ගාලු මුවදොර පුරා විසිරි ඇත්තෙ එකම හිස් ගොඩකි.අවුරුද්දක නිමාවත් සමඟ තවත් වසරක් පිළිගන්නට ඔවුහු බලා සිටින්නෙ නොඉවසිල්ලෙනි.
“අප්පච්චී අර බලන්නකෝ..අප්පච්චි. . .” මපුතු කුමක්දෝ දෙස නෙත් යොමාගෙන මගේ අත අදියි.මම ඒ දෙස බලන්නට බිය වීමි.ඔහු කිසිවක් ඉල්ලුවහොත් එය ලබා දීමට තරම් අප්පච්චි පොසත් නැති බව ඔහු දැනගනු ඇතයි මම බියවීමි.මේ පළමු වර නොවේ..මේ අවසන් වාරයද නොවේ..
“යමෙකු දුප්පත්ව ඉපදීම ඔහුගේ වරද නොවේ..නමුත් දුප්පත්ව මිය යාම ඔහුගේ වරදකි”
මපුතු දුප්පත් වීම ඔහුගේ වරදක් නොවන බව මම දනිමි.නමුත් මැදි වියේ පසු වන මා දුප්පත්ව මිය යනු ඇති..මට මා පිලිබඳවම විටක උපදින්නෙ පිලිකුලකි.මම මටම වෛර කරමි.ගරහමි.”නුඹ මෝඩයෙක්.කිසිවක් කල නොහැකි නිකමෙක්.කාලකන්නියා යන පදයට නුඹ තරම් නිදසුනක් තව නැහැ..”
පුතු මේ ලොව තුල මට ඇති එකම බන්ධනයයි..බන්ධනං ජායතී සෝකෝ….පුතු නොවන්නට මා මේ වන විටත් මරණයේ සුවය අත්විඳින්නට තීරණය කර අවසන්ය..
සිතට දිරිය ගෙන මා පුතු නෙත් යොමා සිටින දෙසට හිස හැරෙව්වෙමි..තාත්තෙ අර බලන්නකො සබන් බෝල..ලස්සනයි නේද??ඒවා අවුවට දිලිසෙනවා.ලස්සනට පාට පාටට..හරි පුදුමයි අප්පච්චි..
ඔහු ඒවා දැන් ඉල්ලතැයි දැන් ඉල්ලතැයි මගේ සිත කියයි..නමුත් ඔහු ඒ දෙස බලා සිටිනවා පමණකි..ඔහුගේ දීප්තියෙන් බබලන නෙත් අස්සෙහි කුමක්දෝ හිස් බවක් ගැබ්ව ඇත.සත්තකින්ම ඔහුට හිස් බව ආගන්තුක නැත.
අප්පච්චී…අප්පච්චි ආස නැද්ද සබන් බෝල උඩ යවන්න?
මම සබන් බෝල වලට වෛර කරන බව ඔහු දනී නම්..නමුත් මා ඒ බව මේ පුංචි සිතට කිව යුතු නැත.මම ගොළු වීමි.මට කොයින්ද නුඹ වෙනුවෙන් පිළිතුරක්..මම පිළිතුරක් නොදී ඔහුව ක්ෂිතිජය වෙත යොමු කලෙමි.
“අර බලන්නකො පුතේ පේනවද අහසයි මුහුදයි එකට එකතු වෙනවා වගේ?”
“”හ්ම්ම්.. ඒ උනාට ඒවා ඇත්තටම එකතු වෙන්නැහැ අප්පච්චි..”
මගෙ දෙතොලට මටත් හොරා සිනහවක් නැගුනි.පුංචි කමට දන්න දේවල්..
“” ආ….ඉතිං පුතා කොහොමද ඒක දන්නෙ?”
“නෑ අපේ ටීච කිව්වෙ,සමහරවිට ටීචට අහසයි මුහුදයි එකතු වෙන තැනක් හොයාගන්න බැරි වෙන්න ඇති නේද අප්පච්චි?”
“පුතා ලොකු වුනාම හොයාගන්නකො ඇත්තටම ඒ දෙක එකට එකතු වෙනවද නැද්ද කියලා.කවුරුවත් කිව්වට විශ්වාස කරන්න යන්න එපා.අපි දැන් යමු නේද?රැ උනාම පුතා කලුවරේ යන්න බයයි නෙ.”
බැරෑරුම් පෙනුමක් මුහුණට නගා ගනිමින් ඔහු මාගේ අත අල්ල ගනියි..
මම අවසන් වතාවට ක්ෂිතිජයට නෙත් යොමා පියවර මැන්නෙමි..පුතු සෙමින් සෙමින් මා සමග ඉදිරියට ඇදෙයි.කතා පෙට්ටිය වැහිලා වගෙයි..
“අප්පච්චි..දන්නවද?මම සබන් බෝල උඩ යවන්න ආස නෑ කියල?”
මම ගැස්සුනෙමි.විදුලියක් සිරුර පුරා දිවගොස් නතර විය.ප්‍රශ්නාර්ථයක් සමගින්ම මම මපුතුගෙ මුව දෙසට හැරුනෙමි.එසේ නම් ඔහු උඩ පැන පැන අත්පොඩි තලමින් ඒ දෙස බලා සිටියේ ඇයි.?මා ඔහුට කලේ වරදක් යැයි මගේ සිත සැලෙයි.ඔහුට ඒ ආසාව නැති වන්නට ඇත්තෙ ඒ සඳහා ඔහුට අවස්ථාවක් නොලැබුන නිසා වෙන්නට ඇති.
“ඒව ලස්සනයි.හැමෝමව පහු කරගෙන ආඩම්බරෙන් උඩට යනව.ඒත් උඩට උඩට උඩ…..ට ගිහින් පිපිරුනාම මුකුත් ඉතුරු නෑ අප්පච්චි.ඒක හිස්…ඇයි අපි ඒ වගෙ ඒවට කැමති වෙන්නෙ ඉතිං?
නිහඬ බව…
නුඹට දෙන්නට මට උත්තර නෑ මගේ පුතේ.උඹ මට වඩා පෝසත්..කලකිරීම,වෛරය කැටි කරගෙන දුක් විඳින මට වඩා නුඹ පෝසත්..!
Leave a Comment