Colombo Beacon දැනුම

සයුරට දියවුණු ජීවිත

සඳ පහන් රැයක මුහුදු වෙරළත්, රිදී පැහැයෙන් දිදුලන මුහුදු රැළිත් නෙතට අතිශයින් සොඳුරු දසුනකි. එහෙත් ඉන් ඔබ්බෙහි මහ මුහුද සමඟ ඔට්ටුවන ධීවරයන්ගේ ජීවිත සඳ එළිය යට බැබළෙන සයුර තරම් සුන්දර නැත. සඳෙහි සෙවණැල්ලෙන් වැසී ගිය ධීවර ජීවිතයට එබිකම් කරන ‘සඳරැස් වෙරළ’ ගැනයි මේ සටහන.

තායි ජාතික ධීවරයෙකු වන පොන්, ගෙයක් දොරක් නැති හෙයින් මාළු බෝට්ටුවල රැය පහන් කරන්නෙකි. කලකට පසු හමුවන මිතුරන් තිදෙනා සමඟ එක්ව මුහුද අද්දර කුඩා නිවෙසක් සිය නවාතැන කරගන්නා ඔහු එතැන් සිට ගෙවන ජීවිතය මෙම කෘතිය ඔස්සේ දිග හැරෙයි. නිවස ඔබ්බෙන් පිහිටි වෙරළ තීරය ‘සඳරැස් වෙරළ’ බවට පත්වන්නේ මේ මිතුරු කැළෙහි තීරණයක් අනුව ය.

බෝට්ටුවක නැගී රළු මුහුද වෙත යන පොන් සහ මිතුරන් ගේ දිවිය කටුක වූවකි. ඔවුන් වැස්ස සහ සීතලත්, දැල් ඇදීම් ආදිය නිසා ඇතිවන තුවාලවල වේදනාවත් ඉවසා දරා ගනිමින් සති ගණනක් පුරාවට මුහුදු රළ හා සටන් වදින්නේ අවසානයේ දී ඒ වෙහෙස වෙනුවෙන් යහමින් මුදල් ලැබෙන බව දන්නා නිසා ය. නමුත් අතට ආ මුදල් දියව යාමට දින තුන හතරක්වත් ගත නොවේ. වෙරළෙන් මෙපිට වීදියක් වීදියක් පාසා පිහිටුවා ඇති සූදු පොළවල්, තැබෑරුම් සහ රෝස පැහැ විදුලි බුබුළුවලින් ආලෝකවත් වන ගණිකා නිවාසත් සැදී පැහැදී සිටින්නේ ධීවරයන් වෙහෙස මහන්සියෙන් උපයා ගෙන ආ අවසාන කාසිය දක්වා ඩැහැගැනීමට ය. මුදල්, බැංකුවක ඉතිරි කිරීම හෝ විවාහ වීම, නිවසක් තනා ගැනීම සඳහා මුදල් වෙන් කිරීම ගැන එකිනෙකා හා කෙතරම් කතාබහ කළ ද ගොඩබිමට ආ සැණින් සියල්ල අමතක වී යන්නේ මායා බන්ධනයකට හසු වූ ආකාරයෙනි. ප්‍රාණඝාතයේ සිට සුරාමේරය දක්වා පස් පවෙහි දිනෙන් දින ගිලෙන, ඉන් ගොඩ ඒමට මාර්ගයක් සොයාගත නොහැකි ඔවුන්ගේ අවසාන බලාපොරොත්තුව වන්නේ තාවකාලික පැවිද්ද ලබා කරන ලද අකුසල් සමා කරවා ගැනීම ය.

පොන් සහ මිතුරු කැළට හමුවන අනෙකුත් චරිත අතරින් ඔවුන්ගේ කුලී නිවෙස් හිමිකාරිය සහ ඇගේ දියණිය ජෝම්, අසල්වැසි චිම් නැන්දා සහ ඇයගේ පුතුන් වැනි පුද්ගලයන් තායි ධීවර ජීවිතයේ සංකේතයන්‍ ය. අනවසරයෙන් විදෙස් මුහුදුවල මසුන් ඇල්ලීම ආදී ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන අනතුරුවලට හිස පොවන තායි ධීවර ජීවිතයේ අවිනිශ්චිත භාවය ඔවුන් පාඨකයා වෙත ගෙන එන අත්දැකීම්වලින් මනාව පසක් වේ.

මෙහි මුල් කර්තෘ සම්මානනීය තායි ලේඛක ප්‍රචාකොම් ලුනාචායි ද වසර ගණනකට පෙර ධීවරයෙකි. වර්තමානයේ දී තායිලන්තයේ ප්‍රකට ලේඛකයෙකි. දක්ෂ ඡායාරූප ශිල්පියෙකි. ඔහු විසින් සිය ජීවිත අත්දැකීම් මුසු කොට රචනා කළ ‘ෆාං-සන්-චාන්’ කෘතිය ඉංග්‍රීසි බසට පෙරළනු ලදුව ‘The Moonlit Shore’ නම් විය. එය ‘සඳරැස් වෙරළ’ නමින් ලාංකේය පාඨකයන් හට සමීප කිරීමේ ගෞරවය හිමිවන්නේ ප්‍රවීණ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක මහත්මියට ය.

දරිද්‍රතාවයේ පතුලටම ගිලී යන ආසියාකරයේ කුඩා රටවල ධීවර ජීවිතය මනාව පිළිබිඹු කරන ‘සඳරැස් වෙරළ’ වේදනාව, කඳුළ සහ අපේක්ෂා භංගත්වයත්, දරාගැනීම සහ බලාපොරොත්තුවත් එකට කැටි වූ රසපූර්ණ සාහිත්‍ය නිර්මාණයකි. සොඳුරු දිය රැළි ඔබ්බෙන් දිවි ගෙවන පීඩිත ජීවිත වෙනුවෙන් ලියවුණ ද, ඔවුන්ගේ ඇස නොගැටෙනු ඇති උපහාරයකි.

Image Source :

Design by – Pathum Lakshan

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හේෂානි ධර්මපාල

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment