දැනුම

සහසැස් පවා නර්තනයෙන් වසඟ කරනා නෘත්‍ය අප්සරාවිය

 රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා
රන්රසේ එක් වන ලෙසේ වෙණ නාද නූ පා තබ තබා
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බලා බලා නෙතඟින් සබා
මං කෙසේ පවසම් එසේ වර සුර ලඳුන් දුන් රඟ සොබා

ගුත්තිල කාව්‍ය-309

මේ පැදි පෙළේ කියැවෙන සුරඟන වැනුමට දෙවැනි නොවන නර්තනයක් දකින්නට නම් ඔබ උපුලි පණීභාරතයන්ගේ නර්තනයක් නැරඹිය යුතුම ය. මක්නිසාද යත්, එතරම් ලාස්‍යකින් යුතුව නර්තනයේ යෙදෙමින් ප්‍රේක්ෂක සිත් තම නර්තනයට ඇඳ බැඳ තබා ගැනීමේ පුදුමාකාර හැකියාවක් ඇයට තිබීමයි. ඉතින් මේ සටහන, ලංකේය නර්තනය නව මගකට යොමු කීරීමට කැප වෙන උපුලි පණීභාරතයන් ගැනයි.

ශ්‍රී ලාංකේය නර්තන ඉතිහාසයේ කීර්තිමත් නර්තන පරපුරක් වූ අල්ගම පරපුරේ තවත් පුරුකක් ලෙස ආචාර්ය එස්. පණීභාරතයන්ට හා ප්‍රේමලතා පණීභාරතයන්ට දාව පවුලේ වැඩිමල් දියණිය ලෙස  චිත්‍රාචාර්ය උපුලි පණීභාරත මෙලොව එළිය දුටුවා ය. නර්තනය හා බද්ධ වුණු වටපිටාවක් තුළ හැදී වැඩුණු උපුලි, තම පියාගේ අඩිපාරේ යන ගමන ඇරඹියේ අවුරුදු හයක් තරම් වූ කුඩා වයසක දී ය. පාසල් නර්තනාචාර්ය වරියක වූ තම නැන්දණිය හා සමීපව සිටි උපුලි ට, ඇගෙන් නර්තනය ඉගනීමට තිබූ ආසාව නිසාවෙන්ම පාසල් කිහිපයකින් අධ්‍යාපනය ලැබීමට ද සිදුවුණි. ඒ අනුව පළමුව කොළඹ මියුසියස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය ඉන්පසු කොළඹ දේවි බාලිකා විදුහලෙන්ද පසුව විශාකා විද්‍යාලයෙන් ද ශිල්ප හදාරා කැලණිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීමට වරම් ලබා ගත් අතර එහි දී ලලිත කලාවේදී උපාධියද ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගත්තා ය.

කුඩා අවදියේ සිටම තම පියා සමඟ නර්තන අංගයන් සඳහා සහභාගී වූ ඇයට විදේශයන්හි ද නර්තන අංගයන් ඉදිරිපත් කිරිමට අවස්ථාව හිමි වුණා. වරක් චීනයේ රඟ දැක්වූ සිරිසඟබෝ නාට්‍ය ද එවැන්නක්. එම නාට්‍ය සංචාරය ඇගේ ජීවන සහකරුවද ඇයට සොයා දීම තවත් විශේෂයක්. පණීභාරතයන්ගේ හොඳම ගෝලයෙකු වූ ඔහු නමින් චන්න විජේවර්ධනයි. 90 දශකයේ දී පමණ චන්න හා යුග දිවියට පිවිසි ඇය ඉන්පසු ඔහු හා එක්ව නර්තන කලාවේ උන්නතිය වෙනුවෙන් කැප වී වැඩ කරන්නට වුණා.

 සාම්ප්‍රදායික නර්තන කලාවෙන් ඔබ්බට ගමන් කීරීමට මැළි කමක් දැක්වූ නර්තන ශිල්පීන් සිටි අවදියක චන්න උපුලි සුසංයෝගය උඩුගං බලා පිහිනීම ඇරඹූ අතර කලක් ලංකාවේ සෑම වැදගත් උත්සවයක් ම ආරම්භ වූයේ චන්න උපුලි දෙපළගේ නර්තනයකිනි. ඒ ඔවුන්නේ නර්තනය තුළ වූ ඒ වෙනස නිසාවෙන් මයි. නමුත් ඒ වෙනස දායාද කිරීමේ ගමන නම් රෝස මල්  යහනාවක් නොවේ, ගල් මුල් වලින් පිරුණු මාවතකි. නමුත් තම සැමියා තැබූ සෑම පියවරකටම පිටුපසින් හිඳිමින් ඇය ඔහුට ශක්තියක් වූ නිසා ම ඔවුන්ට අද අපේ සාම්ප්‍රදායික නර්තන කලාව නව මුහුණුවරකින් ජාත්‍යන්තරය දක්වා ම රැගෙන යාමට හැකියාව ලැබී ඇත. 

තමන් ලබා ගත් දැනුම තවත් පරපුරකට දායාද කිරීමේ හා නර්තන කලාව වියැකී යා නොදී රැක ගැනීමේ අභිලාෂය නිසා ම  උපුලී පණිභාරත තම සැමියා හා එක්ව චන්න උපුලි රංගනායතනය ආරම්භ කරමින් ඒ හරහා ශ්‍රී ලාංකේය නර්නත කලාව නව මගකට යොමු කරවමින් සිටී. වර්තමානයේ දී ඔවුන්ගේ රංගනායතනයෙන් නර්තන අංගයක් නොමැති උත්සවයක් නොවන අතර ඒ අංගයන් වල උපුලි පණීභාරත ව නම් අපට දැන් දකින්නට නොලැබෙන්නේ ඒ සෑම නර්තන අංගයකම තිරය පිටුපස වැඩකටයුතු සිදුවන්නේ ඇගේ අතින් වීම නිසා ය.

ශ්‍රී ලාංකේය නර්තන කලාවට ඉටු කරන ලද අනුපමේය සේවය වෙනුවෙන් බොහෝ සම්මාන ප්‍රධානෝත්සවයන් හිදී ගෞරව සම්මානයන්ට පාත්‍ර වී ඇති උපුලී පණීභාරත  2021 ජූලි 18 වන දින කලාභූෂණ ජංරංජන කීර්ති ශ්‍රී දේශමාන්‍ය ගෞවර සම්මානයෙන්ද පිදුම් ලැබුවේ මෙරටට සිදු කළ ඒ සේවය අගය කරනු පිණිසය.

මෙසේ මෙරට නර්තන කලාවට කියා නිම කළ නොහැකි තරම් සේවයන් ඉටු කල උපුලි පණීභාරත නර්තනවේදිනියගේ උපන් දිනයට Colombo Beacon අපි සුභාශිංසන එක් කරන අතරම ඉදිරියටත් නර්තන කලාවේ උන්නතිය වෙනුවෙන් තව තවත් සේවයන් කිරීමට ශක්තිය ලැබේවා! යි ප්‍රාර්ථනා කරන්නෙමු.

Design by – Shanaka Vishwantha

Reference :

Image :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

මල්ෂා සමාධිකා

දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය

Leave a Comment