Colombo Beacon ආදරය

සඳලතා නගේ ගඟ ගැඹුරුයි – ආදර දියකඳ වියරුයි…

ගීතය සෙසු සාහිත්‍යාංග අතික්‍රමණය කරනු ලබන්නේ මිනිස් භාවයන් හා දොඩමළු වන නිසාවෙනි. භූගෝලීය දේශ සීමා විනිවිද යන එකී සර්ව සාධාරණ මානව හැඟීම් අතර ආදර හැඟුම් වනාහි මිනිස් හැඟීම් අතර අතිශය සෞන්දර්යයතම ප්‍රකාශනය බැව් මම විශ්වාස කරමි. නමුත් එහි ඇතැම් සීමා බන්ධනයන්ට ඔබට ද මට ද නතු වීමට සිදු වන බැව් යළිඳු පැවසීම මේ මොහොතේ ඔබේත් මගේත් සංලාපයට බාධාවක් යැයි සිතමි. එහෙයින් සමනල් වස්සානයේ දොඩමළු වන්නට සුහද සිතින් ඔබට මෙසේ ඇරයුම් ගෙනෙමි.

සමනල් වස්සානයට ජීවිතයේ කවුළු පියන්පත් කෙමෙන් විවර වන හිරිමල් නැගනියක දෙස සෙනෙහසින් බලා සිටින වැඩිමල් සොයුරියකි. ඈ තම යොවුන් නැගණියගේ ආදර හැඟුම් අවදි වන මනසට ගෙන එනු ලබන ආදර්ශමත් සොඳුරු අවවාද කිහිපයකි. මවක් විසින් යෞවන දියණියන්ට හා පියවරු විසින් යෞවන දියණියන්ට දෙනු ලබන ගීතාත්මක අවවාද ගීත කලාවේ අපිට සුලබව හමු වේ. නමුත් ඊටත් වඩා සමීපව නැගණියකට වැඩිමහල් සොහොයුරියක විසින් දෙනු ලබන මේ සොඳුරු ඔවදන් ඕනෑම සහෘද හදවතක් ප්‍රකම්පනය කරවයි.

මෙකී වෙනස් ප්‍රතිභාපූර්ණ ශානරයේ නිමැවුම්කරු ප්‍රවීණ ගී පද රචක ලූෂන් බුලත්සිංහලයන්ය. සොඳුරු ඔවදනින් නැගණිය සිත් කාවදින හඬ පෞරුෂය විශාරද නිරංජලා සරෝජිනී මහත්මිය ගෙන්ය. සහෘද මනසට එක එල්ලේ දැනවෙන මේ ගී තනුවේ ප්‍රතිභාව සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් ගෙනි. අහම්බෙන් මා සවන් වැකී ගිය මේ ගීතය වනාහි පරණ නොවන තුරුණු ව්‍යංගාර්ථවත් පද වැලක එකතුවකි.

“සඳලතා නගේ ගඟ ගැඹුරුයි 
ආදර දිය කඳ වියරුයි 
පීනන්නට බහින්නෙපා 
ස්වර්ණ හංසියේ…”

වැඩිමහල් සොහොයුරිය දකින්නේ කුඩා කල පටන් පවුලේ සුරතලිය වූ නැගණියගේ කෙළිලොල් වෙනස්වීම්ය. නුදුරු අතීතයේ එකී වයස පසු කළ සොහොයුරියකට තම නැගණියගේ වෙනස්කම් හඳුනා ගැනීම එතරම්ම අසීරු නොවනු සහතිකය. ඒ නිසාවෙන්ම ඇය එකහෙළා තමාගේ මාතෘකාවට ප්‍රවිෂ්ට වන්නේ ඉහත අයුරිනි. හිතන තරම්ම ගඟ සොඳුරු නොවන බවත්, එහි ඇදෙන රළ පහර නැගණියට අනතුරුදායක විය හැකි බවත් ව්‍යංගයෙන් පවසන සොයුරිය එහි බැස ‘ගං පහස විඳීම කෙසේ වෙතත් පිහිනන්නට නම් කිසි ලෙසක නොසිතන්න’ යැයි නැගණියට පවසයි. ඒ ස්වර්ණ හංසියේ යන දයාබර නාමය ද ඈට ආරෝපණය කර දෙමිනි. රත්රන් හංසියක තරමටම ඈට නැගණිය වටිනා බවත්, ඇගේ යහපත් දිවි මග තමන්ට සැනසිලිදායක වන බවත් ඉන් අපට අවබෝධය වේ.

මෙම මුල් ගීත ඛණ්ඩය ගැන විට යෙදෙන තනුව සහෘද මනස කිසියම් සුළු කැළඹීමකට පත් කරවන තරම් රිද්මයකින් යෙදෙන්නකි. ඒ තුළ අත්දැකීමට උචිත බව මනාව කැපී පෙනෙන්නේ සහෘදයා ඒ ඔස්සේම ගීතයට යොමු වීමෙනි.

ගීතයේ පළමු අන්තරා කොටසේ දී ගැයෙන තනුව මදක් වෙනස් වී නැවුම් රිද්මයකට ප්‍රවිෂ්ට වේ. ඒ ඔස්සේ ලූෂන් බුලත්සිංහලයන්ගේ පද වැල් ඇදී යන්නේ ව්‍යංගාර්ථය මුසුව වුව ද, රස විඳින්නාට අවබෝධ වන පහසු කාව්‍ය උපක්‍රම ද මුසු කර ගනිමිනි.

“අකුරට යන බොළඳ වියේ 
මෝරන මල් කැකුළ වගේ 
පිනි ගොල්ලේ ඉර හඳ මැද්දේ 
නැණ හිරු රැස් වැටෙන තුරු, 
පෙති ඉහිරී පිපෙන තුරු, 
සඳලතා එපා ආදර බඹරූ…”

අකුරු ඇහිඳින්නට අප පාසල් යන්නේ ජීවිතයේ ගෙවන මුල්ම අවධියේ දී ය. පාසල් කාලය අවසන් වන තෙක් ම පවතින්නේ ළමා හා නව යොවුන් අවධියයි. මෙම කතානායිකාව ඒ අවධි අතර නව යොවුන් විය කුමරියක් බව සොහොයුරියගේ හැඟීම් වලින් ප්‍රකට වේ. කැකුළු මලක් විකසිත වී නියමිත ලෙස සුගන්ධවත් වන්නේ හිරු රැස් ඒ වෙත වැටීමෙන් පසුවයි. කාලය ඒ සියල්ල යහපත්ව විසඳයි. එසේ නම් කැකුළු මලක් සේ පිපෙන තම නැගණියගේ අකුරට යන විය ‘නුවණ නැමති හිරු රැසින් ඔප වැටී විකසිත විය යුතු බව’ සොයුරියගේ අවවාදාත්මක අදහසයි. කැකුළු මල් වෙතට ඇදෙන බඹරුන් නිසා විකසිත වන්නටත් පෙර මලෙන් මල් රොන් ද මල් පැණි ද ගිලිහී මලේ වටිනාකම සිඳී යයි. පිපෙන මලක් බඳු තම නැගණියට තුන් හිතකිනුදු එසේ වීම ප්‍රතික්ෂේප කරන සොයුරිය ඥානවන්ත අත්දැකීමෙන් පෝෂිත බව වැටහෙන්නේ බුද්ධිය නමැති හිරු රැසට ඇදෙන්නට ඈ දෙන අවවාද වලිනි.

නිරංජලා සරෝජනී මහත්මිය ද සොහොයුරියන් අතර හැදී වැඩුණු නැගණියක නිසාවෙන් මෙහි දී ඈට ආරෝපණය වන්නට සිදු වන වැඩිමහල් සොයුරියගේ භූමිකාව තම සැබෑ ජීවිතයේ වැඩිමහල් සොයුරියන් දෙදෙනාගෙන් කවුරුන් හෝ මවා ගනිමින් මනා ලෙස හඬ හැසිරවීමෙන් ඉටු කළ බව කිවමනාය. ගීතයේ දෙවන අන්තරා කොටස අවසන් වන්නේ බුද්ධියේ සූර්යාලෝකයෙන් පිපී විකසිත වන දිවිය උදාවන තුරු  ‘සඳලතා එපා ආදර බඹරු’ ලෙස සෘජුවම විධානාත්මක ව පැවසීමෙනි. එම ගායනා කොටසේ දී තීව්‍ර වන සරෝජිනියගේ ස්වර පරාසය සහෘද හද පත්ලටම ඒ අවවාදාත්මක ගී රාවය ඇතුල් කරවයි.

“යන මඟ ඉඩ තිබේ නගේ
දෑස දෙපස පෙනෙයි නුඹේ 
කුමට ද මේ බැදි වල යන්නේ” 

“නැණ හිරු රැස් වැටෙන තුරු 
පෙති ඉහිරී පිපෙන තුරු 
සඳලතා එපා ආදර බඹරු”

‘මග පැහැදිලි නම් බැදිවල යාම ඵල රහිත ය’ යන කියමන ගීතයට සංයෝග කරගන්නා රචකයාණන් ඉතාම සංවේදීව හා නිරවුල් ආකාරයෙන් අත්දැකීම සහෘද මනසට පොවයි. මේ තුළින් නැගණියගේ නුපුරුදු ක්‍රියාකලාප මනාව වටහා ගන්නා සොයුරිය ඉතාම දයාද්‍රව පවසන්නේ යොවුන් දිවිය සාර්ථක කරගත යුතු ව්‍යංගාර්ථවත් වදන්ය. කවියක තනු තාලයට උපයෝගී කරගත් එළිසමයට ගැලපෙන පරිදි යෙදෙන ගී තනු රිද්මය ඖචිත්‍ය ගුණයෙන් පෝෂිත ය.

පුනරුක්ති සහගතවම සොහොයුරිය තම නැගණියට පවසන්නේ වැඩිවියට පත්ව බුද්ධියෙන් ලොව දිනන තෙක් ප්‍රේමනීය හැඟුම් අනතුරුදායක බවයි. නමුත් කිසිදාක එවන් හැඟීම් වලට ඉඩ නොදෙන්න යැයි කිසි විටෙක නොපවසයි. සීමාවන් තුළ හිඳ නිසි කාලය පැමිණි කල සොඳුරු හැඟීම් තුළ දිවියේ දිනීම් ලබා ගන්නට ඇය ආශිර්වාද කරනු ඇත.

සුපිපි යොවුන’ග සුවඳ මල් මිට සොඳුරු ලෙස සුරක්ෂිත කර ගැන්මට ලබා දෙන සුපහන් ආඥාව සිංහල ගී කලාවට ලබා දුන් මේ ගීත දායාදය යොවුන් පරපුරට මහත් සම්පතක් බව කිව යුතුය.

ඒ සඳහා ගී පන්හිඳෙන් ලූෂන් බුලත්සිංහලයන් ද තීව්‍ර හඬ මාධූර්යයෙන් විශාරද නිරංජලා සරෝජිනීයන්ද ධ්වනිතාර්ථ අදහසට ගැළපෙන සුමධුර තනු රිද්මය සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් ද යන මේ තුන්පත් රෑන අගනා දායකත්වයක් ලබා දී ඇත.

වටිනා අත්දැකීමක් සමාජ සංලාපයට ගෙන ආ මෙම ගීතය තවත් කාලාන්තරයක පරපුරු සමූහයක සමනල් වස්සානයේ සොඳුරු ආඥාවක් බවට පත් වනු ඇත. උක්ත අත්දැකීමට සමීප සම්බන්ධතාවයක් ඇති මාගේ ම කවි පබැඳුමකින්ම සටහන මෙසේ නිමා කරමි.

දිගන්තය අතුරා, වැටෙන මල් වැස්සේ… 
වසන්තය මල් කැකුළු, නැහැවුණා සිත් සේ… 
සුගන්ධය විහිදන්න, පෙර තුහින අස්සේ… 
අනන්තය කැකුළු මල්, මුකුලිතව දුක් සේ…! 

දසන්තය කඳුළු මල් දිලිසේ… 
ඉඩෝරය එන්නටත් පෙර මෙසේ…! 

ලැබුණාට ඉගිලෙන්න පියාපත් අහසේ… 
බොර පාට වැහි වළා පෙරමඟක වැස්සේ… 
ඇඳුනාට දේදුන්න සිත් අඹරෙ රහසේ… 
සැනසෙන්න කල් බලා සත් පැහැය පහසේ…

Image Sources :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිනිති නවෝද්‍යා

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment