විශ්ව විද්‍යාලය

සප්ත ස්වර නූපුරය දෙවන වර ගායනා වූ වගයි… – නාද නූ’ 16

වැහි බීරමක් එක්ක අහස කළු කරගෙන සැරින් සැරේට වැස්ස. උදේ හවස කියලා තේරුමක් බේරුමක් නැතුව ආකාසේ හිටපු ගමන් වතුර ගංගාවක් පොලවට හලනවා. ගෙදර ගිහින් හොදට පොරවාගෙන නිදාගන්න කියල හිතාගෙන හිටපු අයත්, එදා හවස කැම්පස් එකේ රැඳිලා හිටියේ, ගිය අවුරුද්දේ සද්දෙට පටන් ගත්ත ලස්සන වැඩක් , මේ අවුරුද්දෙත් එයාලට දැක ගන්න පුළුවන් වෙන හින්දා. ඒ නාද නූ දෙවන අදියර නැතිනම් නාද නූ’ 16.

පහුගිය 25 වෙනි බදාදා හවස, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ, නව කලා ශ්‍රවනාගාරයේ පුටු එක දෙක පිරෙද්දී, වේදිකාව උඩ දිගහැරෙන්න පටන් ගත්තේ අපි හැමෝගෙම මහන්සියෙන් ලස්සනට ඔප මට්ටම් කරගත්ත දක්ෂකම්. නාද නූ ප්‍රථම වරට එලි දැක්වීමේ ගෞරවය හිමි, එහෙමත් නැත්තම් නාද නූ හි සැබෑ හිමිකරුවන් වෙන, දිනුක, රාජිත, රජිත, සීසර්, නුවනි, අයියලා, අක්කලාගේ ගේ මග පෙන්වීම නැත්නම් මේ වගේ දෙයක් විද්‍යාපීඨ භූමියේ කවදාවත් සිදු නොවෙන්න තිබුනා. එදා හවස පවත්වපු මේ ලස්සන ප්‍රසංගය පිටිපස්සේ, කැම්පස් එකේ වසරවල් 3ක් සහ තවත් බොහෝ පිරිසකගේ මහන්සිය තිබුනා. ඒ අතරේ කාටවත් අමතක නොවෙන ලස්සන රස කතා ගොඩකුත් තිබුනා.

ගොඩක් වෙලාවට lectures කට් කරගෙන රෑ වෙනකල් කැම්පස් එකේ ඉන්න වෙන වෙලාවල් තිබ්බට, ඒ හිටපු කාලේ අපතේ ගියේ නෑ නේද කියලා දැන් මතක් වෙනකොට හිතෙනවා. මේ පාර වැඩේ කරට අරගෙන මූලිකත්වය දීලා කරන්න මහන්සී උනේ අපේ හතර වෙනි වසරේ අයියලා අක්කල ටික. කට්ටියට  තරහා යන්නේ නෑ වගේ හිටියට, හිටපු ගමන ටිකක් තරහ යන්නේ, කට්ටිය හැමෝවම practice වලට එකතු කරගන්න බැරි උනාම. ජීවන්ති අක්කි ගෙන් පටන් ගන්න බැණුම, තත්වේ දරුණු වුනාම යන්නේ මාන් අයියා ගාවට. එත් එහෙම කට්ටියව එකතු කරගෙන වැඩේ නොකළ නම්, නාද නූ මේ වගේ ලස්සනට එලියට එන්නේ නැති බවත් අපි දන්නවා.

මම කැම්පස් එකට ඇවිත් මුලින්ම music practice ගිය දවසේ වගේම, අදටත් voice training කරවන්නේ ජීවන්ති අක්කි. ගිය පාර දිව පටලාගෙන වචන ගලපාගෙන කරපු voice training වලට, මේ පාර තව අලුත් breathing exercise එකක් එකතු වෙලා. “රෙ..ප..ට..ක…ස්..ස්…ස්..ශ්..ශ්..ශ්…ෆ්…ෆ්..ෆ්..”. මෙහෙම එක දිගට දහ වතාවක් විතර කියනවා. “හරියට කරා නම් කට්ටියගේ බඩවල් දැන් රිදෙන්න ඕනි..” අක්කි කියනවා. AC එක කැඩුණු, computer lounge එක ඇතුලේ රස්නේ තැම්බීගෙන මෙහෙම දහ පාරක් කියද්දී, බඩ රිදිලා ඔලුවත් කැරකෙනවා වගේ. Practice වලට දවසින් දවස කැම්පස් එක වටේ යන්න සිද්ද වෙනවා අපිට. දවසක් computer lounge, දවසක්  library lounge තවත් දවසක india වේ.

තවත් දවස් වලට කැම්පස් එකේ practice ඉවර උන ගමන් කට්ටිය දුවන්නේ 120 බස් එකක studio practice යන්න. එතන තමයි ඉස්සෙල්ලම sounds එක්ක අපි පුහුණු වීම් කරන තැන. සින්දු කියන්න කලින් අපේ mic වලට “check.. check…” කියලා කෑගහලා sounds හදලා, mic බෙදා හරින්නේ සහන් අයියා. හැබැයි ඉතින් හැම සිංදුවකටම කලින්, check කරපු mic අපහු check කරන්නම වෙනවා. ෂෙහාන් අයියාගේ lead guitar එක studio එක දෙදරන්න සද්දේ දාද්දි, වාදය වෘන්දය මෙහෙයවන මාන් අයියා, මොන instrument එකකින් උනත් ගහන්න ඕනි පාර්ට් එක කටින් කියල පෙන්නනවා. කියන ගමන ඒක රඟ පාලත් පෙන්නනවා. වෙලාවකට “ත..ත…ත…ත්..ත” වෙලාවකට “ච.. ච..ච..ච්.. ච” . වැඩිය සද්දයක් නැතුව වැඩේ කරලා, අඩු පාඩු ටික හිමීට පෙන්නලා දෙන්නේ පුබ්බා අයියා. “හෙට දවසේ වීරයෝ…”, පුංචි කාලේ ලස්සන මතක ගලපපු ඒ fusion එකේ සංකල්පයත් පුබ්බා අයියාගේම තමයි.”මාරම්බරී..” ටත් අනිත් සින්දු වලටත් තබ්ලාවෙන් ලස්සනට තාල මැව්වේ විබෝධ අයියා. කොච්චර වැඩ තිබුනත් හැමදාම වගේ සින්දු වලට act හදල දෙන්න උපන් හපන් චාමිකර අයියා, වෙන වැඩක් නැතිම උනොත්, ෆොටෝ එකක් හරි ගහන ප්‍රතිභා අක්කා, හැම වෙලේම හිනා වෙලා ඉන්න music crew එකේ උසම සචිනි අක්කි, වැස්සකට වගේ හිටපු ගමන් කඩාගෙන පැනලා සද්දේ දාලා යන වත්සලා අක්කි වගේම research වැඩ, අර වැඩ, මේ වැඩ ගොඩක් අස්සේ, අපට එකතු වුන ඌෂා අක්කි, උවිනි අක්කිත් නාද නූ රස ගන්වන්න එකතු උනා.

ඒ මතක් කරේ අමතක නොකර බැරි අපේ ලොක්කෝ ටික ගැන. නම් වලින් මතක් නොකලත් 3 වන වසරේ අපි සහ 2 වන වසරේ නංගිලා මල්ලිලා හැමෝමත් මේ ටික කාලෙට මුණ ගැහුණු අපූරු පිරිසක් කියලා නම් මතක් කරන්නම ඕනි.

Rotaract සාමාජිකයන්ගේ මහන්සියෙන් ලස්සන වුන නව කළා ශ්‍රවණාගාරයේ බිත්ති පුරාම, මුලින්ම “ආදරයේ උල්පත වූ අම්මා…” ඇදිලා ගියේ අපේ වාද්‍ය වෘන්දය විසින් නාද නූ ආරම්භය සටහන් කරමින්. රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්….” ඒ හැන්දෑවේ පළමු හඬ අවදිකිරීම. සමහර ගීත වල “තුන් සිතම දැහැන් ගත වෙද්දී”, තවත් සමහරු ගැයුවේ ආදරණීය ගීත. ඒ ප්‍රේක්ෂකයන්ගේ විසිල් හඬ මැද්දේ, රන්ගනයකුත් ඉදිරිපත් කරමින්. හරියට “මීදුමෙන් වැසී ..” වගේ. අවුරුදු දෙකක් තිස්සේ යුග ගීතම ගායනා කරලා, දුකෙන් උනත් මේ පාර විරහා ගීත තනියෙන් ගායනා කරන්න උන අයත් මේ අතරේ හිටියා. “නෙක උයන් …“ ආදරයේ සැමරුම්, “සිහිනයට තරම්…” ආදරයේ සොඳුරු උපමාවන් අතරේ සඳ සාක්කි වගේම අවසන් බයිලා ගීත එකතුව වේදිකාවට උද්යෝගයක් එකතු කරා. වේදිකාව උඩදී සමහරු රාම රාජයෝ උනා. තවත් සමහරු මුළු ප්‍රේක්ෂකගාරයම, “අඹ යහළුවෝ, රෝබින්සන් අන්දරය” කොටසක් නෑරම නරඹපු පුංචි කාලෙට අරගෙන ගියා. වේලාවකදී ඉංග්‍රීසි සින්දු වලින් වේදිකාව වෙනස්ම වෙද්දී, තවත් වෙලාවක හැමෝම ආදරය කරන බොලිවුඩ් සිනමාවට මතකය අරගෙන ගියා. ඔය හැමෝම අතරේ, නාද නූ ඔබට ස්තූති වෙන්න, මටත් campus වේදිකාව උඩ පළමු වතාවට තනියෙන් ගීයක් ගයන්න අවස්තාව හම්බුනා.

ඒ හැම දේකටම වැඩියෙන් කේමදාස මාස්ටර් ගේ  “උදුම්බරා හිනැහෙනවා..” එක හඩින් හැමෝම ගයද්දීත්, හැමෝම එකම ජවයෙන් “සිතේ සුසුම් නිවනා ගායනා..” ගයද්දීත්, හිතේ කොනක ඇති උනේ මාත් මේ කණ්ඩායමේ.. පවුලේ, පුංචි සාමාජිකයෙක් නේද කියන සතුට. අපේ විශ්ව විද්‍යාලයේ, අපේම විද්‍යාපීඨයේ ආදී ශිෂ්‍යයෙක් වෙන මිහිඳු ආරියරත්න අයියගේ වාතය විනිවිද යන හඬ වේදිකාව මතින් ඇහෙනකොට වේදිකාවේ එතෙක් වෙලා සින්දු කියපු අපි හැමෝම මොහොතකට නරඹන්නෝ වුනා. අපි  වේදිකාව පිටිපස්සට වෙලා ඒ ස්වරයට අත්වැල් ඇල්ලුවේ, ඒ හඬට අපි හැමෝමත් ආදරය කරන හින්දා. දුම්රියේ යන දහසකුත් මිනිස්සු තමන්ගේ ප්‍රේක්ෂකාගාරය කරගෙන හිටපු බන්දුල මහත්මයාගේ ගීත ඇහෙද්දී, අපේ ප්‍රේක්ෂකාගාරයේ සමහරු, හුස්ම ආපහු පහලට හෙලන්නේ නැතුව වගේ අහගෙන  හිටපු හැටිත් තාම මතකයි.

ගායකයෝ ඇවිත් යන වේදිකාව උඩදි තත්පරයක් වත් නැගිටලා යන්නේ නැතුව එක දිගට මියුරු ස්වර රාව නන්වපු වාද්‍ය වෘන්දයේ අපේ සහෝදරයෝ සහ, එකම සහෝදරියෝ දෙන්නත් නාද නූ හැන්දෑවේ සම්පූර්ණ අයිතිකරුවන් බව මතක් කරන්නම ඕනි. වාද්‍ය වෘන්දයේ කලින් මතක් කරපු ලොක්කොන්ට අමතරව තව බොහෝ පිරිසක් තාල මවන්න වාද්‍ය  භාණ්ඩ එක්ක ඔට්ටු වෙමින් හිටියා. හැමදාම වගේ සින්දු වලට අමුතුම තාල රසයක් ගෙනාවේ, සිතාරය වයපු ලලානි. වැඩි කතාවක් බහක් නැති වුනාට, කියන්න තියෙන දේ අපේ මූනට කියන්නේ, බටනලා වාදනය කරපු දසුන්. අපේ පීඨයේ නොවුනත්, ගිය පාර නාද නූ වලදී ඇති කරගත්ත බැඳීම මේ අවුරුද්දටත් අරගෙන ඇවිත් බටනලා වාදනයෙන් සහය වුනේ සුවිමාලි අක්කි. අවුරුදු ගානකින් play කරලා නෑ කිව්වට, කට්ටියගේ ඇස් උඩ යන තරම් සුපිරියට වැඩේ කරේ අපේ percussion play කරපු නිරංජන්. ඇඟිලි ටික රිදෙනකල් guitar ගහපු වාසුර, ලක්ෂාන්, මල්ලිලාත්, තමන්ගේ මුල්ම function එක වුන භක්ති ගීත කාලේ ඉදලම තබලා වයපු තරින්ද්‍ර මල්ලිත්, keyboard වාදනයෙන් සහය දුන්න යොහාන් මල්ලිත් නාද නූ හි ගොඩක් වටිනා පිරිසක්. Drum set එක ළග ඉදගත්තම පිස්සුවෙන් වගේ වාදනය කරන නවෝද්‍ය මල්ලිත් තව කෙනෙක්. ඒ හැමෝමත් එක්ක, කොච්චර වැඩ තිබුනත් නාද නූ වෙනුවෙන් කාලේ වෙන් කරගෙන ආපු සචිත්ත මල්ලි, ඉපදෙද්දී  piano, violin අතේ අරගෙන අවදෝ කියලා අපිට හිතෙනවා. වේදිකාව උඩ ගැයුණු ගීත වලට අපූරු රූ රටා මවපු නර්තන කණ්ඩායමේ සහෝදරියන් වත්, හැන්දෑව ලස්සනට මෙහෙයවපු, ෂෙනාල්, ඔෂිරා ඔබ දෙපළත් ඒ මතක් කිරීමට එකතු කරගන්න ඕනි.

නාද නූ ඉවර වුන ගමන්, පස්සෙන් පන්නන් ආපු විභාග හින්දා හිතේ තිබුන මතක, අදහස් පිටුවකට එකතු කරන්න ටික කාලයක් ගියා. ඒත් නාද නූ මතකය තාමත් තියෙනවා. අමතක නොවෙන තරමට ඒ මතක හිතේ රැදිලා. මෙවර නාද නූ හැන්දෑව සංවිධානය කරපු rotaract ඔබටත්, “පට්ට, සුපිරි, නියමයි…” අදහස් පල කරපු, නැරඹු ඔබටත්, සාර්ථක අවසානයක් සනිටුහන් කිරීමට උදවු කල ඔබ සැමටත්, විශේෂයෙන් නාද නූ හි සැබෑ හිමිකරුවන්.. ඔබටත් බොහොමයක් ස්තූතියි. ඒ, තවත් එක ප්‍රසංගයක් නොවෙන, රසවින්දනාත්මක වෙනසක කොටස් කරුවන් වීමේ භාග්‍ය අපට උදා කර දීම වෙනුවෙන්.

ඉතින්, තව තෙවන අදියරකින් හමු වෙන තුරු…. නාද නූ’16, ඔබට ආයුබෝවන්!!!

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රන්දිමා රසන්ජලි

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment