Interview දැනුම

සයුරු තෙර පාරාදීසය

 සුන්දර කළමැටිය

මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන අපගේ රූ ධාරා සංචාරක සටහනේ තවත් එක් අපූරු ගමනාන්තයක රසබර අත්දැකීමක් සනිටුහන් කිරීමටයි මේ සූදානම. අද අපේ පාඨක පිරිස අරන් යන්න හදන්නේ ටිකක් විතර වෙනස් තැනකට වෙනස් අත්දැකීමක් ලබා දෙන්න. විහඟ පාරාදීසක් එක්ක මුසුවුණ සුන්දර වෙරළ තීරයක රාත්‍රියක් ගත කරන්න තියෙනවා නම්, මං හිතන්නේ ඒක වෙනස් විදියෙ අලුත් අත්දැකීමක් වෙයි නේද?

මේ රූ ධාරා අපගේ එකොළොස් වන නැවතුම, “සුන්දර කළමැටිය වෙරළ තීරය…”

අදත් අපි සමඟ එකතු වෙනවා අපේ විශ්ව විද්‍යාලයේම තෙවන වසරේ සහෝදරයන් දෙදෙනෙක් එයාලගෙ අත්දැකීමක් ඔයාලා එක්ක බෙදාගන්න. ධනුක අයියා සහ කවිශ්ක අයියා, ඔබ දෙදෙනාව රූ ධාරා වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නවා.

“අයියේ, අද අපේ ගමනාන්තය බොහෝ දෙනෙක්ට අලුත් තැනක්,  ඒ නිසා ගමන යන්න කලින් අපේ පාඨකයො දැනගන්න කැමති වෙයි මේ තැන ගැන පොඩි අදහසක් ගන්න, අපි කළමැටිය ගැන පොඩි විස්තරයක් කළොත්… කොහෙද මේ කළමැටිය තියන්නෙ?”

ධනුක අයියා“ඔව් නංගී, කළමැටිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන bird sanctuary එකක්. ඒ වගේම මෙතන කළමැටිය beach එකත් තියෙනවා. ඉස්සර නම් මේ අවට ගම්මානයකුත් තිබ්බා. හැබැයි 2004 සුනාමියට මුළු ගම්මානයම විනාස වුණා. දැන් නම් වැඩිය ජනාකීර්ණ නැති isolated area එකක්.”

“හරි එහෙමනම්, අපි අද යන්නෙ කොහෙද කියලා හැමෝටම පොඩි අදහසක් තියෙනවනේ. අයියේ, මුලින්ම අපි කියමු කොහොමද මේ තැන ගැන දැනගත්තෙ සහ කොහොමද ට්‍රිප් එක organize කළේ කියලා.”

ධනුක අයියා“ඇත්තටම මේක තියෙන්නෙ අපේ ගෙවල් කිට්ටුව. ගොඩක් කල් ඉඳන් යන්න හිතාගෙන හිටියට මටත් යන්න chance එකක් හම්බුණේ නෑ. අපි කට්ටිය කලින් beach camping එකක් කරලා තිබ්බෙත් නැති නිසා කට්ටියටම ලොකු වුවමනාවක් තිබ්බා. කොහොමහරි දුමිඳු තමා trip එක organize කළේ. Exam එකට කලින් ඉඳන්ම ප්ලෑන් කර කර ඉඳලා exam ඉවර වෙලා සතියකින් විතර තමා අපි ගියේ.”

“හරියටම කළමැටිය location එක ගැන කිව්වොත්..”

ධනුක අයියා“කොළඹ – කතරගම ප්‍රධාන පාරේ තංගල්ලේ ඉඳන් කිලෝමීටර් 17 ක් විතර හම්බන්තොට පැත්තට වෙන්න තමා තියෙන්නෙ. ප්‍රධාන පාරේ ඉඳන් කිලෝමීටර්  3 ක් වගේ ඇතුළට යන්න ඕනෙ. කිරල කැලයක් මැද්දෙන් තමා  beach එකට යන්න තියෙන්නෙ.”

“අයියේ, කොළඹ ඉඳන්ම ගත්තොත් මේ තැනට එන්න කොච්චර විතර වෙලාවක් යනවද?”

ධනුක අයියා“කොළඹ ඉඳන්ම ගත්තොත්, highway එකේ එනවා නම් පැය 2 1/2ක් වගේ යන්නෙ, normal පාරෙ  එනවා නම් ඉතින් පැය 5ක් 6ක් විතර යනවා. Train එකේ එන්නත් පුලුවන් දැන් කතරගමටම කෝච්චි යන නිසා. එහෙම එනවා නම් පැය 3 1/2ක් 4ක් වගේ තමා යන්නෙ.”

කවිශ්ක අයියා – “Highway එනවා නම් ලේසියි ඉතින්. ඉක්මනට එන්න පුලුවන් නේ.” 

“අයියලත් එක්ක තව කවුද මේ ගමනට සහභාගී උනේ?”

ධනුක අයියා“අපේ සෙට් එකේ 11ක් විතර ගියා නේද?”

කවිශ්ක අයියා“ඔව්, ඔක්කොම අපේ campus එකේ අයම තමා. අපි දෙන්නත් එක්ක එකොළොස් දෙනෙක් ගියා.”

“අයියලා කළමැටියට ගියේ කොහොමද? Bikes වලින්ද එහෙම නැත්තන්…?”

කවිශ්ක අයියා“අපි කට්ටියම මුලින් ධනුකලාගෙ ගෙදරට තමා සෙට් වුණේ. අපේ බදුල්ලෙන් ආපු දෙන්න ආවෙ bike එකේ. අනිත් අය නම් ආවේ බස් එකේ. ගෙදර  ඉඳලා කළමැටියට ගියේ නම් ත්‍රීවීල් වලයි බයික් වලයි.”

“අයියලා beach එකට ආවට පස්සේ? ඒ විස්තරෙත් කියමු අපි…”

ධනුක අයියා“අපි beach එකට එද්දි 6.30 විතර වුණා. අපි හිතුවෙත් නෑ ඇත්තටම එච්චර හවස් වෙයි කියලා. ඕනෙ කරන කෑම ජාති එහෙම ලෑස්ති කරගන්න ටිකක් වෙලාව ගියා. Beach එකට ආවට  පස්සේ අපි ඉක්මනට ටෙන්ට් 2 ගහන්න ගත්තා. ඒ වැඩෙත් හැබැයි එච්චර ලේසි වුණේ නෑ.” 

කවිශ්ක අයියා“ඔව්, වැල්ලෙ නේ… ටෙන්ට් 2 ගහන්න සෑහෙන්න වෙලා ගියා. කොහොමහරි ටෙන්ට් 2 ගහලා අපි ගිනිමැලයක් ගහගත්තා.”

“මුහුදු හුළඟත් එක්ක ගිනිමැලය ගහන එක අමාරු වුණේ නැද්ද?”

ධනුක අයියා“ඔව්… ටිකක් අමාරු වැඩක් වුණා ඇත්තටම. රෑට හුළඟත් වැඩිනේ. පෙට්‍රලුයි භූමිතෙලුයි දාලා තමා පත්තු කරගත්තේ.”

කවිශ්ක අයියා“Charcoal ටික රත් කරගන්නත් වෙලා ගියා. මොකද හුළඟ එක්ක රස්නෙ රැඳිලා තියෙන්නෙ නෑ ගොඩක්. කොහොමහරි පැය 2ක් විතර ගියා BBQ දාන්න.”

“වැඩේ එච්චරම ලේසිත් නෑ වගේ නේද? ඊට පස්සේ අයියලා මොකද කළේ?”

ධනුක අයියා“වැල්ලයි හුළඟයි නිසා තමා පොඩ්ඩක් අමාරු වුණේ. අනික අපි කට්ටියගෙම පළවෙනි beach camping එකනෙ. හැබැයි ඉතින් එවෙලෙට මේක කට්ටක් කියලා දැනෙන් නෑ.”

කවිශ්ක අයියා“අපි රෑට පානුයි පරිප්පුයි කෑවා… ඊට පස්සෙ කට්ටිය එක්ක රෑ 2-3 විතර වෙනකන් සින්දු කිව්වා. මුහුදු හුළඟත් වැදි වැදී මාර ෆන්.

ඊට පස්සේ, දුමිඳුට උදේ sunrise එක capture කරන්න ඕනෙ නිසා කට්ටිය alarm එක තියලා නිදා ගත්තා.”

“සාමාන්‍යයෙන් අපි වෙනදට අත්දකින කඳුකරයේ camping එකකට වඩා ටිකක් විතර වෙනස් ඒ වගේම අලුත් අත්දැකීමක්. මොකද කඳුකරයේ පරිසරයට වඩා අයියලා දැන් ඉන්න පරිසරය හාත්පසින්ම වෙනස්නෙ. කොහොමද මේ වෙනස දැනුණේ?”

ධනුක අයියා“මෙහෙමයි..hike එකක් කරලා කෑම්පින් කළාම ඉතින් මහන්සියත් වැඩියි නෙ. මෙතන එහෙම මහන්සියක් නෑ. අනික නිදා ගන්නත් ලොකු අමාරුවක් නෑ. මොකද වැල්ලෙ නෙ. ටෙන්ට් එකක් නැතුව වුණත් නිදා ගන්න පුලුවන්. මුහුදු හුළඟත් එක්ක මාර සනීපයි. කෑම්ප් ගහලා සුපිරියටම නිදාගත්තෙ එහෙ තමා.”

කවිශ්ක අයියා“අනිත් එක තව දෙයක් තමා කඳු වල වගේ ගින්න පැතිරෙයි කියලා බයක් නෑ. මෙතන ගොඩක්ම තියෙන්නෙ enjoy පැත්ත තමා. රෙස්ට් කරනවට වඩා.”

“කඳුකරයේ කෑම්පින් එකකදි අත්දකින තවත් විශේෂ දෙයක් තමා රාත්‍රී කාලයේ සැලකිය යුතු තරමේ උෂ්ණත්වයේ වෙනස් වීම. මෙහෙත් ඒ වගෙ ලොකු වෙනසක් අත්දකින්න පුලුවන් වුණාද?”

ධනුක අයියා“එහෙම නෑ. මේ dry zone එකනෙ කොහොමත්. හැබැයි දවල්ට තියෙන කාෂ්ටකෙ, ඒ රස්නෙ පොඩ්ඩක්වත් නෑ. රෑට සීතලයි.”

“රෑට මුහුදු රැල්ල ටිකක් සැරයිනෙ. අයියලාට බය හිතුණෙ නැද්ද ඒ ගැන?”

කවිශ්ක අයියා“නෑ නංගි මෙතන එහෙම බය වෙන්න දෙයක් නෑ. safe තැනක්. මොකද රැල්ල තියෙන්නෙ beach එකෙන් ටිකක් ඈත. වෙරළට තියෙන ප්‍රමාණය ගොඩක් වැඩියි.”

“මුහුදුබඩ කලාපයක් නිසා රාත්‍රියේදී මොනාහරි විශේෂ දෙයක් දැකගන්න පුලුවන්ද මේ ප්‍රදේශයේ?”

ධනුක අයියා“මේ බීච් එකේ දිගටම ගියාම උස්සන්ගොඩ light house එක එහෙම පේනවා ඈතට. ඊට අමතරව බීච් එකට ටිකක් එහායින් තියෙනවා කලපුවක්, රෑට මිනිස්සු එකේ ඉස්සො අල්ලනවා. ඕවා තමා ඉතින් රෑට විශේෂයෙන් කියලා දකින්න තියෙන්නේ.“

“මේ ප්‍රදේශය සුනාමියට අහු වුණ නිසා දැන් පාළු, මිනිස්සු නැති ප්‍රදේශයක් කියලා කිව්වනේ. ඒ නිසා යන්න කලින් අයියලාට බයක් එහෙම දැනුණෙ නැද්ද?”

කවිශ්ක අයියා“යද්දිත් බයයි කියලා තමා කිව්වේ.”

ධනුක අයියා“හැබැයි නංගි මෙතන එහෙම කිසිම ගුප්ත ගතියක් මුකුත්ම නෑ. බය වෙන්න දෙයක් නෑ. ටිකක් එහායින් පොඩි harbour එකක් එහෙමත් හදලත් තියෙනවා දැන්. පොඩි බෝට්ටු නවත්තන්න පුලුවන් තැනක් එතන. රෑට බෝට්ටු යන නිසා බයක් නෑ…”

“පාළු වෙරළ තීරයක, මුහුදු හුළඟේ ආස්වාදය ලබමින් යාලුවො එක්ක ගත කළ සුන්දර රාත්‍රියක්.”

“රාත්‍රිය මේ විදියට ගෙවිලා යද්දී කළමැටියට හිරු උදා වුණෙ කොහොමද? අයියලා හිතපු විදියටම sunrise එක capture කරගන්න පුලුවන් වුණාද?”

ධනුක අයියා“ඔව් නංගි, ඒක හරිම ලස්සන වීව් එකක්. ඒ ලස්සන ඇත්තටම දකින්න ඕනෙ.”

“ඊට පස්සෙ අයියලා මොකද කළේ?”

කවිශ්ක අයියා“අපේ එක යාලුවෙක් උදේම ගියා ආපහු. අපි කට්ටිය බ්ච් එකෙ ටිකක් ඇවිදලා photos එහෙම ගත්තා. බීච් එකේ පැත්තක ගලක් තියෙනවා 5-6 දෙනෙකුට නගින්න පුලුවන්. ඒ location එක ලස්සනයි. අපි කට්ටිය ඒකටත් නැගලා photos ගත්තා. ඒ හරියෙ හුළං පාර ටිකක් සැරයි. ප්‍රනීත් ගේ කැප් එකත් ගහගෙන ගිහින් අන්තිමට මෝය කටේ රැඳුණෙ.”

“මේ බීච් එකේ අපිට තව බලන්න යන්න තැන් එහෙම තියෙනවද අයියේ?”

කවිශ්ක අයියා“තව ළිඳක් එහෙම තියෙනවා.”

ධනුක අයියා“ළිඳක් කිව්වට ඇත්තටම ඒක ගලක් උඩ තියෙන සාමාන්‍ය ප්‍රමාණයේ වතුර වලක්. ඒක තියෙන්නෙත් කලපුව ළඟමයි. පොඩි කන්දක් වගේ ගලක් උඩට නැගල බලන්න තියෙන්නේ.
කොහොමහරි අපේ උදේ වරුවම ගත වුණේ බීච් එකෙ ඇවිදින්නයි photos ගහන්නයි තමා.”

“මේ ළිඳත් එක්ක සම්බන්ධ වුණ පොඩි ජනප්‍රවාදයකුත් තියෙනවා.”

“ඒ මොකද්ද අයියේ?”

ධනුක අයියා“මේ අවට මිනිස්සු නම් කියන්නෙ නංගි මේ ළිඳට වැටුණ දෙයක් ආපහු උඩට එන්නේ නෑ කියලා. සමහරවිට ඒක ඇත්තක් වෙන්නත් ඇති.”

“ලංකාව වටේටම මුහුද තිබ්බත් මේ වගෙ beach camping එකක් කරන්න සුදුසු සරිසර තත්වයක් තියෙන වෙරළ කලාපයන් අඩුයිනෙ. ඒ නිසා මම දැනගන්න කැමතියි අයියෙ අනිත් වෙරළ තීරයන් එක්ක සසඳල බලද්දී කළමැටිය වෙරළේ තියෙන විශේෂත්වය කොයි වගේද කියල.”

කවිශ්ක අයියා“ඔව් නංගි… ඔයා කිව්ව වගේම හැම බීච් එකකම camping කරන්න බෑ. සමහර ඒවා සංරක්ෂිත වෙරළ, සමහර ඒවයි ඉඩ පහසුකම් නෑ, ඒ වගේම අනාරක්ෂිත යි. හැබැයි කළමැටිය මේ ගොඩක් අවශ්‍යතා සපුරනවා. මේක isolated බීච් එකක් නිසා වැඩිය මිනිස්සු ගැවසෙන්නෙ නැති නිදහස් වටපිටාවක් තියෙන්නෙ. ඒ වගේම මං කලිනුත් කිව්ව වගේ වෙරළට තියෙන ඉඩකඩ වැඩියි, ඒ නිසා safe.”

ධනුක අයියා“ඔව්, දැන් ආරුගම්බේ, නිලාවේලි වගේ බීච් ගත්තොත් ඒවයිත් camping කරනවා හැබැයි ගොඩක් අඩුයි, මොකද ඒවා ජනාකීර්ණයි. නිතරම සංචාරකයො ගොඩක් ගැවසෙනවා. foreignබීච් එක ගත්තොත් camp ගහලා surfing කරන්න එන තැන්. ඒ වගේම hotels වල බලපෑමත් වැඩියි. තංගල්ල නාන්න බෑ බීච් එකේ ගල් වැඩියි. ඒ නිසා කළමැටිය මේ වැඩේට ගොඩක්ම ගැළපෙනව කියලා තමා මාත් හිතන්නෙ.”

“මුහුදුබඩ ප්‍රදේශයකට ගියාම අපි කවුරුත් දකින්න කැමැති නමුත් දුර්ලභ දෙයක් තමා කොරල්පර. කළමැටියට ගියාම අපිට කොරල්පර බලන්න අවස්ථාවක් තියෙනවද අයියෙ?”

ධනුක අයියා“ඔව් නංගි, හැබැයි ඒක එච්චරම ලේසි වැඩක් නෙවෙයි, මොකද මේ කොරල්පර open නෑ. Diving කරලා පොඩි කට්ටක් කාල තමා බලන්න වෙන්නෙ. ඒ වැඩේ නම් adventure එකක් තියෙනවා.”

කවිශ්ක අයියා“මේ හරියට කට්ටියට වැඩිය එවෙන්නෙත් නෑ, මුහුද ඇතුළේ තියෙන නිසා වැඩිය කාගෙවත් ඇස ගැටෙන්නෙත් නැති නිසා මේ කොරල්පර තාම ආරක්ෂිතව තියෙනවා.”

“අයියලා කිව්වනෙ මෙතැන කලපුවක් තියෙනවා කියලා. අපි පොඩ්ඩක් ඒ ගැනත් සඳහන් කරමුද?”

ධනුක අයියා“ඔව් නංගි… මේ කලපුවේ වතුර ලුණු රහ නෑ. ඒ වගේම කිවුල් ගතියකුත් නෑ. ගොඩක් foreigners ලා එහෙම එනවා කුරුල්ලෝ බලන්න. කලපුවට එනවා ගොඩක් කුරුලු විශේෂ. ඒ වගේම මේකෙ පාරු පදින්න, ඕනෙ නම් නාන්නත් පුලුවන් beach එක පැත්තට වෙන්න. වැස්ස කාලෙට කලපුවේ වතුර අයින් කරන්නේ මෝයෙන්. නැත්තන් town එක යටවෙනවා.”

කවිශ්ක අයියා“ඔව්, අපි ගියේ වඩදිය කාලෙක නිසා රැල්ල අඩුයි. මුහුද ගොඩක් පස්සට ගිහින් තිබ්බේ.”

“අද අපේ සංචාරක සටහනෙන් මූලිකවම අවධානය යොමු කරන්නෙ කළමැටිය බීච් එකට වුණත් ඒ ළඟම තියෙන bird sanctuary එක ගැන කිව්වෙ නැති වුණොත් මං හිතන්නෙ ඒක ලොකු අඩුවක් වෙයි කියලා. අපි ඒ ගැනත් කියමු අයියෙ, කොහොමද මේ පරිසරයේ ජෛව විවිධත්වයෙ වැදගත්කම…?”

ධනුක අයියා“මේකෙ කුරුලු විශේෂ 150ක් විතර ඉන්නවා. විශේෂ 54 විතරම සංචාරක පක්ෂීන් තමා. තව මෙහේ දුර්ලභ ගණයේ කුරුලු විශේෂයක් ඉන්නව, එයාව බලන්නත් එක්කම ගොඩක්ම research කරන අයයි, bird watching කරන අයයි, tourists ලා තමා මෙහෙට එන්නේ.”

“කුරුල්ලන්ට අමතරව තව දකින්න පුලුවන් වෙන සත්තු ඉන්නවද?”

ධනුක අයියා“මුවෝ, මොණරු, හාවෝ, හරක් එහෙම ඉන්නවා. රැකව හරියෙ කැස්බෑවො ඉන්නව. රැකව කැස්බෑවො සංරක්ෂණ මධ්‍යස්ථානයකුත් තියෙනවනෙ. ඒ හරියෙ නම් camp ගහන්න දෙන්නෙ නෑ…”

“අයියලා මුලදිම කිව්වනෙ කිරල කැලයක් ගැන, තව පොඩ්ඩක් ඒ ගැන කිව්වොත්…”

කවිශ්ක අයියා“ඔව් නංගි… අපි camp ගහපු බීච් එකට යන්න තියෙන්නේ sanctuary එක මැද්දෙන්. දෙපැත්තෙ දිගටම තියෙන්නෙ කිරල කැලයක්. ශුෂ්ක කලාපයනේ. ලොකු උස ගස් එහෙම නෑ. කටු පඳුරු ළඳු කැලෑ තමා තියෙන්නෙ. ඊට පස්සෙ තණ පිට්ටනියක් එහෙමත් හම්බ වෙනවා.”

“Beach camping කියන්නෙ බොහෝ දෙනෙක්ට අලුත් අත්දැකීමක් නේ. ඉතින් කෙනෙක් අලුතෙන්ම එනවා නම් මේ වගෙ තැනකට එයාලට දෙන්න මොනාහරි උපදෙසක් තියෙනවද අයියලාට?”

ධනුක අයියා“අපිට කියන්න තියෙන්නෙ වතුර කෑම ඇතිවෙන්න අරන් යන්න. මොකද කිලෝමීටර් 4ක් 5ක් යනකන් කඩයක් නෑ ළඟපාත.”

කවිශ්ක අයියා“ඊට අමතර විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ කොහේ ගියත් ඔයාලා අරන් යන දේවල් හැමදෙයක්ම අරගෙන එන්න. ටොෆි කොළයක දෙයක්වත් දාල එන්න එපා.  මොකද මේ පරිසර පද්ධති මේ තාක් හරි ආරක්ෂා වෙලා තියෙන්නේ වැඩිය මිනිස්සුන්ගෙ ඇස ගැටෙන්නෙ නැති නිසා. තමන්ගෙ විනෝදෙ ගැන විතරක් හිතලා වැඩ කරන්නත් එපා. පරිසරයත් රැක ගන්න ඒක අපි හැමෝගෙම වගකීමක්.”

ධනුක අයියා“ඒ වගේම මුහුදෙ නානවනම් පරිස්සම් වෙන්න. මුහුද කියන්නෙ හරිම අමුතු තැනක් නෙ. කොච්චර ආරක්ෂිත තැනක් වුණත් සමහරවිට අපි නොදකින අනතුරක්  තියෙන්න පුලුවන්.”

අනිවාර්යයෙන්ම, හැමදාමත් වගෙ රූ ධාරා තුළින් ඔබට අවධාරණයෙන්ම මතක් කරන දෙයක් තමා මේ  පරිසර පද්ධති රැකගන්න කටයුතු කරන්න කියන එක සහ විනෝද වෙනවා වගේම තමනුත් ආරක්ෂා වෙලා ඉන්න කියන එක.

නොදැනුවත්වම වගේ අපේ සංචාරයේ අවසාන භාගයටම ආවා. මං හිතන්නෙ අද සංචාරක සටහනෙන් අලුත් අත්දැකීමක් වගේම අපෙ පාඨක පිරිසගෙ දැනුම පොතටත් දෙයක් එකතු කරගන්න පුලුවන් වෙන්නැති කියලා. අපේ සංචාරක සටහන නිමා කිරීමට මත්තෙන් අද දවසෙ අපි එක්ක මේ අත්දැකීම් බෙදාගන්න එකතු වුන ධනුක අයියාටත්, කවිශ්ක අයියාටත් Colombo Beacon වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා.

මුතු ධරණිය යනු සැබැවින්ම ආස්වාදජනක, විස්මයජනක එමෙන්ම කුතුහලයෙන් පිරි මනස්කාන්ත පාරාදීසයන්ගෙන් සපිරුණු ආකර්ෂණීය දිවයිනක් බව අප අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණක්. එය අප රූ ධාරා තුළින් නිරන්තරයෙන් ඔබට සනාථ කර තිබෙනවා. නුදුරු දිනයක මෙම මනස්කාන්ත පාරාදීසයන්ගෙ සොබා ශ්‍රීය සැබෑවටම විඳගත් ජීවමාන සාක්ෂිකරුවෙකු වන්නට ඔබට ආරාධනා කරමින් එළඹෙන සතියේදිත් මෙවැනිම වූ දැනුම විනෝදය පිරි රසවත් සංචාරක සටහනකින් ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපේ සටහන නිමා කරනවා. එතෙක් සතියක විරාමයක්.

විශේෂ ස්තූතිය –

  • Dumindu Sasanka
  • Maduka Deshan
  • Eranga Randil
  • Praneeth Nimesha
  • Chamod Dilshan Millawithanachchi
  • Heshan Isintha
  • Sachith Jayanidu
  • Kavishka Himansana
  • Dhanuka Muthumala
  • Isuru Chanilka Withanawasam
  • Hashini Madhushani

සේයා රූ-

  • දුමිඳු සසංක ආරියවංශ

Design By – Nisal Vimukthi

ඡායාරූප- Kalametiya bird sanctuary

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිව්‍යාංජලී නිම්නතාරා

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment