සාමාන්‍ය

සයිකො

“ආදරෙත් හරියට මත් කුඩක් වගේ. අපිව ඇබ්බැහි කරගන්නවා. පස්සෙ ටික ටික මරනවා. දන්නවද අදිති, ආදරේ තමයි මිනීමැරුමකට හොඳම ආයුධය”

“භවාන්”

මං ඇහුවෙ පුදුමෙන්. භවාන්ගෙන් ඒ වගේ ආවේගාත්මක හඬක් කවමදාවත් මට ඇහිල තිබුණෙ නෑ. මං හිටියෙ ඈත කොහේදෝ ඇස් තියාගෙන ඉන්න ඔහු දිහාම බලාගෙන.

භවාන් ආයෙම මා දිහාවට හැරුණා. ඒ මායාකාර ඇස් වලින් මගේ ඇස් අල්ලගෙන මං ආසම මාව වශී කරවන තරම් ලස්සන හිනාව පෑවා.

“මං ආදරෙයි.”

ඒ ඇති මට. මං මොනවත්ම ඇහුවෙ නෑ. මොකද මං හිටියෙ මෝහනයක. ආදරණීය මෝහනයක. පැයක් දෙකක් නෑ. ඊටත් වැඩි වෙලාවකට පස්සෙ භවාන් බංකුවෙන් නැගිට්ටෙ ආපසු යන්න. මං ඒ අතක් අල්ලගත්තා හරි තදට.

“භවාන් ඔය යනවද?”

“යනවා. ඒත් ආයෙම එනවා. මතක තියාගන්න මං ඔයාට ආදරෙයි.”

“මං දන්නවා.”

මං කිව්වෙ ඒ අතැඟිලි වලට යන්නට ඉඩහසර දෙමින්.

භවාන් කවුද? අදිති කවුද? අදිති, ඔව් ඒ මම. ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක බාල දියණිය. නිහඬ සාමකාමී චරිතයක්. අම්මා තාත්තා නැති වුණු කාලෙ ඉඳන්ම මං හැදුණෙ වැඩුණෙ අයියා එක්ක. තුන් වැනියෙක් විදියට අයියගෙ බිරිඳත් අපේ පවුලට එකතු වුණේ මෑතකදි. අයිය වගේම එයාගෙ බිරිඳ අම්මගෙන් තාත්තගෙන් දායාද වුණු ව්‍යාපාර දියුණු කරද්දි මං පාට එක්ක දොඩමළු වුණා. ඒක මගේ පිස්සුවක්. එතකොට භවාන්, භවාන් කියන්නෙ දැන් අවුරුදු දෙකක් තිස්සෙ මගේ හිතට වද දෙන ආදරණීය වදකාරයා. එයාව මුණ ගැහුණේ මං සිතුවමකට සමවැදිලා ඉන්න අතරවාරයෙ. මං හිටියෙ ගෙදර වත්තෙ තිබුණ හුදෙකලා බංකුවක.

“හරිම ලස්සනයි.”

මං තිගැස්සුණා ඒ හඬට. මුහුණ ඔසවලා බලද්දි, මං ළඟ හිටියෙ අවුරුදු විසි පහක විතර පෙනුම තියන කඩවසම් දේහධාරියෙක්. හතර අතින්ම තාප්ප වට කරපු අපේ මිදුලට සාමාන්‍යයෙන් අමුත්තො එනවා අඩුයි. ඊටත් ගෙදර කවුරුත්ම නැතිවෙලාවට. ඇරත් සිකුරුටි එකෙන් අපිට දන්වා මිස කවුරුත් ඇතුළට ගන්නෙත් නැහැ.මං ඔහු දිහා බැලුවෙ විචිකිච්ඡාවෙන්.

“ගේට්ටුව වහල නෙමෙයි තිබ්බෙ. ඔයා චිත්‍ර අඳිනව මං දැක්කා. කතා කරන්න හිතුණා. ආවා. මං වැරදී ද?”

ඔහු ඇහුවෙ මගේ ඇස්වලට එබිලා. වැරදි දෙයක් තමයි ඔහු කළේ. ඒත් අදහන්න, මං ඒ බැල්මට මෝහනය වෙලයි හිටියෙ. මට ඔහුට විරුද්ධව කතා කරන්න හයියක් තිබුණෙ නෑ. මොකද, මගේ හිත කෑගැහුවෙ ඔහු එක්ක දොඩමළු වෙන්න කියල විතරමයි. ඉතිං, එහෙම හඳුනගත්තු අපි යාළුවො වුණා. තවත් කල් යද්දි, අපි අවාචික ප්‍රේමවන්තයො වුණා. කොහොම වුණත් ඒ බැඳීම පිට කාටවත්ම නොදැනෙන්න තරමටම අපි පරිස්සම් වුණා.

මහ රෑ මං අවදි වුණේ ජනේලෙ ළඟින් ඇහුණු සද්දෙට. ඇවිත් හිටියෙ භවාන්.

“ඒ පාර ගෑණු ළමයින්ගෙ කාමර වලටත් එන්න ගත්තද?”

මං ඇහුවෙ නෝක්කාඩුවෙන්. ඒත් අංශුවක්වත් තරහකින් නෙමෙයි. එයා කළේ පැය ගාණක් මා දිහා බලා ඉඳපු එක. 

එතකොට මං කළේ… මහ රෑ මැද භවාන්ව සිත්තම් කරපු එක.

එයාගෙ සිතුවම් මහ ගොඩක් මං ඇඳලා තිබුණා. ඒත් මට ඇති වුණේ නැහැ. ඒක උමතුවක් වෙලා තිබුණා. පැය ගාණකට පස්සෙ ආයෙම එයා යන්න ගියා. රෑ පුරාම නිදි වර්ජිතව ඔහුව සිතුවම් කරපු මම, පහළට ගියේ දැනුණ බඩගින්න නිසා උදේ අහාරය ගන්න. 

මගේ අයියගෙ බිරිඳ ඒ කියන්නෙ අක්කා, උදේ ආහාරය සකසන ගමන්. අයියත් ඒ ළඟම හිටියා වාඩි වෙලා. මගෙ ගමන නැවතුණේ ඔවුන්ගෙ කතාබහ ඇහුණම.

“⁣කේතක, නංගිගෙ තත්වෙ දැන් එන්න එන්නම නරකයි. මට බයයි.”

“ඇයි වාසනා ඔයා ⁣එහෙම කියන්නෙ. එයා ආයෙම මොකක්හරි…”

“අහන්නකෝ කේතක, ඊයෙ එයා ග්‍රවුන්ඩ් එකේ චිත්‍ර අඳින අතරෙ මං ගියා එයාගෙ කාමරේට අස් කරලා දාන්නවත් කියල. ඔයා දන්නවද, කාමරේ පුරාම චිත්‍ර .හැම චිත්‍රෙකම හිටියෙ එකම වගේ මනුස්සයෙක්.  

ඔයා තේරුම්ගන්න කේතක. දැන් එයාගෙ තත්වෙ එන්න එන්න නරකයි. එයාව ඩොක්ට කෙනෙක්ට පෙන්නමු. ඔයා දන්නවද, ඊයෙ මම බලද්දි අර බෙන්ච් එකට වෙලා තනියම කතා කර කර ඉන්නවා.”

“බෙහෙත් කරනව කියල කොච්චර කල් ද, දැන් කීදෙනෙකුට කියල පෙන්නුවද? එයා තවමත් එහෙමමයි. ඔහොම ඉඳපුදෙන්. කාටවත් කරදරයක් නෑනෙ. 

අහිංසකී…”

“අනේ මන්දා”

ඒ එයා⁣ලගෙ හැටි. හැමදාම එහෙමයි. එයාල කියන විදියට මම අනෙක් අයට වඩා වෙනස්. මගේ අයියට මාව එහෙම නොවුණත් අයියගෙ බිරිඳ නිතරම මං දිහා බැලුවෙ එහෙම. එයා ලොකු කාලයක් නැහැනෙ මාව දැනගෙන. ඉතිං අතිශය නිහඬ මං ගැන එහෙම හිතෙන එක සාධාරණයි එක අතකට. එයාලට අනුව හරි. මං ජීවත් වෙන්නෙ මනඃකල්පිත ලෝකෙක. 

භවාන් විතරයි මාව තේරුම් ගන්නෙ. 

භවාන් විතරයි මට ආදරය කරන්නෙ.

ඉතිං එයාගෙයි මගෙයි බැඳීම හැංගිලා තියෙන එකම හොඳයි.

එදා රෑත් භවාන් ආවා. ඉතිං අපි පුරුදු විදියටම දොඩමළු වුණා.

“භවාන්… තව කොච්චර කාලෙකට අපි මෙහෙම හැංගිලා ආදරේ කරනවද?”  මං ඇහුවෙ බැරිම තැන.

“අපි ළඟදිම මේක ඉවරයක් කරමු. හැංගිලා හිටියා ඇති.”

එයා යන්න ගියේ පාන්දර ජාමෙ. ටිකකින් මටත් නිදිමත එන්න ඇති.

උදේ මං යන්තම් සිහියට ආවෙ දොරට තඩිබාන සද්දෙට. දොරින් එපිට ගොඩදෙනෙකුගෙ සද්ද ඇහෙද්දි. ඒත් හුස්ම ගන්න බැරි තරමට දුමාරයක් කාමරේ පුරාම රස්නයක් එක්ක. දෙයියනේ ගින්නක්! තවත් වේලාව ගතවෙද්දි පිරිස මාව මුදවගත්ත  ඒ දුමාරය පිරුණු කාමරයෙන්. මම කෑගහල හෙව්වෙ මගේ අයියව. දෙවියනේ එයා හිටියෙ බා⁣ගෙට ⁣දැවෙන කාමරයක අළු අතර වැතිරිලා. ඒ මුහුණ පුරාම පිළිස්සුම් කැළැල්. ඒ ළඟම අක්කත් හිටියා නිසොල්මනේ වැතිරිලා. එයාගෙ ලස්සන මූණ තිබුණෙ බලන්නවත් බැරිතරම් පිච්චිලා කළු ගැහිලා.

අඬන්නවත් හයියක් නැති මාව එහෙමම ක්ලාන්ත වුණා.

“ඉබේ ඇතිවුණු ගින්නක් වෙන්න බැහැ සර්. මේක ස්වභාවික මරණයක් කියල හිතන්නම බැහැ. ඒත් මිනීමැරුමක් කියල කියන්න තරම් සාක්ෂියක් තවම අපි හොයනවා.”

මට ඒ ටික ඇහුණෙත් හීනෙන් වගේ.

එයාල එකිනෙකාගෙන් ප්‍රශ්න කළා. වත්තෙ වැඩ කරන මිනිහගෙනුත්.

“ගෙදරට අමුත්තෙක්වත් එන්න විදියක් නෑ මහත්තයා. ඊයෙ අපේ හාමිනේට අසනීප නිසා කේතක මහත්තයගෙ ඔෆිස් එකට කෝල් කරල අහලමයි මං යන්න ගියේ අපේ උන්දැට බේත් ටිකක් අරන් දෙන්න කියල. පස්සෙන් පහු කේතක මහත්තයා මට කෝල් කරලම කීවා මහ රෑ මුර කරන්න එන්⁣ටෝනෙ නැතෙයි ගෙදර ඉඳල හෙටම එන්න කියලා.”

වෙව්ලන හඬින් කීවෙ මාටිං. වත්තෙ වැඩටයි, මුරටයි යන එන මනුස්සයා.

අන්තිමේ ඒ කාකි ඇඳුම නැවතුණේ මං ළඟ.

“එතකොට මේ”

“මේ කේතකගෙ නංගි සර්. එයා මෙන්ටලි අප්සෙට් කෙනෙක්. උදේ අපි කාමරේ දොර කඩල එළියට ගන්නකන්ම එයා මොකවත් දන්නෙත් නැහැ. එයාගෙන් ප්‍රශ්න කරාට වැඩක් නැහැ. මොකද, එයා කතා කරන්න දන්නවද කියල පවා මට නම් සැකයි.”

උත්තර බැන්දෙ අයියගෙ හොඳම යාලුවා. ඒත් ඒ කාකි පාට ඇඳුම ඇදපු මනුස්සය හිටියෙ මාව ඒ උකුසු ඇස් වලින් විමර්ශනය කරන ගමන්. මං හිටියෙ අයියගෙ මංගල ඡායාරූපය බදාගෙන. මට මතක් වුණේ භවාන්. ඔව් එයා තමා ඊයෙ රෑ මෙහේ ආවෙ. එත⁣කොට? 

මං හදිසියෙ යමක් මතක් වෙලා දිව්වෙ කාමරේ දිහාවට. ඉතිං මං කාමරේ පුරා බැලුවා. කාමරේ පැත්තක්ම පිච්චිලා. චිත්‍ර ටික සම්පූර්⁣ණයෙන්ම විනාස වෙලා. භවාන් භවාන්ව පිච්චිලා. මං කොහොමද භවාන්ව පෙන්වන්නෙ එයාලට. එයා තමා අවසාන වරට අපේ නිවහනට ආ අමුත්තා. ඉතිං මට ඕන වුණත් සිතුවම් මිස ඡායාරූපයක්වත් මං ළඟ නැහැ. 

ඉතිං නිශ්ඵලයි.

මාස ගණනාවක් විමර්ශන කරලවත් මරණ ගැන කිසිම හෝඩුවාවක් නැති තැන ස්වභාවික මරණයක් කියල ලඝු කරල ඒ වාර්තා අවසන් වුණා. මානසිකව විතැන් වෙච්ච කේත⁣කගෙ නංගි වුණ මට, කේතකගෙ ව්‍යාපාරවල අයිතිය හිමිවුණා. ඒත් ඒ කිසිදෙයක වගකීමක් දරන්න පුළුවන් ද මානසික රෝගියෙක්ට. භවාන්වත් ආයෙ කිසිම දවසක හමු⁣ වුණේ නැහැ.

කතාව ඉවරයි කියලද හිතුවෙ? 

අදිති එහෙම ලේසියෙන් කතාව ඉවර කරන්නෙ නැහැ. ඒක කොහොමටත් ස්වභාවික මරණයක් නෙමෙයි. ගිනිගත්තෙ නැහැ. මම ගිනි තිබ්බා. 

එතකොට එදා රෑ ආපු භවාන්. භවාන් කියල කෙනෙක් නැහැ.

ඒ සේරම අදිතිගෙ ඒ කියන්නෙ මගේ හිතළු. භවාන්ගෙ රුව තිබුණු සිතුවම්? ඒ මං වසර දෙකකට මත්තෙන් අහම්බෙන් දැකපු රුවක්.

හැබැයි ඒ රූපයට මං ආස කරා. ඔව් මට පුළුවන් ක්ෂණික දැක්මකින් වුණත් කෙනෙක්ගෙ  රූපය තිතටම මතක තියා ගන්න. ඉතිං, මගේ හිතේ තිබුණු ලක්ෂණයි, ඇත්තම රූපෙ ලක්ෂණයි එකතු කරල මං කඩවසම් දේහධාරියෙක්ව සිතුවම් කළා. භවාන් කියන්නෙ මම ඒ චිත්‍රෙට දීපු නම. හැබැයි, මගේ මනෝභාවයන් ඇතුලේ භවාන් කියන්නෙත් අනිත් අය වගේම පණ තියන මිනිහෙක්.

මං දන්නවා දැන් ඔයාලට තියන ප්‍රශ්නෙ. 

ඇයි මං මගේ අයියවයි එයාගෙ බිරිඳවයි මැරුවෙ? එහෙම කළේ ආදරේට. පුදුමයි නේද? 

පුදුම වෙන්න එපා. අම්ම තාත්ත නැති වුණු දවසෙ ඉදන්ම මාව බලාගත්තෙ අයියා. මං අනෙක් අයගෙන් වෙනස්. ඒත් මට වෙනසක් නොකර බලාගත්තෙ අයියා. එයා මට නොසෑහෙන්න ආදරෙයි. මට කැව්වෙත් පෙව්වෙත් අයියා. මගේ චිත්‍ර එකින් එක රසවින්දෙ එයා. ඒත් එකපාරටම තුන්වෙනියෙක් ඇවිත් අයියගෙ ආදරෙන් වැඩි හරියක් අයිති කරගත්තා. මට දැ⁣නුණෙ තරහක්. ඒත් මං ⁣කළේ අද ඉවරවෙයි, හෙට ඉවරවෙයි කියල ඉවසපු එක. ටික ටික එයා එයාගෙ බිරිඳට විතරක්ම අවධානෙ දෙන්න ගියා. මං මහ විසාල ගෙදරක තනිවුණ ප්‍රාණියෙක් විතරක් වුණා.

අක්ක කොහොමත් මං දිහා බැලුවෙ අමුතුවට. පිස්සෙක් දිහා බලනවා වගේ. කොහොමත් එයා මගේ අයියගෙ ආදරේ මගෙන් උදුරගත්ත හැතිරියක්. ඉතිං මං එයාට වෛර කරා.

ඇත්තටම එදා උදේ  කතාබහ මට ඔයාලට සම්පූර්⁣ණයෙන්ම කියන්න බැරිවුණා.

“බෙහෙත් කරනව කියල කොච්චර කල්ද,දැන් කීදෙනෙකුට කියල පෙන්නුවද? එයා තවමත් එහෙමමයි. ඔහොම ඉඳපුදෙන්. කාටවත් කරදරයක් නෑනෙ. අහිංසකී…”

“අනේ මන්දා. කේතක කවදහරි අපේ දරුවෙක්වත් හදාගන්නෙ කොහොමද මෙහෙම කෙනෙක් ගෙදර ඉද්දි? එයාව ඩොක්ට කෙනෙක්ට පෙන්නමු. ගෙදර තියාගෙනනෙ සනීප කරන්න බැරි. ඕවට වෙනම මෙන්ටල් හොස්පිටල් තියනවා. ඒකක නවත්තමු.”

මට ඒ වෙලේ දැනුණෙ දුකක්. ඊට වඩා තරහක්. එයාට ඕනෙ මට ඉන්න එකම නෑයාව මගෙන් ඈත් කරන්න. බැහැ ඒක වෙන්න දෙන්න බැහැ. අයිය මාව ඈත් කරන එකක් නැහැ.

“එහෙනම් එහෙම කරමු. මං දන්නව ඔයා හැමදේම හිතල බලලයි දෙයක් තීරණය කරන්නෙ කියල”

අයියගෙ උත්තරේ නිසා මගෙ තරහව පුපුරලා ගියේ ගිනි කන්දක් වගේ. එහෙනම් හැමෝටම ඕන මාව ඈත් කරන්න. ඉතිං අවසානෙ පළි ගැනීම මගේ හිතට ඇතුළු වුණේ එහෙම. 

මහ රෑ මැද්දෙ මගේ ඇඟේ හැංගිලා ඉඳපු යක්ෂ ආත්මය ඇහැරුණා. මට මං කරන දේවත් පැහැදිලි බවක් තිබුණෙ නැහැ. ඒත් මං සාක්ෂියක් හොයාගන්න නැති වෙන්නම කතාව ඉවර කරල තිබුණා. මට ඕන වුණේ නැහැ මගේ එකම ලේ නෑකමට එහෙම යන්න දෙන්න. මට ඕන වුණේ මගේ අයිය එක්කම යන්න. ඉතිං මං බලන් හිටියා මාත් ඒ ගින්නෙන්ම පිච්චෙනකම්. ඒත් එයාල මාව බේරගත්තා. මට ⁣ජීවත්වෙන්න වුණා. ව්‍යාපාර ජාලයක  හිමිකරුවෙක්. හැබැයි, මානසික රෝගියෙක්  විදියට.

ඒත් මට මේවා නෙමෙයි ඕන. මට ඕන වුණේ ආදරේ. එදත්, අදත්.

“ආදරේ තමයි මිනීමැරුමකට හොඳම ආයුධය”

භවාන් කොහේදෝ ඉඳන් ආයෙම මුමුණනව මට ඇහුණා. ඇත්තටම ඒක ඇත්තක්!

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සෙත්මිණි දිලේකා

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment