාදී කලාකරුවෙකු කරලීමට නිබඳ සහයෝගය ලබාදෙන්නට විය. ඔහු වරෙක පවසන ආකාරයට සාහිත්‍ය, සාහිත්‍ය ගුරුවරයා, නාට්‍ය, අන්තර් පාසල් නාට්‍ය තරඟ, නිවාසාන්තර නාට්‍ය තරඟ ඔහු කුසලතා අතින් ව්‍යායාමික කරන ලදි. ඔහු තුළ මුල් බැසගෙන සිටි හැකියාවන් එකී අභ්‍යාසයන් හරහා කරළිය තුළ දිග ඇදෙන්නට විය.

උසස් පෙළ සඳහා ගලහිටියාව මැදි විදුහල සහ කැළණිය ගුරුකුල විද්‍යාලය යන තෝරාගැනීම් දෙක තුළින් සිය ගුරුවරයාගේ මග පෙන්වීම යටතෙහි ගලහිටියාව මැදි විදුහල තෝරාගන්නා ජැක්සන්හට  තම දෛවෝපගත ඉරණම්කාරිය ඒ හරහා තම දිවිය වෙත ළඟා කර ගැනීමට අවකාශය නිතැතින් උදාවුණු අතර එය තම දිවියෙහි හැරවුම් ලක්ෂය බවට පත්වුණු ආකාරය ඔහු වරක් මෙසේ විස්තර කර දක්වයි.

“මම ගලහිටියාවට නොයා ගුරුකුලට ගියානම් මගේ ජීවිතේ මීට වඩා හුඟක් වෙනස්. මගේ පුද්ගලික ජීවිතේ වෙනස් වෙනවා මම ගලහිටියාවට ගියාම මට මිත්‍රපාරාදීන් හමුවෙනවා ඒ මිත්‍රපාරාදීන් අතර කුමාරි මුණසිංහ කියලා චරිතයක් මට හම්බවෙනවා. අපි ප්‍රේමවන්තයින් බවට පත්වෙනවා.”

1975 දී කුමාරි මුණසිංහ මුණගැසීමත් සමඟ කතෝලික ගම්මානයක හැදී වැඩුණු මෙතුමන් හට සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ හැදී වැඩුණු සාම්ප්‍රදායික සිංහල බෞද්ධ කාන්තාවක් වන ඇය තුළින් මනා සමාජානුයෝජනයක් හිමි වුණු අතර ඇයගේ මුණගැසීම තුළ තමාගේ ජීවිතය, අරමුණු නොසිතූ විරූ ආකාරයට පෘතුල තලයකට පැමිණි බව ඔහු නිරන්තරයෙන් ප්‍රකාශ කරයි.

ප්‍රථම වරට උසස් පෙළ විභාගයෙන් අසමත්වන ඔහු හට ඔහුගේ පරමාදර්ශී ගුරු තරුව වන වින්සන් මාස්ටර් ඔහුට කා වැද්දූ සිතුවිලි නිරන්තරයෙන් වද දෙන්නට විය.

“උඹට කලාකාරයෙක් වෙන්න ඕනෙනම් පුතේ, මේ කඩුල්ල පැනපන් පොඩි වී කුඹුරේ කඩුල්ලට තියලා අමුඩේ ගහන්න එපා උඹ එතන හිර වෙනවා. මේ ගමේ සීමාවෙන් පනින්නම් උඹ විශ්ව විද්‍යාලේ යන්න ඕනේ. අධ්‍යාපනේ තමයි එකම පිළියම වෙන කිසිවක් නෑ. උඹව කරේ  තියාගෙන යන්න කිසි කෙනෙක් නෑ.”

මේ ආකාරයෙන් තම පරමාදර්ශී ගුරුවරයා තුළින් ලැබූ හදවත ස්පර්ශකළ දිරි ගැන්වීම ඔස්සේ තම පරාජය පිළිබඳ තම අභ්‍යන්තරය වෙතම ලැජ්ජාවක් කාවද්දාගත් මොහු සිය අරමුණ කරා ගමන් ගන්නට විය. උසස් පෙළ දෙවන වර ඉහළින්ම සමත් වන මෙතුමන් ශාස්ත්‍රීය විද්‍යාර්ථයෙකු ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍ර පීඨයට ඇතුළු වීමට වරම් හිමිකරගන්නා ලදි.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළ පළමු වසරේ නවක වද කාල සීමාව තුළදීම ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්වන මොහු ශාස්ත්‍ර පීඨ සමාජවාදී ශිෂ්‍ය සංගමයෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සිය දායකත්වය ලබාදෙන්නට විය.

විශ්ව විද්‍යාලය ඔහු හට ප්‍රසිද්ධ වේදිකාව, ගුවන් විදුලිය, රූපවාහිනිය පමණක් නොව සිනමාව සඳහාද මගපාදන්නට විය.

අන්තර් පීඨ නාට්‍ය උළෙල වෙත මොහුගේ නාට්‍යක් ඉදිරිපත් වන අතර එය විනිශ්චය සඳහා පැමිණෙන සුගතපාල ද සිල්වා මැතිඳුන් මෙතුමන් හොඳම නළුවා ලෙස තෝරා පත්කරගන්නා අතර ඒ සඳහා ඔහු වෙත සම්මානයක් ද පිරිනමනු ලබයි. එතැනින් නොනැවතුණු සුගතපාල ද සිල්වා මැතිඳුන් සිංහල වේදිකාව පුරා කොළඹ විශ්ව විද්‍යාලයෙහි මේ අපූරු සිසුවා පිළිබඳ රාවයක් රැගෙන යයි. ඒ හරහා ජැක්සන් ඇන්තනී නම් විශ්ව විද්‍යාල සිසුවා හඳුනාගත් ලූෂන් බුලත් සිංහලයන් තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ දෙවන නිෂ්පාදනය හරහා පිනා නම් චරිතය තුළින් ජැක්සන් කරළිය වෙත රැගෙන එයි.

විශ්ව විද්‍යාලයෙහි පදනම් වසරෙහි විශිෂ්ඨ ප්‍රතිඵල තුළින් ආර්ථික විද්‍යාව, භූ ගෝල විද්‍යාව, සිංහල යන විෂයන් ත්‍රිත්වයෙන් ඕනෑම එකක් තම විශේෂවේදී උපාධිය සඳහා තෝරා ගැනීමට අවකාශය හිමි වුවද සංස්කෘතික කලාපය හැදෑරීමට පැවති දරුණු වුවමනාවට එකම පිළියම සිංහල වූ නිසාවෙන් ඔහු තම විෂය පථය ලෙස සිංහල තෝරා ගැනෙයි.

ලූෂන් බුලත් සිංහලයන්ගේ මගපෙන්වීම යටතේ රූපවාහිනී පූරකවරයෙකු ලෙස ‘ආයුබෝවන්’ වැඩසටහනට පිවිසෙන මේ මහා කලාකරු ප්‍රේමකීර්ති ද අල්විස් නම් අසහාය මාධ්‍යවේදියාගේ ඉගැන්වීම හරහා 1982 දී සජීවී කථනය, සජීවී විස්තර ප්‍රචාරණය වෙත සිය නවමු පය තැබීම සිදුකරනු ලබයි.

විශ්ව විද්‍යාල ජීවිතය, නාට්‍ය, නිවේදනය මේ සියල්ල හරහා මොහු අභ්‍යාසගත වෙහෙසකට පත්වුණු අතර එකී වෙහෙස මොහු වෙත නවමු ආශ්වාදයක් එක්කරලීමට සමත් විය. 1983 මහා කලබල, ධවල පත්‍රිකාව වැනි භීෂණකාරී කාල පරාසයක් තුළ සමාජවාදී ශිෂ්‍ය සංගමයෙහි ක්‍රියාකාරී ජැක්සන් හට විවිධ හැළ හැප්පීම් වලට මුහුණ පෑමට සිදුවිය. දයා පතිරණ, රෝහණ රත්නායක වැනි ක්‍රියාකාරී සමාජවාදී ශිෂ්‍ය නායකයන් මොහුගේ කාමර සගයන් වූ අතර මොහු පවසන ආකාරයට රෝහන රත්නායක තුන්මුල්ල හන්දියේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය යන්නට වූයේ මොවුන්ගේ ඇස් පනාපිටදීය. සියලු සමාජ ව්‍යසනයන්ගේ සහභාගීත්ව නිරීක්ෂකයෙකු වූ මෙතුමන් ඒ හරහා සමාජීය පරිණත භාවයක් උරුම කරගැනීමට සමත් විය.

