Colombo Beacon ආදරය දැනුම

සන්තියාගෝ සමඟ සැරිසරමු…

ඈත කඳු, මිටියාවත්, කාන්තාර, කෙම්බිම් පසුකරගෙන යන සංචාරකයෙකි. අහසේ තරුවල ආධාරයත් තමන් කෙරෙහි වූ විශ්වාසයත් පමණක් වූ ඔහු නමින් සන්තියාගෝයි. අපට සන්තියාගෝ හමුවන්නේ අරුම පුදුම තැනකිනි. බ්‍රසීලියානු ගත් කතුවර පාවුලෝ කොයිලියෝගේ විශිෂ්ටතම කෘතියේ පිටු අතර සැරිසරන ඔහු සන්තියාගෝයි. කෘතියේ මුල් නම “ද ඇල්කෙමිස්ට්” වූව ද බොහෝ වර බොහෝ භාෂා වලට පෙරලීමෙන් ඉක්බිති  සිහල බසින් භාෂණයේ යෙදෙන අපට මෙය හමුවන්නේ “සන්තියාගෝ නම් සැරිසරන්නා” යන සොඳුරු නාමයෙනි. 

ජලය එය දමන භාජනයේ හැඩය ගනියි. මේ මා සිත් බඳුනේ ඉඩක් තබාගත් සන්තියාගෝයි. ඔබේ සිතෙහි එය වෙනස් වෙනු හැකියි. නමුදු සන්තියාගෝ නම් සන්තියාගෝමයි.

කොලුවාගේ නම සන්තියාගෝයි. කතාව ඇරඹෙන්නේම කථානායකයා හඳුන්වා දීමෙනි. පාවුලෝ පැරණි පල්ලියකුත්, බිඳවැටුණ වහලයකුත්, අල්තාරය වසා පැතිරුණ සිකමෝර් පඳුරු පෙළක් මවයි. පාඨක අපි සන්තියාගෝ අසලින්ම හිඳිමින් බිඳුණු වහලය අතරින් බැටළු හඬ මැද අහස බලන්නෙමු. ජෙරී සිගෙල් සහ ජෝ ශස්ටර් තමන්ගේ අමරණීය නිමැවුම සුපර්මෑන් තුලින් ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ නිරූපණය කළෝ ය. පාවුලෝ පැරණි පල්ලියෙනුත් බැටළුවන්ගෙනුත් බෙත්ලෙහෙම නිරූපණය කරයි.

සන්තියාගෝ ස්පාඥ්ඥයෙන් ඇරඹී ඊජිප්තුව කරා ඇදෙන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙනි. එවන් ගමනකට බෙත්ලෙහෙම තරම් ඇරඹුමක් කොහිත් නැත. නමුත් සපාඥ්ඥයේ කොයින්ද බෙත්ලෙහෙමක්? එහෙයින් පාවුලෝ ස්පාඥ්ඥයේම බෙත්ලෙහෙමක් මවයි. සන්තියාගෝ පාවුලෝගේ විශිෂ්ටම නිර්මාණය වෙන්නට මෙය තරම් තවත් හේතු අවැසි නැත.

වචන බොහොම ගෙවුණා. නමුත් තවම අපි එක තැන. නමුත් සන්තියාගෝ නින්දේ ය. සන්තියාගෝ ගේ රාත්‍රියේ ඇත්තේ එකම සිහිනයකි. නමුත් කිසිවිටකත් එහි නිමාවක් නැති වීම සන්තියාගෝ ගේ සිතෙහි කනස්සල්ලට හේතුවකි. සිහිනය කෙසේ වුවත් සන්තියාගෝ අවදි විය යුතුයි. ජීවිතය ඉදිරියට ගෙන ගිය යුතු ය. ජීවිතයෙහි විවිධ අවස්ථාවන්හි දී අපට විවිධාකාර පුද්ගලයන් හමුවෙයි. ආදරය යන විශ්වීය හැඟීම විටින් විට අප කරා පැමිණෙයි. මේ වනවිටත් සන්තියාගෝ ගේ සිතෙහි ආදර හැඟුම් මෝදුවී තිබුණි. එඬේරකුගේ සිතෙහි ඇතිවන ආදරය ඔහුව එක් තැනක නතර කරවන්නට සමත් එකකි. 

ඔහුගේ ආදරය වූයේ ඔහු ලොම් විකුණන වෙළෙන්දාගේ දියණියයි. සන්තියාගෝ තරුණයෙකි. තරුණ සිත්වල ආදරය හටගන්නා අයුරු කතුවරයා පෙන්වන්නේ පහත වදන් පෙලිනි.

“එසේම, මින් පෙර කිසිම දිනක අත් නොවින්දා වූ යම් කිසි හැඟීමක් දැන් දැන් දැනෙන්නට පටන් ගෙන ඇති වගත් ඔහු වටහා ගත්තේය. ඒ වනාහී එකම ස්ථානයක නැවතී ජීවිතය සාමකාමීව පවත්වාගෙන යාමේ ආශාවයි. කාල වර්ණ, දිලිසෙන කෙස් කළඹක් හිමි මේ කෙල්ලගේ හමුවෙන් පසුව යළිත් නම් කිසිම දිනකත්, ඔහුගේ ජීවිතය කලින් පැවතියාක් මෙන් නොවනු ඇත්තේය.”

සන්තියාගෝගේ ජීවිතයේ විශාල පරිච්ඡේදයක් මෙලෙසින් ඇරඹීමට් තිබුණත් සිහිනයේ අරුත නොදැන ඉදිරියට යාම සන්තියාගෝටද අපටද ඇත්තෙන්ම මහත් අඩුවකි. දැන් සන්තියාගෝගේ ජීවිතය ඇත්තේ මංසන්ධියකය. වෙලෙන්දාගේ දියණිය දෙසටද  අනෙක ඔහුගේ සිහිනය දෙසටද හැරවී තිබිණී. මාවත් දෙකම තනි මංතීරුය. ඇතුල් වුවහොත් පිටවීමක් නම් නැත්තේමය. 

කර්තෘතුමා මෙතැනදී අහම්බයෙන් සිදුවෙන දේ ජීවිත වෙනස් කරන අයුරු අරුම පුදුම අයුරින් පෙන්වා දෙයි. ආදරය මදකට පසෙක තබන සන්තියාගෝ සිහිනයේ රහස දැනගන්නට තීරණය කළේය. දැන් මට නැතත් ඔබට නැගෙන ගැටළුව, සිහිනය නම් කුමක්ද? එසේ නිකන්ම කියන්නට නම් පොතින් ඇති ඵලය කිම, සිහිනය ගැන දැන ගන්නට වුවමනා නම් කියවිය යුතුමයි “සන්තියාගෝ නම් සැරිසරන්නා.”

සන්තියාගෝ ගම්මානයේ වෙසෙන අහිගුණ්ඨික මහලු කාන්තාවගේ කූඩාරම දෙසට පියනගන්නේ සිහිනය විසඳා ගන්නටයි. නමුත් බලාපොරොත්තු විරහිත වූ ඔහු නැවත පිටව එන්නේ මැහැළිය සමඟ අරුම පුදුම ගණුදෙණුවකට ගිවිසගෙනයි. සන්තියාගෝගේ බලාපොරොත්තුව නැවත සිත ගත් ළඳ හමුවෙන්නට වුව ද දෛවයට වෙනත් සැළසුම් සහ තෝරාගත් මාවතක් තිබුණි. කඩමණ්ඩියේ දී ඔහුට හමුවන්නේ මහළු මිනිසෙකි. සන්තියාගෝ දැන නොසිටිය ද ඒ මොහොතේ පටන් ඔහුගේ ජීවිතය සැතපුම් දහස් ගණනක් ඈතට ගෙනයන්නට මඟ පෙන්වන්නට සූදානම් ය. මේ මහල්ලා කවුරුන් විය හැකි ද? සන්තියාගෝගේ අනාගතය කෙසේ වේවි ද?

සන්තියාගෝ මෙතැන් පටන් සැතපුම් දහස් ගණන් දුර ඇවිදිනු ඇති. මෝසෙස් දෙවියන්ගේ මගපෙන්වීම ලද්දේ කෙසේද, එසේම සන්තියාගෝද මගපෙන්වීම යටතේ තම දෛවය තම අතින්ම ලියවා ගනියි. පාවුලෝ කොයිලියෝ පැරණි පල්ලියේ සිකමෝර් පඳුර යට සිට නැවත සිකමෝර් පඳුර දක්වා වූ මේ වීර චාරිකාව නැතිනම් ජීවන චාරිකාව පුරාම අපට පෙන්වා දෙන්නේ එයයි. සැතපුම් දහස් ගණනාවක් ඈතින් බලා හිඳින තාරකා වන් වූ ඇස් දෙකක් සන්තියාගෝ වෙනුවෙන් දෙවියන් යදියි. තමන්ගේ සිහිනය වෙනුවෙන් සියල්ල කැප කරන්නන්ට අහිමි වන දේ නැවත වෙනත් ස්වරූප වලින්ම ලැබෙන බව පාවුලෝ පුනපුනා ඉස්මතු කරයි. ජීවිතය පුරා සිහිනයක් සොයා යනෙන යාත්‍රාව කිසිවිටකත් සිහිනයේ යථාවෙන් නොනවතින බව සන්තියාගෝ පළිඟු කැට අතරින් කියා දෙයි. මුලු චාරිකාව පුරාවටම පාවුලෝ දෙවියන් වහන්සේගේ සෙවණැල්ල සෙමින් ඉස්මතු කරන ආකාරය අපූර්වය. ඉඳින් මේ මගේ මතය යි. එය වනාහී ඇත්තක්දැයි බොරුවක්දැයි ගවේෂණය ඔබ සතුය.ඉඳින් මම ඔබට අභියෝග කරමි. කියවන්න, ලියන්න, මා අභිබවන්න.

“ලෝකාත්මය පෝෂණය වන්නේ මිනිසුන්ගේ සතුටින්. ඒවගේම ඔවුන්ගේ අසතුට, වෛරය හා ඊර්ෂ්‍යාව තුළින් ය. මිනිසෙකුගේ නියම සම්මුතිය විය යුත්තේ තම ඉරණම ජය ගැනීමයි. මේ හැම දේම එක් ප්‍රපංචයකි. ඉතින්, ඒ වගේම තමයි ඔයාට යමක් වුවමනා වෙද්දී, ඒක ලබාගන්න ඔයාට උපකාර කරන්න මුළු විශ්වයම කුමන්ත්‍රණය කරනවා.” 

සංඛ විශ්වනාත්
පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යනායතනය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සංඛ විශ්වනාත්

Leave a Comment