ආදරෙත් හරියට කඳුහෙල් අතර දුවන බදුලු කෝච්චිය වගේ දෙයක්. දුම් දාගෙන හූවක් කියාගෙන වංගුවක් ගන්න කෝච්චිය පහුවදාට පල්ලම් බහිනවා. ඒක තමයි කෝච්චියේ විදිය. වෙට්ටු දාලා වංගු දාලා ඉතා සීරියස් විදියට පටන්ගන්න ආදරේ, උච්චතම අවස්ථාවට ගිහිං ආයෙත් පල්ලං බහිනවා. ආදරේ අඩු වෙනවා වගේ දැනෙනවා කියන්නේ ඒකට. ඕන ජෝඩුවකගෙන් අහපුවාම කියන්නේ පස්සෙන් ආව කාලෙ තරං දැන් ආදරේ නෑ කියලා.
උදේම කැම්පස් එනකන් බලං ඉන්නේ නොකා නොබී. එයාට ලෙක්චර්ස් ඉවරවනකන් බංකුවක වාඩිවෙලා කල්පනා කරන්න නම් කොච්චර දේවල්ද? ඒ වෙලාව හරිම නොඉවසිලිමත්. ඒත් පටන්ගත්ත කාලේ විතරයි. මට මතක් උනේ ඉස්කෝලෙ ට්‍රිප් යනකොට කියපු සිංදුව.
සුදු පරවි රෑන සේ පියා සලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙලින් පෙලට එයි
ඈ… තාම නෑ.. ඈ ….. තාම නෑ…
නැවතිල්ලේ හිතලා බලනකොට කෝච්චියත් ඒ වගේ තමයි. කොලඹින් පිටත්වෙන කෝච්චිය එනකන් කඳුහෙල් බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්. කඩුගන්නාව පාස් කලහම වංගුවක් අරං කන්දක් මග අරිනකොටම තවත් කන්දක් බලන් ඉන්නවා වංගුවකුත් එක්ක. ඒක බරපතල තත්වයක්. සරසවි ප්‍රේමෙත් මේ වගේ තැන් ඕනතරම්.
වංගු ගන්න බැරිම තැනුත් එනවා මේ ගමනෙදි. විකල්පයක් විදියට තමයි අපිට බිංගෙවල් හම්බෙන්නෙ. බිංගෙවල් ඇතුලෙ ගොඩක් දේවල් සිද්දවෙනවා. ඒ සිද්දවෙන කතා පැත්තකින් තිබ්බම බිංගෙවල් ඇතුලෙ ඉන්න පුංචි ලිහිණි කුරුල්ලො මතක් වෙනවා. අවාසනාවකට පුංචි ලිහිණි කූඩු කඩන්න මිනිස්සු පුරුදු වෙලා. ඒක හරියට ගමේ ආදර කතාවට අතරමැදි ප්‍රේමයක් ඇවිත් පරණ කැදැල්ල විනාස වෙනවා වගේ දෙයක්. මේක බොහොම අවාසනාවන්ත තත්වයක්. පුංචි ලිහිණි කූඩු කඩලා ලබන්නේ මොනවගේ තෘප්තියක්ද? සරසවි ප්‍රේමය තුලත් මේ කූඩු කැඩිල්ලනම් බරපතල ප්‍රශ්නයක්. කොහොම හරි ඒක එහෙම සිද්ද වෙනවා.
බිංගෙවල් අස්සෙන් කන්ද නැගපු කෝච්චිය යනවා පුංචි තැනිතලාවකට. ප්‍රේමවන්තයා ප්‍රේමවන්තියගෙන් අහලා අහලා කැමැත්ත හම්බෙන්නෙත් මේ වගේ තැන් වලදි. වංගු, බිංගෙවල් පහු කරලා හිතමිත්‍ර, දෙමාපිය ගැටලු විසඳගෙන නොයෙක් දුක් කන්දරාවල් විඳ දරාගෙන උත්තරේ හම්බෙන්නෙත් මේ වෙලාවට. ” මං ඔයාට ආදරෙයි”
ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැස්සොත් අපිට ගොඩක් ලස්සන තැන් බලාගන්න පුලුවන්. දියඇලි කීපයක්ම තියෙනවා.ආදරේ මිහිර විඳින දැනෙන තැන්. දියඇල්ලක් ළඟ ඉන්නකොට පින්නත් එක්ක එන සියුම් හීතල, හිරිගඩු පිපිලා හීතලේ ගුලිවෙලා සියුම් ස්පර්ශයක් එක්ක අනන්තයක් කරා පියාඹන්න හිතෙනවා. ඒක සොඳුරුතම හෝරාවක් බවට පත් වෙනවා.
කොහොම නමුත් ප්‍රේමයේ මල් පිපෙනවා සේම මල් උයන් තුල ස්තානගතවෙනවා සංචාරක පක්ෂීන්.
හරියට තාවකාලික ප්‍රේමවන්තයින් වගේ. සංචාරක පක්ෂීන් මේ පරිසරයට හරි ආගන්තුකයි. ආගන්තුකත්වය තුළ අපූර්වත්වය රැදී තිබුණත් ඒක සර්වකාලීන නෑ. මොකද වසන්තය හැමදාමත් නෑ. ඉතිං මේ කෙටි කාලෙදි විඳින්න පුලුවන් උපරිම දේ විඳලා ගන්න පුලුවන් මුලු ඔක්කොමත් අරගෙන තම හුරු පුරුදු කැදලි කරා යනවා. අර මං කිවුව තාවකාලික සරසවි ප්‍රේමෙත් මේ වගේ. හමුවුණා වෙන්වුණා. හරියට එක්වීම වෙන්වීමදෝ ආදරේ වගේ.
කොහොමහරි හති හලාගෙන බදුල්ලට ගිය කෝච්චිය ආයෙත් කොළඹට එනවා.පටන් ගත්ත තැනටම.
ඒ ගමනෙදි සරසවි ප්‍රේමය සම්පූර්ණ වෙන්නත් පුලුවන් අසම්පූර්ණ වෙන්නත් පුලුවන්. ජීවිත කාලය පුරා රැඳෙන්නත් පුලුවන්, නැත්තන් ඇල්ලෙන් බහින තාවකාලික ප්‍රේමවන්තයින් වෙන්නත් පුලුවන්.
අවසානේ අපට ඉතිරිවෙන්නේ එකදෙයයි. “අත්දැකීම්”.
අත්දැකීම් තමයි මිනිස්සු පෝෂණය කරන්නේ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් සිටිය යුතු අතර විශ්වාසය හා අවිශ්වාසය අතර දෝලනය වන තැනක බුද්ධිගෝචරව ජීවත් වී මනුස්සකම රැක මිනිස්සු එකතු කළ යුතුය.
Leave a Comment