1985 දී විශ්ව විද්‍යාලයෙන් ඉවත් වීමෙන් අනතුරුව 1985 දීම ඔහු විවාහ දිවියට  එළඹෙන ලදි. මොහු පවසන ආකාරයට 1986 දී මොහුගේ වේදිකා රංගනයෙහි කොටහළුව (මල්වර දීම) සිදු වීම සුගතපාලදි සිල්වාගේ ‘මරාසාද්’ නාටකය හරහා සිදු විය. ඔහු තවමත් ප්‍රිය කරනා ඒ අද්විතීය රංගනය ඔස්සේ මරණය නිරූපණය කිරීම උදෙසා හොඳම නළුවා සම්මානය ඔහු වෙත පිරිනමන ලදි. 

එමෙන්ම හොඳම නළුවා සම්මානය විවිධ  අවස්ථාවන්හීදී 16 වතාවක් ලබාගත් කලාකරුවා මොහුයි. ගුරු ගෙදර, චිට්ටි, අයෝමා, ලොකු දුව, තාරානාත, පුනුරුප්පත්තිය, බවදුක, බව කර්ම, විසි දැල, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දාහය, සූරිය අරණ, මිල්ලේ සොයා, රන් දිය දහර, ගරිල්ලා මාර්කටින්, කුරුළු පිහාටු, ක්ෂේම භූමී, ධීවරී, කුසපබා, ඇහැළේ පොළ කුමරි හාමී, මහ රජ ගැමුණු ආදී නිර්මාණ රාශියකට තම රංගන දායකත්වය ලබාදුන් මෙතුමන් ජුලියට් ගේ භූමිකාව, අබා යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. ඇඩ්‍රස් නෑ චිත්‍රපටයෙහි කතාව, තිරපිටපත සහ අධ්‍යක්ෂණය යන ත්‍රිත්වයම මෙතුමා අතින් සිදුවිය.

ඔබ මීට පෙර මෙසේ වාක්‍ය කණ්ඩයක් අසා තිබේදැයි මෙනෙහිකොට බලන්න.

“මම වාසනාවන්තයෙක් නොවෙයි. මම වාසනාව විශ්වාස කරන්නේ නෑ. කොච්චර විශ්වාස කරන්නේ නැද්ද කියනවානම් මගේ ජීවිත කාලය තුළ ස්විප් ටිකට් එකක් මිලදී අරගෙන නෑ. සිවිප් ඇදෙන්නේ වාසනාවන්තයින්ටනේ. මම විශ්වාස කරන්නේ මහන්සිය, හැකියාව මහන්සියෙන් උපයා ගත්තොත් ඒක තමා මගේ උරුමය. වාසනාව විශ්වාස නොකර දෛවය විශ්වාස කරනවා. දෛව රේඛාව විශ්වාස කරනවා මම හොයන්නේ මට වෙන්වෙච්ච දෛවය මොකද්ද? රේඛාව මොකද්ද? ඒ රේඛාවේ පවතින්නයි මම උත්සාහ කරන්නේ. කාලය නාස්ති කරන්න මම කැමති නෑ. සංස්කෘතික කලාපයේ එල්ල ගත ලක්ෂයක් තියාගෙන ඒ එල්ලය දිහාම බලාගෙන ඇවිද යන වර්තමාන ලාංකේය මනුස්සයෙක් මම”

වාසනාව විශ්වාස නොකරන දෛවය, මහන්සිය, කැපවීම තම ඉලක්කය සපුරා ගැනීම පමණක් විශ්වාස කරන ශ්‍රී ලාංකිකයෙකු වත්මන් පරපුරට දෙනුයේ මහඟු ආදර්ශයකි. වාසනාව, ලැබෙන දේ පමණක් පිළිගැනීම, ලැබෙනා දේ ලැබෙයි වැනි සිතුවිලි නොව වුවමනා කරනා දෙය කෙසේ හෝ ළඟා කර ගැනීම තුළින් ජයග්‍රහණය කිරීම සැමට මහත් වූ ආදර්ශයකි.

ජීවිතය ගංඟාවකට සමය. දිය උල්පත්, ගල්, බොරළු, මිණි කැට, අතු ගංඟාවන් ගංඟාවෙහිම පාර්ශවකරුවන් වන්නේය. ගංඟාව ආරම්භයේ සිට අවසානය දක්වා එකී පාර්ශවකරුවන් ගංඟාව හා සහසම්බන්ධ වන්නාක් මෙන්ම ජීවිතය ගලාගෙන යන්නේය. ජීවිතයෙහි විවිධ සන්ධිස්ථානයන් කැඩි කැඩී ගමන් නොකරන්නාක් මෙන් එක පෙළට දාමාකාරයෙන් සිදුවෙයි. එකකින් එකක් මනා සං‍යමයකින් සම්බන්ධ වෙයි. එකකට එකක් අනෙකාට ඔච්චම් නොකරයි. පරයා යන්නට වෙර නොදරයි. එකී සිද්ධි දාමයන් මනා සං‍යමයකින් ඉවසීමෙන් ගමන් කරයි. ජීවිතය එක එල්ලයක් කරා ගෙන යන මිනිසුන් ගංඟාවක් මෙන්ම මහා සාගරය කරා ළඟා වෙයි. සිය පරිපූර්ණ වූ ජය, පරාජයන්, බිඳ වැටීම් සමස්ථ ලෝකයා වෙත මහා ආඩම්බරයෙන් පිරිනමයි. ලෝකයාගෙන් පැසසුම් ලබයි. විටෙක ගැරහුම් ලබයි. එහෙත් ගංඟාවන් කිසිඳු විටෙක සිය ගමන නිමා නොකරයි. නොන්වත්වා ගලායයි. සමස්ථයක් සිය හැකියාවෙන් පෝෂණය කරයි.

මෙකී අනර්ඝ වූ ජැක්සන් ඇන්තනී නම් මහා කලාකරුවානන්ද ගංඟාවක් බඳුය. ලෝකයාගේ පැසසුම් පමණක් නොව ගැරහුම්ද සම සිතින් දරාගනිමින් ලාංකේය කලා කෙත සිය පෝෂ්ණයෙන් අස්වද්දා ලීමට නිතැති කටයුතු කරයි.

යහපත් ස්වාමිපුරුෂයෙකු, ආදර්ශවත් පියෙකු, ආදරණීය මුත්තණුවකු, අත්දැකීම් බහුල නළුවෙකු, අධ්‍යක්ෂවරයෙකු, තිරපිටපත් රචකයෙකු, නිෂ්පාදකයෙකු, ගීත රචකයෙකු, නවකතාකරුවෙකු පමණක් නොව ජීවිතයේ විවිධ අදියරයන්හීදී විවිධ බාධක ජයගනිමින් ජීවිතය දිනූ අසහාය යුග පුරුෂයෙකු වූ ජැක්සන් ඇන්තනී නම් අසහාය රංගවේදියානන් හට Colombo Beacon අප සැම එතුමානන්ගේ ජන්ම දිනයෙහි සුභම සුභ ජන්ම දිනයක් වේවා! යි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

ජැක්සන් ඇන්තනී නම් මහා කලාකරුවානන් හට ශ්‍රී ලාංකේය සංස්කෘතික කලාකෙත තව තවත් අස්වද්දා ලීමට අවැසි ශක්තිය ධෛර්යය හිමිවේවායි පතනා අතර මේ හා සම තවත් කර්තව්‍යයන් රැසක් කරලීමට දීර්ඝායුෂ වේවා! යි හදවතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

එතුමන් මෙසේ ප්‍රකාශ කරයි.

“කිසිවක් සිදුවී හමාර වන්නේ නැත. සියල්ල සැම විට සිදුවෙමින් පවතින්නේය. හැම අවසානයක්ම ආරම්භයක් බවට පත්වන්නේය. කිසිවක් අවසාන වන්නේ නැත.”

එසේම නම් ඔබ තුමන්ගේ ප්‍රකාශය පරිද්දෙන්ම ඔබතුමන්ගේ ගමනාන්තයන් තව තවත් රසවත් වේවායි පතමින් මෙතෙකින් අවසන් නොවනා ඔබතුමන්ගේ කතාන්දරය මතු මතුත් සිහිපත්කොට අතීතය සන්තෝෂයෙන් තලුමැරිය හැකි ජීවන ගමනක්ව දිඝාසිරි විදීවා! කියා හදවතින්ම පතන්නෙමු.

Design by – Shanaka Vishwantha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චමුදි සමෝද්‍යා

ශාස්ත්‍ර පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment