ඇය වෘත්තියෙන් දිවයිනේ සුප්‍රසිද්ධ නීතීඥවරියක්. ගෙවුණු ජීවිතේ වැඩිම කාලයක් තම එකම පුතු වෙනුවෙන් ජීවත් වුණු මවක්. දිවයිනේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ ප්‍රිය බිරිඳක්. නමුත් අද ඇය… රෝහල් සයනයක් මත අසරණ වූ දෑසින් මග බලා හිඳිනියක්…. වරද පිළිබඳ දොස් නැගුම පසෙකින් තබා අද ඇගේ තත්වය හෙට මගේ මව සතු වුනොත්… යන සිතිවිල්ල පෙරදැරිව මම මගේ පන්හිඳට ඇය වෙනුනෙන් පණ දෙන්නට තීරණය කළෙමි. මවක් තම පුතෙක් ලොකු මහත් කර රජෙක් කෙරුමට හීන මවනුයේ සිය පුතු නූපන් අවධියේ සිටමය. ආශා දහසක් පොදි බැඳ, දහසකුත් බාධා මධ්‍යයේ, කුසට නිසි අහරක් නොමැතිව, නෙතට නිසි නින්දක් නොමැතිව, දෑතේ කර ගැට නො ආව ද, වර්තමාන අම්මා නම් භූමිකාවට පණ පොවන ඈ අතීතයේ අම්මා නම් භූමිකාවට හිමිකම් කියූ කාන්තාවටත් වඩා කිහිප ගුණයකින් තම පුතු වෙනුවෙන් වෙහෙසෙන්නීය. ඒ තම දූ හෝ පුතු පවතින තරඟකාරී සමාජයේ ගෞරවනීය රැකියාවකට උරුමකම් කියමින් ඉහලම පුටුවක වැජඹෙනු දැකීමට ය. ඇගේ වෙහෙසත්, ඇගේ කැප කිරීමත් මතින් තුදුස් වසරැති පාසල් දිවියට සමු දී සිව් වසරැති සරසවි දිවිය ද නිම කර ගෞරවනීය රැකියාවකට උරුමකම් කියමින් සාර්ථක විවාහක දිවියකට උරුම කම් කියන අප බහුතරයකට එතැන් පටන් අමතක වන තම දෙමාපියන්ගේ වටිනාකම ඇතැම්විට නැවත මතක් වනුයේ ද තම දුවා දරුවන්ගේ ආරක්ෂාව පතා ඔවුන් රැක බලා ගැනීමට යමෙකු අවශ්‍ය වූ විට ය. මොහොතක් සිතන්න… ඇය ඔබේ මව විය හැක. නැතහොත් ඔබේ සැමියාගේ හෝ බිරිඳගේ මව විය හැක. ඇය කාගේ මවක් වුවත් රෝගාතුර වූ මොහොතේ කාත් කවුරුත් නැති ලෙස තම පුතා හෝ දුවගේ පැමිණීමේ අපේක්ෂාවෙන් අසරණව බලා සිටිය යුතු ද? නැතහොත් ඇයව ආවර්ජනය විය යුත්තේ තම අවශ්‍යතාවයන් උදෙසා සහායට පමණක් ද? පවතින තරඟකාරී සමාජ පසුබිමේ අපට අපගේ සමීපතයින් මග හැරී යා හැකිය. නමුත් සිතා බලන්න. කෙතරම් කාර්ය බහුල වුවත් ඔබේ මව එක් දිනක් හෝ ඔබව කුස ගින්නේ තබා ඇත් ද? ඔබ රෝගී වූ විට ඈ ඔබට සුවවන තෙක් එක් දිනක් හෝ සුව නින්දක් ලබා ඇත් ද? මෙය හුදෙක් මවට පමණක් නොව, මවට නොදෙවෙනි ආදරයක් සිත් දරන් ඔබව සුරකින තාත්තා නම් භූමිකාවට උරුමකම් කියන්නා වූ පියාණන්ට ද, ඔහුගේ ආදරයට ද සත්‍යක් වන්නා වූ පොදු කරුණකි. ඔබත් මමත් අපි සැවොමත් කාර්ය බහුල විය හැක. නමුත් අද මෙතැන මෙලෙස වැජඹීමට මං පෙත් විවර කළ ඔබේම දෙමාපියන් කිසි දා මෙලෙස අසරණ නොකිරීමට අප සැමගේම වගකීමක් වන්නේ ය. ඒ ඔබේම දෙමාපියන් නොවී, විවාහක සහකරු හෝ සහකාරියගේ දෙමව්පියන් වු ව ද අප සිත් දරා ගත යුතු එක් දෙයක් ඇත්තේ ය. ඒ ඔවුනගේ කැපවීමත්, මහන්සියත් නිසාවෙන් ඔබට ලස්සන හෙටක් උරුම වී ඇති බවයි. සදිනක් ගත වුවත් නොපැමිණි පුතුගේ පැමිණීමේ අපේක්ෂාවෙන් මග බලා රැඳෙන ඇගේ දෑසේ තෙත් වුණු කඳුළැලි දහසක් සිතිවිලි සඟවා ගෙන සිනා සුන ද මා ඈ හා කතා කළ හෝරා කීපයේ ම එක් සුවිශේෂී යමක් දුටුවෙමි. එනම්, ඈ කිසිදු අවස්ථාවක තම පුතුට හෝ ලේලියට දොස් නොපැවසීමයි. වරද කා අතින් කිනම් අයුරින් සිදු වුන ද, මවකට හෝ පියෙකුට අවැසි රෝගී වූ අවස්ථාවේ දහස් ගණන් මුදල් ගෙවා සැප පහසුකම් සහිත පෞද්ගලික රෝහලක සයනයක් මත කල් ගත කිරීමට නොවේ. ඇය තත්වයෙන් කෙතරම් ඉහල සමාජ මට්ටමක පසු වුව ද ඇගේ දෑසේ වූයේ එකම එක ඉල්ලීමකි. ඒ තම පුතුගේ ආදරය ය. කරුණාව ය ය; ඇය කෙරේ දක්වන සැලකිලිමත් බවය.
කාලය හා කාර්ය බහුලත්වය තුල අපට අපේම යුතුකම් මග හැරෙයි නම් අප ගත කරන කාලයේ අර්ථය කිම දැයි විවෘත පැණයක් සිතේ දරන් ම මං රෝහල් භූමියට සමු දුන්නෙමි.
Leave a Comment