”අම්මේ මගේ පැන්සලේ දැක්කද?”
“මං දැක්කා පොඩි එකී අතේ තියන් ඉන්නවා අහපන් ඒකිගෙන්”
“නංගී මගේ පැන්සල ගත්තද?”
” ඔව් අයියේ අනේ මටත් ඒ ජාතියෙ එකක් ගෙනත් දෙන්නකෝ…”
උදේ පාන්දර ඉර නැග එනවාත් සමඟ සිරිමල් ගේ නිවස එක කලබල කෝටියකින් යුක්ත විය. ඒ වෙන මුකුත් නිසා නොව පාසල් යාමට පාන්දරම නැගිටගත් සිරිමල් හා ඇයගේ කුඩා නැගනිය තමන්ගේ බඩුබාහිරාදිය සොයනා නිසාවෙනි..
ගම්මැද්දේ පිහිටි කුඩා වෙල් යායකට යාබදව නිස්කලංක වටපිටාවකින් වටවූ කටුමැටි ගෑ පොල් අතු හෙවූ පුංචි නිවසකි. ඒ සිරිමල්ගේ නිවසි. ගොවිතැනින් ජීවත් වූ ඔවුන්ගේ ජීවනෝපාය වූයේ හේන් ගොවිතැනය.
“පුතේ අද ඉස්කෝලේ ගිහින් ඉක්මන්ට වරෙන්.”
“ඒ මොකද තාත්තේ?”
“අද ගොයම් ටික කපනවා. හැන්දෑකරේ ඇවිල්ලා ගොයම් ටික එකතුකරන්න උදව් වෙයන්. නැත්නම් ගොම්මන් වෙන්න කලින් ගොයම් කොලේ එකතුකරගන්න බැරි වෙනවා.”
“හා තාත්තේ..”
“අවුරුද්දත් ළඟ ළඟම එනවා.. පන්සලේ හාමුදුරුවන්ට අලුත් හාල් ටිකක් ගෙනිහින් දෙන්නත් ඕනේ අලුත් අවුරුද්දට.” සිරිමල්ගේ තාත්තා කියන්නට විය.
“නංගී ලෑස්තිවෙලා ඉවරයිද ඉක්මන්ට යමු පරක්කු වෙනවා”
පරණ රබර් සෙරෙප්පු දෙක පයලාගමින් හනි හනිකට සිරිමල් සහ නංගී නිවසට වැටී තිබූ අඩිපාර දිගේ පාසල් යාමට පිටත්විය. පාසලට ළඟා වූ සිරිමල් නංගී ඇය ඉගෙනුම ලබන පන්ති කාමරයට ඇරලවා සිරිමල් ඉගෙනුම ලැබී පන්ති කාමරය වෙත පියවර තැබුවේය.
“ආ සිරිමල් අද ටිකක් පරක්කුයි වගේ.” සිරිමල්ගේ මිතුරෙකු වූ සුසිරිපාල සිරිමල්ගේ කරට අත දාගනිමින් කියන්නට විය.
“ඒක නෙමේ සිරිමල් අවුරුද්ද ළඟයි නේ අලුත් ඇඳුම් එහෙම හම්බුනාද?”
“තවම නෑ සුසිරිපාල”
“අපේ තාත්තනම් මට අලුතින් කලිසමකුයි කමීසෙකුයි ගෙනත් තිබුණා.”
රජයේ කන්තෝරුවක සේවකයෙකුගේ පුතෙකු වූ සුසිරිපාල එසේ කියාසිටියේ මහත් ආඩම්බරයෙනි.
“තාත්තා මට අහස්කූරු පෙට්ටියක්ම ගෙනත් දුන්නා”
සුසිරිපාලගේ ආඩම්බර කතාව අසාසිටි සිරිමල්ගේ හිතට දැනුනේ සතුටක් සමඟ එකතුවූ දුක්මුසු කමක්ය. සිරිමල්ගේ පවුලේ හතර දෙනා යන්තමින් එදාවේල ගැටගහගත්තේ හේන්ගොවිතැනින් ලැබෙන්නා වූ තුට්ටුවෙන්ය. ඔහුට කිසිදු දිනක අවුරුද්දට අලුත් ඇඳුම් ලැබුනේ නැත. අහස්කූරු අරන්දීමට තරම් සිරිමල්ගේ පියා සතුව මුදල් නොතිබ්බේය.
“අනේ මටත් අහස්කූරක් දෙන්නකො… ඔයාට පෙට්ටියක්ම හම්බුනානේ.” සිරිමල් බැගෑපත්කමින් සුසිරිපාලගෙන් අහස්කූරක් ඉල්ලන්නට විය.
“අපෝ බෑ අපේ තාත්තා මාව මරයි.”
බිම බලාගත් සිරිමල් එම ස්ථානයෙන් නික්මුනේ කඳුලු පිරුණු දෙනෙතින්ය. අනේ මටත් අහස්කූරක් පත්තු කරන්න තියේනම්.. සිරිමල් සිතන්නට විය. පාසල් කාලය නිමාවීමෙන් පසු නංගී සමඟ ඉක්මනින් නිවෙස බලා පිටත් වූ සිරිමල්ට සිහියට නැඟුනේ සුසිරිපාල කියූ අහස්කූරු ගැනය.
කඩමණ්ඩියට ළඟා වූ සිරිමල්..
“නංගි පොඩ්ඩක් ඔහොම ඉන්න මන් ඉක්මන්ට කඩේට දුවලා එන්නම්.”
“මුදලාලි මාමේ අහස්කූරු තියෙනවද?”
“ඔව් කොලුවෝ”
“කීයක් වෙනවද?”
“අහස්කූරු පෙට්ටියම රුපියල් සීයක් වෙනවා.”
“එතකොට එක අහස්කූරක් කීයක් වෙනවද මාමේ?”
“එකක් රුපියල් පහයි”
“උඹට එකක් ඕනෙද?”
“මං පස්සේ වෙලාවක එන්නම් මාමේ”
කඩමන්ඩියෙන් නික්මුණු සිරිමල් නිවසට ගොස් අම්මා බෙදා දුන් බත් පිඟානද රසබලා කුඹුරට දිව්වේ තාත්තට උදව් වීමටය. කුඹුරේ රාජකාරි බොහොමය. තැනින් තැන ගොඩ ගසා ඇති ගොයම් මිටි සිරිමල් එකින් එක එකතුකර හිස්මුදුනට ගෙන ගොයම් කොළය දක්වා ගෙනැවිත් ගොඩගසන්නට විය. දහඩිය පිහිමින් ගිනි අව්වේ ගොයම් මිටි එකතුකරන ගමන් ඔහු සිතුවේ අවුරුද්දට ප්‍රථමයෙන් අහස්කූරු පෙට්ටියක් ගැනීමටය.
කුඹුරේ වැඩ අවසන් වීමෙන් පසුව හවස්යාමයේ නිවසට පැමිණි සිරිමල් එළියේ තිබූ කුඩා බංකුව මතට වී බත් පිඟානද අතැතිව කල්පනා කරේ අහස්කූරු ගැනය.
“ඒ කොලුවා මොනවද බන් උඹ ඔයිහැටි අහස පොළව ගැටලන්න කල්පනා කරන්නේ?”
එකවරම නිහැඬියාව බිඳිමින් සිරිමල්ගේ මව අසන්නට විය.
“තාත්තේ මට රුපියල් සීයක් දෙන්න පුලුවන්ද?”
“උබට පිස්සුද?.. කොහේ තියන සල්ලිද බන්. ඇරත් මොකටද උබට රුපියල් සීයක්..?”
“අහස්කූරු පෙට්ටියක් ගන්න තාත්තේ”
“උබට දෙයියන්ගෙ හාල් කැවිලද…? අපිට මොකටද අහස්කූරු. මේ එදාවේල හම්බකරගන්නෙත් හරි අමාරුවෙන්.. උබ අහස්කූරු පත්තු කරන්න දොඩවනවා.. ඔන්න ඔබ බත්ටික කාලා නිදාගනින්..”
තාත්තාගේ වචන ටිකෙන් කනස්සල්ලට පත් සිරිමල් බත් පිඟාන අතගාමින් බොහෝ වේලාවක් සිටින්නට විය. බත් කෑම පසෙකලා ඔහු කල්පනා කරේ අහස්කූරු ගැනය. කෑම කා අවසන් වූ සිරිමල් පැදුරට වී බොහෝ වේලා කල්පනා කරන්නට විය. අවුරුද්ද ලැබීමට තවත් ඇත්තේ සතියක කාලයක් පමණි.
පසුදින පාන්දරම අවදි වූ සිරිමල් පුරුදු දිනචර්යාව ආරම්භ කලේය. දින එක දෙක ගෙවී ගියේ ඔහුටත් නොදැනීමය. සිත තුල කකියන දැඩි ආශාවෙන් ඔහු ඇඟිලි ගැන්නේය. නමුත් අහස්කූරු ගැනීම සඳහා ඔහු අතැතිව මුදල් නොතිබ්බේය. සෑම දිනම පාසල් නිමාවී ගෙදර පැමිණෙන අතරමගදී කඩමණ්ඩියට ගොඩ වී අහස්කූරු පෙට්ටිය දිහා මදක් බලා සිට පැමිණීම ඔහුගේ දින චර්යාවට එකතු වූ අලුත් ක්‍රියාකාරකමක් වූයේ ඔහුටත් නොදැනීමය.
පුංචි හිත් මල් වගේ ඒ පුංචි හිත්වල තිබෙන ආසාවල් ඉෂ්ඨ කරගන්න පොඩ්ඩන් කොයිතරම් ආසා කරනවා ඇත්ද. සිරිමලුත් හිතේ තිබූ ආසාව තද කරන් සිටියේ කෙසේ හෝ ඉටුකරගැනීමටය. ළඟ ළඟම එන අවුරුද්දට ඇත්තේ තව දින දෙකක් පමණි. කැවුම් කොකිස් කුස්සියේ තාච්චියේ බැදෙද්දී සිරිමල්ගේ නංගී දිනක් ඔහුගෙන මෙසේ අසන්නට විය.
“අයියේ මොනවද ඔයා හැමදාම කඩමන්ඩියේදී බලන්නේ…?”
“අහස්කූරු පෙට්ටියක් නංගී”
“අනේ මටත් ආසයි අයියේ…”
“ඒ වුනාට කොහේ තියෙන සල්ලිද නංගී අපිට ඒවා ගන්න..මාත් හරි ආසයි”
“ඉතින් ඒවා සෑහෙන්න මිලයිද අයියේ?”
“මුදලාලි මාමා කිව්වා පෙට්ටියම රුපියල් සීයයි එක අහස්කූරක් රුපියල් පහක් වෙනවා කියලා.”
එකවරම ගෙට දිවගිය සිරිමල්ගේ නැගනිය පුංචි පොල්කටු වලින් සෑදු කැටයක් ගෙනැවිත් සිරිමල්ගේ අත තැබුවේය. එය පොල් ගෙඩියක් සිදුරුකර මදය ඉවත් කර අලංකාරවත් අයුරින් සැකසූ පුංචි කැටයක් විය. කැටය වටා පාට පැස්ටල් වලින් ඇඳි පුංචි ඉරි මඟින් රටා මවමින් එය තවත් අලංකාරවත් කරන්නට විය.
“මේක කොහෙන්ද නංගී ඔයාට?”
“මන් ඕක තාත්තට කියලා හදාගත්තේ. අයියා ඕක ගන්න. ඔයාට සල්ලි තියෙන කාලෙක මට ආපහු දෙන්න.”… ඇය සිනාමුසු මුහුනින් පවසන්නට විය.
සිරිමල්ගේ මුවට නැගුනේ ඉහවහා යන සතුටක් ඇති සිනහවකි. ඒත් සමගම ඔහේ ඇසට කඳුලක් ඉනුවේ තම නැගනිය තමන් වෙනුවෙන් කළ දේ නිසාවෙනි.
“අයියේ… ඉතින් ඉක්මනට ඕක කඩන්නකෝ.” සිරිමල්ගේ නැගනිය මැටි ගෑ බිම වාඩිවෙමින් කියාසිටියේය.
එකවරම සරාස් ගා සද්දයද සමඟින් සිරිමල් කැටය මැටි පොළවේ ගසා බිඳ දැමුවේය. දෙදෙනාගේ මුවේම තිබුනේ පුදුමාකාර සතුටකි. බිම වාඩිවූ සිරිමල් නැගනියද සමඟ කැටයේ තිබූ කාසි ගනන් කරන්නට විය. රුපියල දෙක සත පනහේ සත විසිපහේ කාසි වලට වඩා වටිනාකමෙන් වැඩි කාසි එහි නොතිබ්බේය. අවසානයේ එහි තිබුණේ රුපියල් විසිදෙකක මුදලක් පමණි.
“ඔතන තියන සල්ලි ඇති නේද අයියේ…?”
සිරිමල්ට තම නැගනියගේ මුවේ තිබූ සිනහව නැති කිරීමට දුක සිතුනි. ඇය තමන් වෙනුවෙන් කළදේත් ඇයගේ සිනහ මුසු මුහුණත් දෙස බලමින් ඔහු කියාසිටියේ,
“ඔව් නංගි ඇති, මට රුපියල් දහයක් තිබුනම හොඳටම ඇති. අපි අලුත් කැටයක් හදලා ඉතුරු සල්ලි ටික ඒකට දාමු.”
හෙටින් පටන් ගන්නේ අවුරුදු පාසල් නිවාඩු සමයයි. අනිද්දා අලුත් අවුරුද්දය. සිරිමල් ඇඟිලි ගැන්නේ ඒ අවුරුදු දවස ඉක්මනින් උදාවනු දැකීමටය. පසුදින උදෑසනම අවදි වූ සිරිමල් පරන පොල්ගෙඩියක් සොයා එය හොඳින් සුද්ද කර නංගී වෙනුවෙන් අලුත් කැටයක් සාදන්නට විය. පාට පැස්ටල් කැබලි දෙක තුනකින් පෙර තිබුනා සේම කැටය අලංකාරවන ලෙස රටා ඇඳි සිරිමල් වැඩ නිමා වූ කැටය නංගීගේ අත තබා
” නංගී මේ ඉතුරු කාසි ඔක්කොම ටික කැටේට දාලා එන්න යන්න මාත් එක්ක කඩමණ්ඩිට”..යැයි පැවසීය.
ඉහවහා ගිය සතුටින් සිරිමල්ගේ නැගනිය කාසි කැටයට දමා සිරිමල් සමඟ කඩමන්ඩියට දුවන්නට විය.
“ඒයි… කොහෙද කොලුවෝ උඹ ඔයි නංගි එක්ක ගාල කඩාගත් හරකා වගේ දුවන්නේ..?”
“කඩමන්ඩියට අම්මේ…මං ගියපයින්ම ආපහු එනවා ඉක්මනට.”
“අනේ මන්දන්නෑ උඹට මොන යක්ෂයා ආරූඪ වෙලාද කියලා. යනතැනක පරිස්සමින් ගිහින් වරෙන් පොඩි එකී එක්ක..”
ඉක්මනින් ඉක්මනින් කඩමන්ඩියට ඇදුනු සිරිමල් සහ ඔහුගේ නැගනිය කඩයට ගොස් අහස්කූරු දෙකක් මිලදී ගන්නට විය. එයද රැගෙන වෙල්යාය දිගේ හිනැහෙමින් සතුටින් නිවසට පැමිණියේ හෙට උදාවන අලුත් අවුරුද්දේ රාත්‍රියේදී අහස්කූරු පත්තු කිරීමේ බලාපොරොත්තුවෙනි..
කැවුම් කෙසෙල් ගෙයි මුල්ලේ හිනැහෙද්දී අවුරුදු දා සිරිමල් සහ නැගනිය සිනාසුනේ කවදාවත් අත්නොවිඳි අත්දැකීමක් ඔවුන් පළමුවරට අත්දකින බැවිනි. අහස උසට නැගෙන මිනිසුන්ගේ බලාපොරොත්තු හා ආශාවන් අතරේ පුංචි සිත් දෙක තුළ තිබූ එකම අහිංසක ආසාව ඉටුකරගන්නා මොහොත උදාවන්නට විය.
තාත්තා, අම්මා සහ නංගී සමඟ වෙල්යාය අසලට පැමිණි සිරිමල් එක් අහස්කූරක් නංගී අත තැබුවේය. කුස්සියට දිවගොස් ගිනිපෙනෙල්ලක් රැගෙන ආ සිරිමල් අහස්කූර දල්වා අහස දෙස බලා සිටියේ මහත් සතුටෙනි.
“අයියේ මේකත් පත්තු කරන්න..”
“ඕක මං ගත්තේ නංගිට”
“කමක් නෑ අයියා මේකත් පත්තු කරන්නකෝ..”
නංගී අත තැබූ අහස්කූර දල්වන විට සිරිමල්ගේ නැගනිය එය වෙනුවෙන් ඇයගේ පුංචි අත්පොඩිවලින් අත්පොඩි ගසමින් උඩ පනින්ට විය. ඇයගේ දෝරේ ගලායන සහෝදරකම සමඟ මුසුවූ සතුට අවුරුද්දත් සමඟ එකතු වූයේ ඔවුන්ගේ තවත් එක් සතුටින් පිරි මොහොතක් ගෙවා දමමින්ය..
~ සමාප්තයි ~
Leave a Comment