ප්‍රේමය උපදින්නේ කවදා ද? කවුරුන් සමඟ ද? කොතැනක දී ද? මේ ආදී තවමත් නොවිසඳුණු පිළිතුරු සොයන ගැටළු කිහිපයක් ඔබ තුළත් මා තුළත් ඇත. නමුත් ඊට අප සොයා ගන්නා පිළිතුරු එකිනෙකට වෙනස් ය. එසේ නම් ප්‍රේමයට එක් අර්ථකථනයක් කුමකට ද?
“එකකට එකක් සම්බන්ධ, එකක් පස්සේ එකක් ගමන් කරන දෙයට මිනිස්සු කියන්නේ ජීවිතය කියලා. එකකට එකක් සම්බන්ධ නැති මෙන්න මේකයි කියන්න හේතුවක් ද නැති දෙයකට මිනිස්සු කියන්නේ ආදරය කියලා”
මේ ඔබ හමුවේ දිග හැරෙන්නේ ප්‍රේමයේ සංවේදීම ඉසව්වක් ස්පර්ශ කළ සිනමා කෘතියක් ලෙස ඔබ අප වැළඳ ගත් සමනල සංධ්වනිය සිනමා සිත්තමයි.
ජයන්ත චන්ද්‍රසිරි සිනමාවේදියාගේ තිර පිටපත් රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් ද පාලිත ගුණවර්ධන හා රුවන් ජයසිංහගේ නිෂ්පාදනයෙන් 2013 ඔක්තෝබර් 04 වන දින ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කළ සමනල සංධ්වනිය සිනමා සිත්තම ප්‍රේක්ෂක හදවතේ ගැඹුරුම ස්ථානයක් ස්පර්ශ කළ බව නොඅනුමාන ය.
ඇතැම් සිදුවීම් සිදුවන්නේ සිතා ගන්නටවත් නොහැකි ආකාරයෙන් දෛවෝපගතව ය. ඒ වන විට පාසල් යන වයසේ සිසුවෙකු වූ වාදීශ වික්‍රමනායක තම මිතුරන් දෙදෙනා සමඟ ලියුම් බෙදන්නා අතින් කලබලයට විසිරී ගොස් තිබුණු ලිපි කීපය කියවන්නට පටන් ගත්තේ පෙර දිනවල දී සිදු කරන ආකාරයටම ය. සංසාරගත බැඳීම් අලුත් වීමට එක් නිමේෂයක් වුව ද ප්‍රමාණවත් බව පසක් කරමින් පුණ්‍යා දිසානායක විසින් ලියන ලද ලිපිය හිමි වන්නේ වාදීශ වික්‍රමනායකගේ අතට ය. ප්‍රේමය උපදින්නේ කොතැනින් ද යනුවෙන් කවුරුන් හෝ විමසන්නේ නම් ඊට කෙටි අත් අකුරු පේලියක් වුව ද ප්‍රමාණවත් වන බව වාදීශ වික්‍රමනායකගේ චරිතය තුළින් එහි දී ඔප්පු කර පෙන්වයි.
පුණ්‍යා දිසානායකගේ ලෙන්ගතු ආමන්ත්‍රණය වාදීශ වික්‍රමනායක වෙනුවෙන් නොවූවත් වාදීශගේ හදවත මොහොතකට නතර වී යන්නේ පුණ්‍යා යනු කවුරුන් ද? ඇය කිනම් වයසක තැනැත්තියක් ද? යන්න පිළිබඳව කිසිවක් නොදැන ය. සැබැවින්ම එය ඉරණම් සහගත ලිපියකි. පුණ්‍යාට අවශ්‍ය වී තිබුණේ තමන්ගෙන් ආදරය ඉල්ලූ රේවත දිසානායකට අවසාන මොහොතේ හෝ තම ආදරය ප්‍රකාශ කිරීම යි. ඇය මෙතරම් කාලයක් එය ප්‍රකාශ නොකර සිටීමට හේතුව ලෙස ලිපියේ දක්වා ඇත්තේ ඇය තමන් තුළම තමාව සොයමින් සිටි බවයි.
කෙසේ වුවත් අවසානයේ මෙම ලිපිය හිමි වූයේ එවකට පාසල් සිසුවෙකු වූ වාදීෂ වික්‍රමනායක අතට යි. ඇතැම් විට මෙම ලිපිය ඔහුගේ මිතුරන් අතරට පත් වූවා නම් මෙවැනි විපර්යාසයක් සිදු නොවනු ඇත. එසේ නම් නිසැක වශයෙන්ම ඔවුන් මෙම ලිපිය ද අනිකුත් ලිපි මෙන් කියවා ඉවත දමනු ඇත.
වාදීශට අවශ්‍ය වන්නේ එම අදාළ ලිපිනයටම නැවත වතාවක් එම ලිපිය තැපැල් කිරීමට ය. ඔහු මිතුරන් දෙදෙනා සමඟ නැවතත් ගොස් සෑම අතකම ලිපියේ කවරය සොයා බැලුවත් ඔහුට එය සොයා ගැනීමට හැකි වන්නේ නැත.
පුණ්‍යා දිසානායක විසින් ලියන ලද ලිපියෙ හි සඳහන් වන්නේ රේවත දිසානායක විසින් ගෙන එන ප්‍රේම ඇරයුම පිළිගැනීමේ පිළිතුරු ලිපියකි. වාදීශගේ හදවත වෙනත් ලෝකයකට ගෙන යාමට සමත් වන්නේ ද එම වදන් ය. එහි පුදුමයට තුඩු දෙන කරුණ වන්නේ කිසි දිනක තම දෑසට දැක නොමැති කාන්තාවක් පිළිබඳව වාදීශගේ සිතේ ඇඳී ඇති චිත්ත රූප සමුදාය යි. එය මනාව පිළිබිඹු වන අවස්ථාව වන්නේ ඔහු පාසලේ සිංහල විෂය පරිච්ඡේදයේ දී තම පොතේ කොණක අඳින සිතුවමෙනි. ඔහු එහි දී අඳින්නේ සාරියක් හැඳ පැළඳ ගත් කාන්තාවකගේ සිතුවමකි.
තමන් කිසි දිනක නොදුටු කාන්තාවක් පිළිබඳව දිගින් දිගටම සිතමින් චිත්ත රූප මැවීමට තරම් ඔහුගේ සිතුවිලි බලවත් වෙමින් ඇති ආකාරය පුදුමාකාර ය. ඇතැම් විට එය කුඩා කාලයේ දී ම තම මව මිය යාම නිසා ඇති වී තිබූ හිස්තැන ඔහු කෙදිනකවත් නොදුටු කාන්තාවක් ඔස්සේ සම්පූර්ණ කර ගැනීමට දරණ උත්සාහයක් විය හැකි ය.
ඔහු එම ලිපියෙහි සඳහන් කර ඇති පරිදි මාර්තු 07 වන දින ලිපිය ලබා දීමට කුමාරි උද්‍යානයට යාමට තීරණය කරන්නේ සිතේ දෝලනය වන විවිධාකාර වූ සිතුවිලි දහසක් මධ්‍යයේ ය. චිත්‍රපටය පුරාවටම ඔහුගේ හැසිරීම් රටාව තුළින් එය මනාව පිළිබිඹු වේ. ඔහු විසින් කුමාරි උද්‍යානයේ දී ප්‍රථම වතාවට ලිපිය ලබා දෙන්නේ වැරදි කාන්තාවකට ය.
නමුත් අවසානයේ ඔහු කෝපයට පත්ව ලිපිය ගුලි කර විසි කර දැමූ අවස්ථාවේ දී සිදු වන්නේ නොසිතූ සිද්ධියකි. එය කැමරා කාචයට හසු කර ගෙන ඇති ආකාරය ප්‍රේක්ෂකයාගේ කුතුහලය ඉහළම මට්ටමකට ගෙන යාමට සමත් වී ඇත. එනම් විසි කර දැමූ කොළ ගුලිය වෙත එසවුණු කාන්තා පාදයක් එය පාගා නොදමා එය මගහැර ඉවතට ඇදී යන දර්ශනයකි. ඒ වෙනත් කවුරුන් හෝ නොව, වාදීෂ බලාපොරොත්තුවෙන් සිටි පුණ්‍යා දිසානායක යි.
පුදුමයට හේතු වන කරුණ වන්නේ පෙර දිනයක පාසලේ දී ඔහු ඇඳි සිතුවමට සමාන රුවක් ම ඇය වෙතින් පිළිබිඹු වීම යි. දෛවයේ මුණගැසීම් මෙන් ම හමුවීම් මෙතරම් පුදුමාකාර විය හැකි දැයි ඇතැම් විට සිතා ගැනීමට පවා අපහසු ය. ඇය විසින් පාගා දමන්නේ නොමැතිව ඉවතට පාද එසවූයේ තමා විසින් ම තම ආදරණීය රේවත දිසානායකට ලියු ලිපිය බව ඇය සිහිනයකින්වත් සිතන්නේ නැත.
එම අවස්ථාවේ දී ඔහුට එම ලිපිය ඇයට ලබා දීමට නොහැකි වන අතර එවැනි අවස්ථා කිහිපයක දී ම ඇයට එම ලිපිය ලබා දීමට තැත් කළත්, එම සෑම අවස්ථාවක දී ම ඊට අවස්ථාවක් නොලැබී ගියේ දෛවෝපගත ලෙස ය.
එක් අවස්ථාවක දී ඇයගේ නවාතැනට ගොස් එම ලිපිය ලබා දීමට තැත් කිරීමේ දී සොරෙකු ලෙස ඔහුව අල්ලා ගත් විට ඔහු අනෙක් කාන්තාවන් තමාට පහර දීමට වට වී සිටින අවස්ථාවේ දී තමා දෙස කාරුණිකව බලා සිටි පුණ්‍යා දිසානායක දෙස හෙළන බැල්ම තුළ ලිපිය ලබා දීමට තිබූ අවශ්‍යතාවයට එහා ගිය ගුප්ත හැඟීමක් ඔහු තුළ මුසු වී ඇති බව ඉතා පැහැදිලි ය.
ඉතා දක්ෂ ලෙස වයලින් වාදනය කරන වාදීශට ප්‍රිය කරන සිසුවියක් ඔහුගේ පාසල තුළ ම සිටින නමුත් ඔහුගේ හැඟීම් දිව ගියේ ඔහුට වඩා වසර ගණනාවක් වැඩිමහල් පුණ්‍යා දිසානායක වෙත යි. මේ කිසිවක් නොදත් පුණ්‍යා දිසානායක ආදරයෙන් බැඳී සිටියේ රේවත දිසානායක සමඟ යි. ඒ අනුව මෙම අප්‍රකාශිත සිතුවිලි හා ඝට්ටනය වන ආදර කතාවේ මධ්‍යයේ සිටියේ වාදීශ යි.
කතාව පුරාවටම වාදීශ විසින් පුණ්‍යාව ලුහුබඳින්නේ දෙපයින් පමණක් නොව ඔහු ඇයව තම සිත අභ්‍යන්තරයෙන් ම ලුහුබඳිමින් සිටියේ ය. පුණ්‍යා දිසානායකගේ නවාතැනින් ඔහුව සොරෙකු ලෙස අල්ලා ගැනීමෙන් පසු නැවත නිවසට පැමිණි වාදීශට කෙළින් සිටීමටවත් නොහැකි ලෙස උණ වැළඳී වෙව්ලීමට පටන් ගන්නේ රෑ මැදියමේ එළිමහනේ සිට පැමිණි නිසා ම නොව, ඔහුගේ සිත තුළ මැවි මැවී දර්ශනය වූ පුණ්‍යා දිසානායකගේ බැල්මේ කාන්තිය ඔහුගේ මුළු සිතම වෙලාගෙන තිබූ බැවිනි. එම දර්ශනය තුළින් ඔහුගේ සිත තුළ සිදුවන පෙරළිය මනාව වටහා ගත හැකි ය.
ආදරය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? මෙවැනි පැනයක් ඇසුවහොත් ඔබත් මමත් දීමට කැමතිම පිළිතුර වන්නේ නැවත ඔහුගෙන් හෝ ඇයගෙන් ආදරයක් බලාපොරොත්තු වීමයි යන්න යි. එසේ නම් වාදීශත් බලාපොරොත්තු වූයේ එයම ද? පාසලේ තමාට ප්‍රිය කරන මිතුරියක් සිටිය දී ත් අහසත් පොළොවත් ලෙස වෙනස් වූ වැඩිමහල් කාන්තාවක් තුළින් ඔහු බලාපොරොත්තු වූයේ අතිනත පටලා ගෙන පෙම්බස් දොඩන ආදරයක් ද? සැබැවින්ම ඔහුගේ සිත තුළ ඇය වෙත තිබූ ඒ ආකර්ෂණය එවැනි ආදරයක්ම ද? මෙවැනි ප්‍රශ්න ගණනාවක් මතුවන බව නම් නොඅනුමාන ය.
කුමාරි උද්‍යානයේ දී පිරිමින් දෙදෙනෙකු පුණ්‍යා දිසානායක අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු කළ අවස්ථාවේ දී වාදීශ ඔවුන්ට බෝතලයකින් පහර දී දිව යන අවස්ථාව වෙත අවධානය යොමු කිරීමේ දී ඔහුට ඇය පිළිබඳව ඇති පැහැදිලි කළ නොහැකි හැඟීම් සමුදාය මනාව තේරුම් ගත හැකි ය. අවසානයේ දී ඔහු එම ලිපිය දිය පාරකට විසි කරන්නේ එම කතාව මෙතෙකින් නිමාවට පත් කරමි යැයි අධිෂ්ඨානයෙන් විය යුතු ය. නමුත් දෛවය යනු, මහ පුදුමාකාර දෙයකි. දිය පහරට දැමූවත් නොතෙමී ගල් තලාවක් මත පතිත වන එම ලිපිය නැවත වාදීශගේ අතට පත් වන්නේ මෙම කතාව මෙතෙකින් අවසන් නොවන බව වාදීශට ඒත්තු ගැන්වීමට මෙන් ය.
කෙසේ වෙතත් අවසානයේ දී වාදීශගේ සහෝදරයා විසින් එම ලිපිය ලබා ගන්නේ මෙම තත්වය පාලනය කළ නොහැකි නිසාම ය. සැබැවින්ම වාදීෂ තුළ ලිපිය හමු වූ මුල් අවස්ථාවේ පැවතුනේ තමන් පිළිබඳව වූ වරදකාරී හැඟීමකි. ඒ පුණ්‍යා දිසානායකට තම ආදරය රේවත දිසානායක ඉදිරියේ ප්‍රකාශ කිරීමට තිබූ අවස්ථාව බිඳ දැමුවේ තමාය යන හැඟීම තුළිනි. එම ලිපියේ වදන් වාදීශගේ හදවතේ පතුලටම කිඳා බැස තිබුණේ පැහැදිලි කළ නොහැකි හැඟුම් සමුදායක් සමඟ ය. ඒ ඔස්සේ ඔහු විසින් ඇයව ලුහුබැඳීම අරඹන්නේ සසරේ කෙදිනක හෝ හමු වූ පුරුද්දට මෙන් ය.
එතැන් පටන් වසර විස්සකට පසු බොහෝ දේ වෙනස් වී තිබුණත් අප්‍රකාශිත ප්‍රේමයක ශේෂයන් වාදීශගේ හදවත පතුලේ තැන්පත්ව තිබුණේ ඔහු විවාහකයෙක් බව ද ඇතැම් විට අමතක කරමිනි. රටක් හඳුනන සංගීතඥයෙක් වූ ඔහු අතින් තම බිරිඳටත් දියණියටත් වෙනස්කම් සිදු වූයේ එම අතීත මතකයන් වල ප්‍රතිඵලයක් වශයෙනි.
“දවසක, මං ආදරෙත් ආදරේ මාවත් මරාගෙන මැරුණා අයියේ…”
වාදීශගේ සහෝදරයා ඔහුගෙන් මේ පිළිබඳව විමසන විට ඔහුට දීමට තිබූ පිළිතුරු වූයේ එය යි. ආදරය ඇත්තේ විඳීමට මිස විඳවීමට නොවේ. මෙය අප කවුරුත් පිළිගැනීමට කැමැති සත්‍යයකි. එසේනම් ආදරයකට මිනිසෙකු පණ පිටින් ම වළ දැමිය හැකි ද? වාදීශට සිදු වී ඇත්තේ ද එයම ය. ඔහු පියවි ලෝකයේ ජීවත් වුවත් ඇතුළාන්තයෙන් මිය ගිය පුද්ගලයකු ලෙස තම ජීවිතය ගත කරමින් සිටියේ ය. සැබැවින්ම පිටතට සිනහා මුහුණ පෙන්වමින් ඇතුළාන්තයෙන් ගිනිදැල් සමඟ ජීවත් වීමට සිදු වීම කෙතරම් වේදනාකාරී දැයි හඳුනන්නේ එම සිද්ධියට මුහුණ දුන් අයෙකුම පමණි. කුඩා කල පටන් තම සිත තුළ නොනැසී පැවති අප්‍රකාශිත ප්‍රේමයේ රිදුම් ප්‍රකාශ කිරීමට වෙනයම් ක්‍රමයක් නොමැති නිසා වාදීශ මත්පැන් තම මිතුරා කරගෙන සිටින ආකාරය තුළින් ඔහුගේ සිත තුළ පවතින පීඩනය මනාව හඳුනාගත හැකි ය.
සැබැවින්ම කුඩා කල සිට ම අනෙක් දරුවන් හා බලන විට නිහඬ චරිතයක් වූ වාදීශ එවැනි දරුණු තත්වයකට පත් වූයේ වසර විස්සකට පෙර හදවත පසාරු කරගෙන ගිය විරල වූ ප්‍රේමයක මතකයන් නිසා ය. වාදීශගේ උපන් දින සැමරුමේ දී ඔහුගේ සොහොයුරා විසින් එම පැරණි ලිපිය නැවතත් ඔහු අතට පත් කළ විට ලිපියේ සඳහන් පරිදි ම මාර්තු 7 වන දින තම මතකයන් අලුත් කර ගැනීමට මෙන් වාදීශ කුමාරි උද්‍යානයට යන්නේ ඇයව දැක ගැනීමේ කිසිදු බලාපොරොත්තුවකින් තොරව ය. අපගේ ජීවිතයේ සිදුවන සමහර සිදුවීම් සිදු වන්නේ පෙර දැනුම් දීම් වලින් තොරව අනපේක්ෂිත ලෙස ය. එම දිනයේ ද පුණ්‍යා දිසානායක වසර විස්සකට පෙර සිටි ආකාරයෙන් ම උද්‍යානයේ බංකුවක අසුන්ගෙන සිටින දසුන වාදීශගේ මෙන් ම සිනමා පටය නරඹන්නන්ගේ ද නෙත් තෙත් කිරීමට සමත් වන්නේ ය. ඇය බලා සිටින්නේ තම ආදරණීය රේවත දිසානායක වෙනුවෙන් ය. නමුත් වාදීශ බලා සිටින්නේ තම අප්‍රකාශිත ප්‍රේමය වෙනුවෙන් ය.
පුණ්‍යා දිසානායකට ලිපිය ලබා දීමට වාදීශට නොහැකි වුව ත් ඇයට රේවත දිසානායකව අහම්බයෙන් හෝ මුණ ගැසී තිබුණු නිසා වාදීශගේ සිත තුළ තිබූ වරදකාරී හැඟීම මදකින් හෝ සංසිඳුනත් සිත තුළ උපන් කුළුඳුල් ප්‍රේමයේ සලකුණු මැකී ගොස් තිබුනේ නැත. මේ වනවිට වාදීශ තම ජීවිතයේ මැදි වයසේ ත් පුණ්‍යා දිසානායක තම දිවියේ සැඳෑ සමයත් ගත කරමින් සිටින අතර ඇය තවමත් වාදීශගේ හැඟීම් වටහා ගෙන තිබුණේ නැත.
අවසානයේ දී කොළඹ පැවැත්වෙන වාදීශගේ සංගීත ප්‍රසංගයට පුණ්‍යාට ද ඇරයුම් ලැබෙන අතර වාදීශට තම ගීතය අවසන් වන තුරු ගායනා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත. ගීතයේ වචනත් සමඟ ඔහු ඔහුගේ ම ලෝකයක අතරමං වී සිටින බවක් දැකගත හැකි ය.
“ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේ ම ආදරයක් තිබුණා…”
“වේදනාවේ ගැඹුරුම පත්ලට ගිය විට ඉමක් කොනක් පෙනෙන්නේ නැත. ඉකි ගසමින් හැඬූ අතීතයේ ජීවත් වූයේ කඳුළුත් සමඟ පමණක් ම ය. ඒ කඳුළු අතරේ ම මට හිමි නොවුණත් මගේ හදවතට ම අයිති වුණු ආදරයක් තිබුණි.”
එය ඉතා අපූරු හා සංවේදී වූ කියමනකි.
කෙනෙකු සම්බන්ධයෙන් අයිතිවාසිකම් කීමට කාට වුව ත් හැකි ය. නමුත් හදවතින්ම අල්ලාගෙන සිටින්නේ සුළු පිරිසක් පමණි. එසේ නම් මට අයිති නොවුණත් මගේ හදවතට අයිති ඔබ මගේ බව සිතීමේ වරදක් නැති බව වාදීශ එහි දී ගීතමය ආකාරයෙන් ප්‍රකාශ කර සිටියි.
ගීතය අතරමග නතර කිරීම සම්බන්ධයෙන් පුණ්‍යා විසින් වාදීශගෙන් විමසන අවස්ථාවේ ඔහු ඊට පිළිතුරක් නොදුන්නත් ඔහු පවසන්නේ තමාව නැවතත් තමා ළඟට ගැනීමට අවශ්‍ය බව යි. ඔහුට එහි දී අවශ්‍ය වී තිබුණේ මෙම කතාව මෙතෙකින් නිමාවට පත් කිරීමට යි. ඔහු එහි දී ඇයට ඇයගේ ලිපිය භාර දෙනු ලබන්නේ වසර විස්සකට පසුව ය. ඔහු නැවතත් තමා තුළින් තමාව සොයන්නට තීරණය කරන්නේ ද විසි වසරකට පසුව ය. ඔහු ඇයගෙන් ඉල්ලා සිටින්නේ ඇය ළඟ තිබූ ඔහුගේ හදවත යි. පුදුමයට කරුණ නම් ඔහුගේ සිත ඇය ළඟ තිබූ බව ඇයත් දැනගනු ලබන්නේ එම අවස්ථාවේ වීම යි.
“රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා…”
මෙම චිත්‍රපටයේ චරිතයන්ට පණ පොවන රංගන ශිල්පීන් හා රංගන ශිල්පිනියන්ගේ රංගන කුසලතාවය පිළිබඳව ද මෙහි දී කතා නොකරම බැරි ය. එහි දී ප්‍රධාන චරිතයන් කිහිපය දෙස අවධානය යොමු කිරීමේ දී වාදීශ වික්‍රමනායකගේ කුඩා කාලයේ චරිතය නිරූපණය කරන්නේ සූර්යයා දයාරුවන් ය. වාදීශගේ මැදි වයස් කාල සීමාව රඟ දක්වන්නේ උද්දික ප්‍රේමරත්න යි. එම චරිතයේ ප්‍රබලත්වය ඉහළ නැංවීමට සූර්යයා දයාරුවන් සහ උද්දික ප්‍රේමරත්න යන රංගන ශිල්පීන් ගෙන ඇති උත්සාහය අති විශිෂ්ට ය. ඒ වගේම පුණ්‍යා දිසානායකගේ චරිතය නිරූපණය කරන්නේ යශෝධා විමලධර්ම යි. ඇයගේ සංයමයෙන් යුතු ප්‍රබල රංගනය කාල සීමාවන් දෙකක දී රඟ දක්වන ආකාරය ඉතා අනර්ඝ ය. ඊට අමතරව රොජර් සෙනෙවිරත්න, චතුරිකා පීරිස් ,පුබුදු චතුරංග, විල්සන් ගුණරත්න, බුද්ධදාස විතානාරච්චි, රෙබෙකා නිර්මලී, දමිතා අබේරත්න හා දිමුතු චින්තක ආදී රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගෙන් මෙම සිනමා සිතුවම වඩාත් වර්ණවත් වී ඇත.
ප්‍රේමයට සීමාවක්, මායිමක් හෝ වයසක් නැත. එසේම ප්‍රේමයට ඔබ සැනසීමටත් වැනසීමටත් ගත වන්නේ ස්වල්ප මොහොතකි. වාදීශගේ චරිතය තුළින් කියවන කතාව එය යි. ඇතැම් විට ඔබත් එවැනි වාදීශ කෙනෙකු විය හැකි ය. එසේත් නැතිනම් ඔබත් පුණ්‍යා දිසානායක වැනි චරිතයක් විය හැකි ය. ඒ කෙසේ වුව ත් අදත් හෙටත් මතුවටත් ප්‍රේමය හැම හදවතක් තුළ ම ඉපදෙනු ඇත. නමුත් එහි සීමා මායිම් කිසිවක් නොතිබෙනු ඇත.
Design by : Pathum Lakshan
Images :
Leave a Comment