Interview දැනුම

සයුරෙන් වෙළාගත් සොඳුරු ඉසව්ව

මුහුද කියන්නේ අපි හැමෝම ආදරය කරන තැනක්. මුහුදෙන් ලැබෙන ආශ්වාදය කෙතරම්ද යත් ඒ ආශ්වාදයෙන් මිදීමට සියලු දෙනා මැලිවන බව නොරහසකි. ඉතින් ඒ වගේ සොඳුරු පාරාදීසයක රාත්‍රියක් ගත කිරීමට ලැබුණහොත් එය අපූරු අත්දැකීමක් වනවා නිසැක ය. එසේ නම් අද රූ ධාරා අප පියමං කරන්නේ එවැනි ආශ්වාදජනක සොඳුරු ඉසව්වකට ය.

මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන රූ ධාරා අපගේ දොළොස්වන නැවතුම තුළින් පාඨක ඔබව රැගෙන යන්නේ බත්තලංගුණ්ඩුව දූපතේ සුන්දරත්වය විඳීමටයි.

ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට වැඩි අයිතිවාසිකමක් ඇති වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කය මායිමේ වූ කල්පිටිය ප්‍රදේශය,  දූපත් 14ක හිමිකරුවෙකි. ඉන් දූපත් 13ක් පසු කරමින් අවසාන ලෙස හමුවෙන බත්තලංගුණ්ඩුව සොබා සිරියෙන් අනූන, ජෛව විවිධත්වයෙන් පිරිපුන් දූපතකි.

අද රූ ධාරා සමඟ එකතු වෙන්නේ එහි පහස විඳීමට වරම් ලද දෙදෙනෙකි. ඒ අපේම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන විශ්මික දසනායක සොහොයුරාත් ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන උදිත ගිම්හාන සොහොයුරාත් ය. කල්පිටිය මුහුදු තීරයෙන් ගව් ගණනාවක් ඔබ්බෙන් පිහිටි කුඩා පාරාදීසයක ලද පහස වචනයට පෙරළීමට අවසරයි ඔබ දෙපලට.

ඉතින් විශ්මික, උදිත දෙන්නාම ආදරයෙන් පිළිගන්නවා අද රූ ධාරා වැඩසටහනට. මුලින්ම දැනගන්න කැමතියි බත්තලංගුණ්ඩුව ගැන කොහොමද දැනගත්තේ කියල

විශ්මික – ම්… මං කොහොමටත්  traveling වලට මාර ආසයි නේ. ඒ හින්දම traveling ගැන තියන   fb page කීපයක්ම follow කරනවා. එහෙම page එකක් තමා travel guide                               කියන්නේ. ඒකෙන් තමා අපි මුලින්ම බත්තලංගුණ්ඩුව ගැන දැනගත්තේ.

උදිත – පස්සෙ  අපි බත්තලංගුණ්ඩුව දූපත ගැන විස්තර හෙව්වා. අන්න ඒ වෙලාවෙදි තමයි එහේ camping ගිය යාලුවෝ ටිකක් සෙට් වුණේ. ඒ photos, videos එහෙම බලද්දි නම් අපි තුන්දෙනාට ආවේ  පට්ට ආසාවක්.

තුන් දෙනා කිව්වේ…?

උදිත – ආ… කියන්නත් බැරි වුණානේ… අපේ තව යාලුවෙක් ඉන්නවා අසංක කියලා… එයාගේ ගෙවල් ආරච්චිකට්ටුවේ, කල්පිටියට යද්දි අතරමඟ දී හම්බෙන ගමක් ඒක. මිනිහත් හෙන ආසයි camping වලට, ඒක නිසා එයාවත් set කරගත්ත වැඩේට.

තුන් දෙනෙක් එක්ක ගිය නිසා වැඩිය plan කරන්න නැතුව ඇති නේද?

විශ්මික ඇත්තටම කිව්වොත් මේක නම් plan කරන්න වුණේම නෑ වගේ. කලින් ඉඳන් යන්න ඕනේ  කියලා හිතුවාට date එකක් fix කරගෙන තිබ්බෙ නෑ. හදිසියේම තමා පහුවදා යමු කියලා දාගත්තෙ.

ගමන පටන් ගත්තේ කොහොමද කිව්වොත්…?


උදිත – මමයි, විශ්මිකයි කොළඹ කොටුවට ඇවිත් කල්පිටිය බස් එකට නගිද්දී සාමාන්‍යයෙන් හවස  5:30ට විතර ඇති. අපි plan කරන් ගියේ එදා රෑට අසංකගේ ගෙදර ඉඳලා පහුවදා උදේම බත්තලංගුණ්ඩු යන්න. කොහොමහරි අපි ආරච්චිකට්ටුවෙන් බහිද්දි 10:00 විතර වුණා. ඒ ළඟම තමා අසංකගේ ගෙදර තියෙන්නෙ… අපි එයාලගේ ගෙදරට යද්දිත්, ගමනට  ගෙනියන්න ඕන බඩු ටික, ඒ කියන්නේ හාල්, පොල්, නූඩ්ල්ස්, බිස්කට් වගේ කන බොන ඒවයි, තව ටෙන්ට්වලට  ඕන දේවලුයි අසංක pack කරලා තිබුණා…

විශ්මික ඇයි තව පොඩි gas  ලිපකුත්  අසංක ලෑස්ති කරලා තිබ්බේ.
 
උදිත – ආ ඔව්, මට ඒක කියන්නත් බැරි වුණා… ඉතින් ඒ වගේම තමයි පහුවෙනිදට ගෙනියන්න ඕන කරන හැමදෙයක්ම වගේ අසංක ලෑස්ති කරලා තිබුණ හින්දා එදා රෑ අපිට තිබුණේ කාල නිදා ගන්න එක විතරයි.

තව අමතර ප්‍රශ්නයක් තියෙනවා… කොළඹ ඉඳන් කල්පිටියට යන්න පුලුවන් බස් එකේ විතරද?

විශ්මික – නෑ… කෝච්චියෙනුත් යන්න පුලුවන්. හැබැයි කෝච්චිය යන ගමන බස් එකේ යන ගමනට වඩා ලස්සනයිලු. ඒ වගේම වෙහෙසත් අඩුයිනේ… ‍කෝච්චියෙන් යනවා නම්, පාලවිය Station එකෙන් බැහැලා කල්පිටියට යනකම් සාමාන්‍ය විදියට බස් එකෙන් යන්න ඕනේ.

දැන් එහෙනම් ආසාවෙන් බලා හිටපු දවසත් ආවා?

උදිත – ඔව් එදා උදේ නැගිට්ටා නෙමෙයි ඇඳෙන් පැන්නා සතුට වැඩි කමට. උදේම ලෑස්ති වෙලා කාලා   5:00ට  විතර ඇති පාරට එද්දි… අපේ වාසනාවට පාරට ආපු වෙලාවෙම කල්පිටියේ යන බස් එකක් ආවා.

ආරච්චිකට්ටුවේ ඉඳන් කල්පිටියටත් ගොඩක් දුරයි ද?

විශ්මික – ම්… අපි ආරච්චිකට්ටුවෙන් කල්පිටිය  බස් එකට නගිද්දි  උදේ 5:10ට විතර ඇති. අපි බහින්න ඕනි බස් එක අන්තිමටම නවත්වන තැනින්. ඒ කියන්නේ කල්පිටිය වරාය ගාවින්. එතැනින් බහිද්දි මට මතක විදිහට  07:30 ට විතර ඇති. නේද උදිත?

උදිත – ඔව්   ඒ වේලාව වගේ  වුණා…  ආරච්චිකට්ටුවේ ඉඳන් කල්පිටියටත් කිලෝ මීටර්  75 ක වගේ දුරක් එන්න ඕනේ. පාලවිය ඉඳන් කල්පිටියට යනකම් දකුණු පැත්තෙන් කලපුව, වම් පැත්තෙන් බිම් තීරුවකුත් එක්ක ඉමක් කොනක් නොපෙනෙන මුහුද… අර බිම් තීරුවේ ලංකාවේ වැවෙන හැම එළවලුවක්ම වගේ වගා කරලා තියෙනවා. බලන් ඉන්න ආසයි.

ඔව් මාත් අහලා තියෙනවා ඒ කලපු තීරුව හරිම සශ්‍රීකයි කියලා… බස් එකෙන් බැස්සට පස්සෙ…?

විශ්මික – ඊට පස්සේ… වරාය ළඟ අපේ තව යාලුවෙක් ඉන්නවා අබ්දුල් කියලා. එයාට හදිසි වැඩක් යෙදිලා අපිත් එක්ක camping  එකට යන්න එන්න බැරි වුණ… ඒ වුණාට කෑම හදන්න ඕනි කරන භාජන එහෙම එයා ගෙනල්ලා දුන්නා… බස් එකේ ඔක්කොම උස්සන් එන්නත් බෑනේ…  ආ තව ලීටර් 20ක වතුර කෑන් එකකුත් ගෙනත් දුන්නා . මොකද දූපතේ කොහේවත් වතුර නම් හොයාගන්න බෑ…

බඩු ඔක්කොමත් අරන් කොහොමද බත්තලංගුණ්ඩු ගියේ?

විශ්මික – මෙහෙමයි කල්පිටියේ ඉඳන් බත්තලංගුණ්ඩු දූපතට බෝට්ටුවක් යනවා. ඒක public transport boat එකක්. ඒක කල්පිටියෙන් යන්නේ උදේ අටහමාරට. දවසට එක පාරයි යන්නේ… හැබැයි weekends වල නම් නෑ… සාමාන්‍යයෙන් ඒ බෝට්ටුවේ 60කට 65කට වගේ යන්න පුලුවන්. ඔන්න ඔය බෝට්ටුවේ තමා අපිත් ගියේ.

එතකොට කාටහරි 8:30 එන්න බැරි වුණොත් බෝට්ටුව මගහැරෙනවා නේ…?

විශ්මික – මෙහෙමයි. එහෙම වුණොත් තව බෝට්ටු තියෙනවා. ඒවගේ ගියහැකි. හැබැයි ඉතින් ගාණ තමා අවුල. මොකද මට මතක විදිහට එහෙම යන්න බෝට්ටුවකට රු.6000 ක් වගේ ගන්නවා. ඒත් අපි ගිය public transport එකේ නම්  එක් කෙනෙක්ගෙන් ගන්නේ රුපියල් 350 යි.

මුහුද මැද experience එකනම් අමතක වෙන්නෙම නැතුව ඇති නේද?

උදිත – ඒකනම් කියලා වැඩක් නෑ. මාර experience එකක්. මොකද කල්පිටිය ජැටියේ ඉඳන් බත්තලංගුණ්ඩුවට කිලෝමීටර් 38ක් තියෙනවා… පැය තුනක වගේ ගමනක්. හතරවටින් මුහුද… ගමන පටන් අරන් ටික දුරක් යනකොට විල්පත්තුව ලස්සනට පේනවා. අපිත් එක්ක  boat එකේ  camping වලට ආපු තව විස්සක් විතර හිටියා. ටිකක් දුර යද්දි එක්කෙනා දෙන්නා සින්දු කියන්න පටන් ගත්තා… අපිත් හෙමින් හෙමින් ඒකට set වුණා. විනාඩි පහක් ගියේ නෑ බෝට්ටුව ඇතුළෙ තනිකරම musical show  එකක් වගේ…

මුහුද මැදින් යද්දී ඩොල්ෆින්ලා එහෙමත් දැක්කද?

විශ්මික – මේකයි,  අපි ගිය වෙලාවෙ නම් වැඩිය දැක්කේ නැහැ. හැබැයි විස්සෙ තිහේ රංචුවලින් පටන් ගත්තහම දාහේ දෙදාහේ රංචු වෙනකම්ම ඉන්නවා කියලා බෝට්ටුවේ ගිය එක්කෙනෙක් කිව්වා… ලංකාවේ ලොකුම කලපුව නිසා ඩොල්ෆින්ලා විතරක් නෙමෙයි තල්මසුන් කැස්බෑවෝ වගේ බලා ගන්නත් පුලුවන්. හැබැයි අපේ අවාසනාවකට අපි ගිය වෙලාවේ නම් දකින්න හම්බුණේ ම නෑ වගේ… කොහොම හරි පැය 3ක විතර මුහුදු ගමන ඉවර වෙලා හවස 12:30 ට විතර බත්තලංගුණ්ඩුවට එන්න පුලුවන් වුණා…

ඇඟිලි ගැණ ගැණ බලන්න ආසාවෙන් හිටපු තැන දැක්කහම ගොඩක් ආස හිතෙන්න ඇති නේද?

විශ්මික – ඒක නම් කියලා වැඩක් නෑ… හිතුවා වගේම මාරම view එකක් තිබ්බේ. අපේ ගමන් මහන්සියත් නැතිවෙලා ගියා.

බඩු ටිකත් බාගෙන ඊට පස්සේ අපි ළඟ කඩේකට ගියා තේ බොන්න.

ඒ කියන්නේ දූපතේ ඇතුළෙත් කඩවල් තියෙනවා?

විශ්මික – නෑ… නෑ… ඔය කියපු කඩේ විතරයි තියෙන්නේ. එකෙත් කන්න කියලා දේවල් මොකුත්ම තිබ්බෙ නෑ…    plain tea එකක් විතරයි බිව්වෙ. හැබැයි කඩේ මුදලාලි නම් කිව්වා කෑම ජාති දාන්න ඕනි කියලා… දැන්නම්  බොහෝවිට කන්න දේවලුත් ඇති.

ඒ මුදලාලි දූපත ගැන මොනවද කිව්වෙ?

විශ්මික –  ඔව්,  ගොඩක්ම කිව්වේ බත්තලංගුණ්ඩුවේ ජීවත්වන මිනිස්සු ගැන. එහේ ඉන්න ගොඩක් මිනිස්සුන්ගේ ගෙවල් තියෙන්නේ මීගමුවේ. මාළු, කරවල වෙළඳාම් කරල හොඳ ලාභයක් ගන්නත් පුලුවන් නේ… ඒක නිසා තමයි එයාලා මේ දූපතට ඇවිත් ඉන්නේ. වාරකන් කාලෙට හැමෝම වගේ මීගමු යනවා කියලා කිව්වා.

උදිත – තව කිව්ව,  එක පැත්තක navy camp එකක් තියෙනවා කියලා. Camping site එක පැත්තෙ නම් ගෙවල් නෑ කිව්වා… දූපතේ අනික් පැත්තට වෙන්න තමා මිනිස්සු ඉන්නෙ. මිනිස්සු ඉන්න හරියේ නම් පල්ලියක්, පාසලක් එහෙමත් තියෙනවලු. හැබැයි ඉතින් අපිට නම් ඒ පැත්තට යන්න වෙලාව තිබ්බේ නෑ…

මුදලාලිටත් සමුදීලා ඊට පස්සේ…?

උදිත – tent එක ගහන්න තැනක් හොයා ගන්න එපැයි. පොඩ්ඩක් හොයාගෙන යද්දි පඳුරු එහෙම තියෙන හෙවන තැනක් හම්බුණා. එතන ටෙන්ට් එක ගැහුවා. අපිත් එක්ක  boat එකේ  camping වලට ආපු තව විස්සක් විතරත් හිටියනේ. එයාලත් ඒ හරියෙම වගේ තමා tent ගහ ගත්තේ.

දූපතක දවසක් දෙකක්  වගේ  ඉන්න ලෑස්තිවෙන කොට සනීපාරක්ෂක පහසුකම් ප්‍රශ්නයක් නේ. එතකොට…?

විශ්මික – ඔව්, වෙනම toilets ටිකක් තියෙනවා. හැමෝම පාවිච්චි කරන්න ගියොත් නාස්ති වෙන නිසා ඒවා වෙන් කරලම තමා තියෙන්නේ camping එන අයට. හැබැයි ඉතින් පාවිච්චි කරන්න වෙන්නෙ  මුහුදු වතුරම තමා…

දවල්ට කාලත් නෑනේ තාම?

උදිත – ඔව්,  අර කඩෙනුත් plain tea එකක් විතරයිනේ බිව්වෙ. පට්ට බඩගින්නේ හිටියේ. ගෑස් ලිපක් අරගෙන ගිය හින්දා ටක් ගාලා බතුයි, සම්බෝලයි, සෝයාමීට් ටිකකුයි හදාගෙන කෑවා. ඊට පස්සේ තමයි පණ ටිකක් ආවේ.

දූපතේ ඇවිදල බලන්නත් ආසාවෙන් නේද ඉන්න ඇත්තේ?

උදිත – අම්මෝ ඔව්, එන්න කලින් ඉඳලා මාර ආසාවක් තිබ්බේ… 

ඉතින් අපි ඇවිදින්න යන ගමන් රෑට ගිනිමැලය ගහන්න ඕන කරන දර ටිකකුත් හොයා ගත්තා…

ඇවිදලා එද්දි රෑ වෙන්න ඇති නේද?

විශ්මික – නෑ අපිට රෑ වෙන්න කලින් එන්න වුණා. මොකද ඇවිල්ලා බීච් වොලිබෝල් ගහන්න  හිතාගෙන හිටියේ. අසංකගේ කටේ තිබුනෙම බීච් වොලිබෝල්  ගහන එක ගැන ගැනමයි. කනක් ඇහිලා ඉන්න නෑ… පව්නේ ඉතින්, ඒක නිසා වොලිබෝල් ගහන්න වෙලාව තියලා අපි ආවා. අපි එද්දිත් අනිත්  කට්ටිය වොලිබෝල් ගහන්න පටන් අරන්. අපිත් ඒකටම සෙට් වුණා. බැහැගෙන යන ඉරත් එක්ක අව්ව තිබ්බ ටිකක් සැරට. හැබැයි ඒක දැනුනෙම නෑ වගේ මුහුදේ හුළඟත් එක්ක.

දැන් නම් මහන්සි වෙලා බඩගිනිත් ඇතිනේ?

උදිත – ඔව් සෑහෙන්න. ඊට පස්සේ ඇවිල්ලා රෑට කන්න නූඩ්ල්ස් හැදුවා… කාල ඉවර වෙලා ගිනිමැලේකුත් ගැහුවා. ඊට පස්සේ එතන camping ආපු ඔක්කොම වගේ set වෙලා සින්දු කියන්න පටන් ගත්තා. එයාලා බොංගො, ගිටාර් එහෙමත් අරන් ඇවිල්ලා තිබ්බා. ඒක නිසා වැඩේ නැගලා ගියා. නැවතිල්ලක් නැති මුහුදු රැළිවල සද්දෙයි, ගිනිමැලේ එළියයි, ලස්සනට පායලා තියෙන්නේ තරු රටාවල එළියයි,  ගිටාර් එකේ සද්දෙයි, සීතල සුළඟයි mix වෙලා හැමෝම නිකන් පිස්සු හැදිලා වගේ සින්දු කිව්වේ. ඒ හැඟීම වචන වලට පෙරලන්න අමාරුයි. ගිහින් ම විඳ ගන්න ඕනෙ. අපි ඒ feeling එකට කොච්චර පිස්සු වැටණ ද කිව්වොත්  හරියට ෆොටෝ එකක්වත් ගන්න මතක් වුණේ නෑ.
 

ඒ වචන ඇතුළෙ තිබ්බ අත්දැකීම් කොච්චර සුන්දර ද? ඔයාලට නිදාගන්න නම් හිතෙන්නෙම නැතුව ඇති නේද ?

විශ්මික ඇත්තටම කිව්වොත් නෑ… ඒත් රෑ එකොළහ වගේ වෙද්දී එකා දෙන්නා නිදි කිරන්න පටන් ගත්තා. හැමෝටම ගමන් මහන්සියත් තියෙනවනේ. ඒත් රෑ 12:00 වගේ වෙනකම් අපි කිහිපදෙනෙක් දිගටම සින්දු කිව්වා.  පස්සේ අපි නිදාගන්න ගියා.                        

උදිත – මට නම් නින්ද ගියෙත් නෑ ටිකක් වෙලා යනකන්… කියපු සින්දු ටික කන ඇතුළේ දෝංකාර දෙනවා. නැටවෙනවත් එක්ක මට ඉබේටම. චූටි චූටි සත්තු කෑගහන සද්දෙයි මුහුදු රැළිවල සද්දෙයි හුළං සද්දෙයි එක්ක දන්නෙම නැතුව ටික වෙලාවකින්  නින්ද ගිහින්.

දැන් එහෙනම් දෙවෙනි දවසත් පටන් ගත්තා?

උදිත – ඔව්,  අපි නැගිටිද්දි 7ට විතර ඇති. උදේට පාන් කාලා කෙලින්ම ගියේ නාන්න… සාමාන්‍යයෙන් camping site එක හරියේ මුහුද ගැඹුරු නෑ… ඒක නිසා පොඩ්ඩක් ඉස්සරහට ගියහැකි. අපිට  නම් පීනන්න බැරි නිසා ගොඩක් දුරට ගියේ නැහැ.

පැය ගාණක් නාන්න ඇති නේද?

විශ්මික – Beach එකෙන් නාද්දි  දැනෙන සැහැල්ලුව ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ… මාර ජොලි. පොඩි එවුන් වගේ වැලි මාළිගාත් හැදුවා. දැන්නෙම  නෑ වෙලාව ගිහින්. කල්පිටියට යන බෝට්ටුව 12 ට 12:30 ට වගේ යනවා. ඒක මගහැරෙයි කියලා බයට ගොඩට ආව මිසක් පොඩ්ඩක්වත් කැමැත්තක් නම් තිබ්බෙ නෑ නාලා ඉවර කරන්න.

දැන් එහෙනම් බත්තලංගුණ්ඩුවට සමුදෙන්න වෙලාවත් ඇවිත් නේද?

උදිත හ්ම් ඔව්, tent එක එහෙම ගලවගෙන බඩු ටික ලෑස්ති කරන ගමනුත් මට හිතුණෙ එහේ දිගටම ඉන්න තිබ්බනම් කියල.

විශ්මික – ඔව් මටත්. ඉවරයක් නැති exam වගේම මේ තරඟකාරී  ජීවිතේ එක්ක බලද්දි මේ වගේ දූපතක ඉන්න තියෙනවනම් කොච්චර මානසික නිදහසක් ද…? අපිට විඳින්න බැරි ඒ නිදහස  ඒ මිනිස්සු නම් ඇති තරම් විඳිනවා .

ඒක ඇත්ත, ජීවිතයට නිදහස තරම් තවත් වටින දෙයක් නෑනේ… දැන් එතකොට ආපහු ආපු ගමන ගැන කිව්වොත්?

උදිත – අර මං කලින් කිව්වෙ කල්පිටියේ ඉඳන් බත්තලංගුණ්ඩුවට උදේ 8:30ට බෝට්ටුවක් එනවා කියලා… අන්න ඒකෙම ආපහු බත්තලංගුණ්ඩුවේ ඉඳන් කල්පිටියට යනවා දවල් 12:30 ට විතර  වගේ… ඒකෙ තමා ආපහු අපි කල්පිටියට ආවේ… එද්දිත් අවාසනාවට ඩොල්ෆින්ලා නම් ලොකුවට දැක්කේ නෑ…

විශ්මික – ආ… තව දෙයක් අපි එද්දි බෝට්ටුවේ ගොඩක්ම ආවේ ඒ ගමේ ඉන්න මිනිස්සු. එයාලා මාළු කරවල එහෙම අරන් කල්පිටියට යනවා විකුණන්න… එද්දී නම් පොඩ්ඩක් නින්දත් ගියා අපිට, හුළඟයි මහන්සියයි එක්ක. කොහොමහරි ඉතින් පැය 3ක විතර ගමනකින් පස්සෙ අපිට කල්පිටියට එන්න පුලුවන් වුණා… කල්පිටියේ ඉඳන් කොළඹ බස් එකකට නැග්ගා… ආරච්චිකට්ටුවෙන් අසංකටත් සමුදීලා මායි උදිතයි කොළඹට ආවා ලස්සන මතක ගොන්නකුත් අරන්.

බත්තලංගුණ්ඩුවට යන්න ආසාවෙන් ඉන්න කෙනෙකුට කියන්න මොනාවා හරි දෙයක් තියෙනවද?

විශ්මික – අපි යන කාලයේදී පැකේජ් බුක් කරල යන්න පුලුවන්කමක් තිබ්බෙ නැහැ.  ඒක නිසා අපිට ඕන කරන බඩු හැම දෙයක්ම අපිටම තමා අරන් යන්න වුණේ… හැබැයි දැන්නම්  පැකේජ් බුක් කරලා යන්න  පුලුවන්. මම අඳුරන uncle කෙනෙක් එහෙම ගියා මේ ළඟදි… එයා කිව්වා ගෙදරට බස් එක ඇවිල්ලා එයාලව එක් කරගෙන ගිහිල්ලා ආපහු ගෙදරටම  ගෙනල්ලා බස්සනව කියලා. tent එක ගහන තැන ඉඳලා හැමදේම කරලා දෙන්න. බොන්න වතුර ටික පවා දෙනවා. ඒක නිසා දැන් ඕනි කෙනෙක්ට ගොඩක් ලේසියෙන්ම දැන් යන්න පුලුවන්.

ඒ ගැන දැනුවත් කරපු එක නම් ඇත්තටම ගොඩක් හොඳයි, යන කෙනෙකුටත් එක ප්‍රයෝජනවත් වෙයි. ඉතින්  එහෙම යන අයට දෙන්න උපදෙසක්…?

උදිත – අපි නාපු හරියේ නම් වතුර ගැඹුරු නැහැ… ඒත් අපි මුහුද ගැන දන්නේ නෑනේ. ඒක නිසා නාන්න කලින් මාළු බාන කෙනෙකුගෙන් පොඩ්ඩක් අහල බලලා වතුරට බහිනවා නම් තමයි හොඳ.

විශ්මික – මේ වගේ ලස්සන තැන් ස්වභාවධර්මයෙන් අපිට නොමිලේම ලබා දීලා තියෙනවානේ… ඒ ලස්සන තැන් ඒ විදිහටම තියාගන්නේ නැතුව කුණු දාලා අපිරිසිදු කරලා විනාශ කළොත් ස්වභාවධර්මයෙන්ම ඒකට විපාක ලැබෙයි..

බත්තලංගුණ්ඩුවත් එහෙම කුණු දාලා විනාස කරලා තිබ්බ ද?

විශ්මික – හරිම වැදගත් ප්‍රශ්නයක්. වෙරළේ පැත්තක ප්ලාස්ටික් බෝතල් සෑහෙන්න ගොඩ ගහලා තිබ්බා. අපි අර  තේ බොන්න ගිය කඩේ මුදලාලි නම් කිව්වේ ගමේ ඉන්න මිනිස්සු නම් ඒවා දාන්නේ නෑ කියලා. ඉතින් ආපු මිනිස්සු දාපුවද ගොඩබිමින් ගහගෙන ආපුවද කියන්න නම් හරියට දන්නෑ. කොහොම වුණත් ඉතින් නිරපරාදේ  ලස්සන තැනක් විනාශ වෙන එක තමා අන්තිමට වෙන්නේ.

ඔව් මේ දවස්වල අපි මුහුණ දෙන වසංගත තත්වය කියන්නෙත් මිනිස්සු විසින් කරපු නොමනා ක්‍රියා වලට ස්වභාවධර්මය විසින් ලබා දීපු දැඩි දඬුවමක්. තවදුරටත් මිනිස්සු පරිසරයට පටහැනිව ජීවත් වුණොත්  මේ වගේ වසංගත ගැන අහන්න දකින්න ලැබෙන එකනම් නුහුරු නුපුරුදු දෙයක් නොවේවි. ඉතින් පා සටහන් පමණක් ඉතුරු කරලා මතක සටහන් දෝතින් අරගෙන ඒ වගේ සුන්දර තැන් වලට සමු දෙන්න කියලත් ආදරෙන් මතක් කරන්න කැමතියි.

නොදැනුවත්වම අපි දැන් ගමනාන්තයට ඇවිල්ලා. ඉතින් ඒ සොඳුරු අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට රූ ධාරා වෙනුවෙන් දෙන්නටම ස්තුතිවන්ත වෙනවා.

එසේනම් මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන්න එකතුවන්න රූ ධාරා සමඟ එළඹෙන සතියෙත්… තවත් නවමු අත්දැකීමක් සමඟින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන්, අවසරයි, සමු ගැන්මට. මේ… රූ ධාරා සුන්දර බත්තලංගුණ්ඩුවේ සිට… 

විශේෂ ස්තූතිය – 

  • විශ්මික දසනායක
  • උදිත ගිම්හාන
  • අසංක ප්‍රනාන්දු 
  • මොහොමඩ් රිෂ්නි

සේයා රූ – 

  • විශ්මික දසනායක

Design By  Pathum Lakshan

Photo Editing  Nisal Vimukthi

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

අමාෂා කුමානායක

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment