“කුසුම් පිපෙන වසන්තේ
බිඟුන් බමන වසන්තේ
හැඟුම් මවන රැඟුම් රඟන
සුගන්ධ මධු වසන්තේ…”
ගීත ඛණ්ඩය දෙසවනට හුරු පුරුදුය. ඒ හුරු පුරුදු බව මත මනසේ ඇඳෙන සිනමා ඡායාවේ සිත්තම් වන්නේ තුරුණු චරිත ත්‍රිත්වයකි. මේ අතර ජීවිතයේ වසන්තයට පා නගමින් පරිසරයේ සෞන්දර්යය හා ස්වකීය යෞවන හැඟීම් සමඟ දොඩමළු වන ‘සිරිමල් එතනා’ අහිංසක, කෙළිලොල් තරුණියකි. ඇගේ සුන්දර සිනහව තුළ ‘හුරු පුරුදු කලා රුවක හැඩහුරුකම්’ මැවුණ ද ස්වකීය ආවේණික රංග පෞරුෂයක් තුළ ඈ සුවහසක් සිනමා ප්‍රේක්ෂකයන් වසඟයට ගැනීමට සමත් වූවා ය. එදා සිරි පැරකුම් චිත්‍රපටය ඔස්සේ තම කලා දිවියේ නවමු පරිච්ඡේදයක් සටහන් කර ගත් ඈ නමින් සෙනාලි ෆොන්සේකා ය. බහුවිධ කෝණයන් ඔස්සේ තම ප්‍රතිභාව විශද කරවමින් වර්තමානයේ ඉතාම ජනප්‍රිය රංගන තාරකාවක් බවට පත්ව ඇති රංගවේදිනී ‘සෙනාලි ෆොන්සේකා’ පිළිබඳ ව Colombo Beacon විසින් තබන සටහනකි මේ…
1992 සැප්තැම්බර් 18 දින උපාලි ෆොන්සේකා හා සේනානි ෆොන්සේකා යුවලට දාව ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශයේ උපත ලබන ඇය, නමින් සෙනාලි කෝෂිලා ෆොන්සේකා ය. තම පවුලේ කුළුඳුල් මෙන්ම එකම දරු උපත බවට පත් වූ මේ ළදැරියගේ ළමා කාලය සෙනෙහසේ තෝතැන්නක් බවට පත් විය. තමා වටා ඥාති සොහොයුරු සොහොයුරියන් රැසක් සිටීමත්, ඒ අතර වයසින් බාල දැරියක වීම නිසාත්, ඇයට පැවති සෙනෙහස වඩාත් ඉහළ විය. තම මවගේ නම වූ ‘සේනානි’ යන්නත්, පියාගේ නම වූ ‘උපාලි’ යන්නත් මූලික ව ගෙන ‘සෙනාලි’ නමින් තම නම සකසා ඇති බව ඈ එක් දිනෙක සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකට පවසා සිටියා ය.
වර්තමානයේ අප කවුරුත් දන්නා රංගවේදිනියක් බවට පත් වුවද ඈ තම ළමා කාලයේ වැඩිමනක් ගෙවා දමන්නේ ශ්‍රී ලංකාවෙන් එපිට ය. ඇය සිය මූලික අධ්‍යාපනය කොළඹ විශාඛා විද්‍යාලයෙන් ලබාගත් අතර වයස අවුරුදු දහයේ දී තම දෙමාපියන් සමඟ එක්සත් රාජධානිය බලා විදේශගත වූවාය. ඒ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වූ ඇගේ පියාගේ වැඩිදුර උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගැනීමට ය .
කෙසේ වුවද ඒ වන විටත් ඇය තම ළමා රංගන පෞරුෂය රූපවාහිනී තිරය මත විශද කරවා තිබිණි. වයස අවුරුදු පහේ දී සිටම ඈ විවිධ ළමා නිර්මාණයන්ට තම රංගන දායකත්වය ලබා දුන්නාය.
එක්සත් රාජධානියේ දී තම ද්විතීයික අධ්‍යාපනය පාසල් කිහිපයකින්ම ලබා ගත් ඇය කුඩා කල සිටම අධ්‍යාපනයට ඉතා ලැදි, දක්ෂ ශිෂ්‍යාවක වූවාය. වරක් එක්තරා වැඩසටහනක ඇය පවසා සිටියේ මෙබන්දකි .
“මං එංගලන්තෙට ගියා කියලා එහෙම වෙනසක් වුණේ නෑ. අම්මයි තාත්තයි මං ඉල්ලන ඉල්ලන දේ වෙනුවට මට අවශ්‍ය දේ පමණක් ලබා දුන්නා. ඒකෙන් මං සමාජයේ ජීවත් වෙන්න ඕන කොහොමද කියලා ඉගෙනගත්තා. මං එහෙදිත් කොළඹ විශාඛා වට ඉස්කෝලෙ ගිය විදිහටම කොණ්ඩෙ හොඳට තෙල් ගාලා, කරල් දෙකක් ගොතල ඉස්කෝලේ ගියා…”
පුද්ගලයෙකුගේ ජන්ම උරුමය හා ලැබෙන දක්ෂතා, දේශය අනුව වෙනස් නොවන බව සපථ කර ගැනීමට ‘සෙනාලි’ හොඳම නිදර්ශනයකි. ඇය එංගලන්තයේ අධ්‍යාපනය ලබන කාලයේ දී ද බොහෝ රංගන හා නර්තන වැඩසටහන්වලට සහභාගි වී ඇති අතර ඒවායින් ජයග්‍රහණයන් ද ලබාගෙන ඇත. වරක් ඇය එරට පැවැති පාසලක සංවිධානය කළ කුසලතා ප්‍රදර්ශනයක දී විවිධ කුසලතා මත තේරී පත් වූ හොඳම ළමුන් දහ දෙනෙකු අතරින් දක්ෂතම නර්තන ශිල්පිනිය බවට තේරී පත් වූවාය.
මේ අතර තම ද්විතීයික අධ්‍යාපන කටයුතු මනාව පූරණය කරන සෙනාලි, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට තේරී පත්වන්නේ තම උසස් අධ්‍යාපනය ජීව විද්‍යා අංශයට පවරමින් ය. ඉහළ ලකුණු මත කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන ඇය ජෛව වෛද්‍ය විද්‍යාව (Biomedical Science) අංශයෙන් ස්වකීය උසස් අධ්‍යාපනය හැදෑරුවා ය. ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබන කාලය තුළ ඇයට අවශ්‍ය වූයේ වෛද්‍යවරියක වීමට නොව විද්‍යාඥවරියක බවට පත්වීමටයි. බහුල සිහිනයක් වෙනුවට දුලබ සිහිනයක් ඈ තම මනසේ සිත්තම් කර ගෙන සිටියාය.
මේ අතර කාලය ඇගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය වනු ඇතැයි අප මෙන් ම ඈ ද, කිසිදා නොසිතන්නට ඇත.
තම විශ්ව විද්‍යාලයේ ප්‍රථම වසර නිම කිරීමෙන් ලැබෙන නිවාඩුවේ දී ඈ නැවත තම මව් රට බලා ආවාය. ඒ වන විටත් ඇයට තම ප්‍රථම තුරුණු රංගනයට ආරාධනා ලැබී තිබිණි. සෝමරත්න දිසානායක මහතා විසින් තම නවතම සිනමාපටය (සිරි පැරකුම් – Siri Parakum 2013) හි ප්‍රධාන කාන්තා චරිතයට මේ සුන්දර යෞවනියට ලබාදුන් ආරාධනාව ඈ ඉමහත් සතුටින් පිළිගනු ලැබුවා ය .
ශ්‍රී ලංකාවේ දෙවන පරාක්‍රමබාහු රජුගේ චරිතය අළලා නිමැවුණු මෙම ඓතිහාසික සිනමා පටයේ සෙනාලිට ලැබුණු චරිතය ‘සිරිමල් එතනා‘ ය. ඇගේ පළමු තුරුණු රංගනයෙන්ම සුවහසක් ප්‍රේක්ෂක ප්‍රජාව ඇගේ දක්ෂතා අගය කරන්නට වූහ. ඊට ඇගේ ‘ස්නේහවන්ත සිනහව’ ද ප්‍රබල වූ උත්ප්‍රේරකයක් වන්නට ඇත.
සෙනාලි ෆොන්සේකා යනු කාගේ කවුරුන්දැයි නොදන්නා ප්‍රේක්ෂකයෙකු නැති තරම්ය. ඇය රංගනය සිය ජාන හරහාම ලබා ගෙන තිබෙනු ඇතැයි කිවහොත් එය ද වැරදි නැත. මෙරට සිනමාවේ ‘නිළි රැජිණ’ ලෙස කිරුළු පළඳින මාලනි ෆොන්සේකා මහත්මියගේ බාල මළණුවන් කෙනෙකුගේ එකම දියණිය වූ ඈ තම ලොකු නැන්දණිය මෙන්ම රංගනයට පෙම් බැන්දාය.
සිරිපැරකුම් චිත්‍රපටයෙන් පසුව ඈ කරා බොහෝ රංගන අවස්ථාවන් ගලා එන්නට විය. නමුත් තම උසස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීම එවක ඇගේ ප්‍රධාන අරමුණ වූ නිසා සෙනාලි යළි එංගලන්තයට පිටත් වූවාය. ඒ අතර තමාට ගැලපෙන, සිතට කාවැදුණු නිර්මාණයන්ට රංගන දායකත්වය ලබා දෙන්නට ද ඈ අමතක නොකළා ය.
සෙනාලි ෆොන්සේකා මෙනවියගේ ප්‍රථම ටෙලි නාට්‍ය අත්දැකීම බවට පත්වූයේ ‘මායා පටල’ යි. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගෙන් ඈට පුංචි තිරයට ලැබුණු ආරාධනාව ඉන් ඈ යථාර්ථයක් බවට පත් කළාය. ඉන් අනතුරුව ‘කළු සෙවනැල්ල’, ‘හාර කෝටිය’ වැනි ටෙලි නිර්මාණ වලට ඈ තම රංගන දායකත්වය ලබා දුන් අතර ඈ ට අනුව ප්‍රේක්ෂකයන් ඇය ව වඩාත් වැළඳ ගත්තේ හාරකෝටිය ටෙලි නිර්මාණයේ ‘දිලියා’ ගේ චරිතයෙනි.
සෙනාලි ෆොන්සේකා නිහතමානී රංගන පෞරුෂයකි. ඇය තම උපතින් ලැබූ ‘කලා ජන්මය’ කිසිදු දිනෙක පුහු මාන්නයට නොගන්නා තරුණියකි.
“මං හැමදාමත් සතුටු වෙනවා මගේ අම්මයි තාත්තයි මට, මගේ අනාගතයට ලබාදුන්නු මග පෙන්වීම ගැන. ඒ ආශිර්වාදය මට ගොඩක් වටිනවා… ලංකාවේ නිළි රැජිණ මගේ ලොකු නැන්දි කියලා කවදාවත් මං උඩඟු වෙන්නේ නැහැ. නිර්මාණයකට මට පුළුවන් දේ මං ඒ වෙනුවෙන් කරනවා…”
වර්තමානයේ ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයෙහි ‘පාඨලී’ නොදන්නා පුංචි තිරයේ ප්‍රේක්ෂකයෙකු නොමැති තරම්ය. සැබැවින්ම, ‘නාඩගම්කාරයෝ’ ඇයව සම්මානනීය චරිතයක් බවට පත් කර අවසන් ය. ඇගේ අපේක්ෂාව වන ‘ජනතා සම්මානය’ ඒ හරහා හැම මොහොතකම ඇයට ලැබෙමින් පවතී. ‘පාඨලී’ නම් එකී සුන්දර ගැමි තරුණිය දකින විට එංගලන්තයේ හැදී වැඩුණු ඡායා මාත්‍රයක් වත් ඇගෙන් දිස් නොවේ. ඒ සෙනාලි ෆොන්සේකා සතු පෘථුල රංගන හැකියාවයි.
මෙම තුරුණු රංගවේදිනියට බොහෝ නාට්‍ය, ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිත ලැබෙනුයේ එකී චරිතයන්ට උපරිම සාධාරණයක් කිරීමට ඈ සතු සහජ හැකියාව හේතුවෙන් යැයි කිව හැකිය. ඇගේ සිනමා රංගනයේ තවත් අද්විතීය සටහනක් තැබීමට හැකි වූ චිත්‍රපටයක් බවට පත් වූයේ 2019 වසරේ දී තිරගත වූ ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයයි. සුන්දර, ප්‍රභූ පන්තියක එකම දියණිය ලෙස ‘නීලමණී’ චරිතයට පණ පොවන ඇය එදා ‘විජයබා කොල්ලය’ ග්‍රන්ථයෙන් පමණක් ‘නීලමණිය’ මවාගත් සුවහසක් පාඨකයන්ට නීලමණියගේ රූ ඡායාව සජීවීව නිර්මාණය කර පෙන්වූවා ය. එය ද අතිශය විශාල ප්‍රේක්ෂක ජනාදරයට පත් වූ නිර්මාණයකි.
සෙනාලි ෆොන්සේකා රංගවේදිනිය මේ වන විට රඟපා ඇති ටෙලිනාට්‍ය ටෙලි නාට්‍ය හා සිනමා නිර්මාණ ගණන අතළොස්සකි. නමුත් ඒ සෑම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයන් තුළට ගොස් ඇත්තේ ඇගේ ගැඹුරු හා ආකර්ෂණීය රංගන කුසලතාවේ හරය වඩ වඩාත් සපථ කරවමිනි.
මේ වන විට ඇය ජෛව වෛද්‍ය විද්‍යා අංශයෙන් ගෞරව උපාධිය සම්පූර්ණ කර ඇත්තේ ප්‍රථම පන්ති සාමාර්ථයක් ද ලබා ගනිමිනි. කෙදිනක හෝ තමා උගත් දෑ මගින් ද විද්‍යාවෙන් ලොවට යහපතක් සලසන්නට ද ඈ හීන දකියි.
ඇය සමාජ මාධ්‍ය තුළ නිරන්තර ව පෙනී සිටීමට අකමැති බව වරක් ප්‍රකාශ කර සිටියා ය.
ඇය කුඩා කල පටන්ම තම දෙමාපියන්ගේ සෙවණේ හැදී වැඩුණු පවුලේ එකම දරුවා වූ නිසා මෙම ‘තුන්පත් රෑන’ ඇගේ සොඳුරු නිවීමක් බඳු විය. කුඩා කල පටන් ඇය වඩාත් ලැදි වූයේ ද ඇගේ පියාටයි. නුදුරු දිනෙක සිදු වූ තම පියාගේ හදිසි අභාවය සෙනාලි ෆොන්සේකා යෞවනියගේ නෑඹුල් අපේක්ෂා වලට හැමූ සැඩ සුළඟක් මෙන් විය. ජීවිතයේ දැඩි දුක් කරදර නොවිඳි නිසාවෙන්ම මෙම අත්දැකීම ස්වකීය මානසික ඒකාග්‍රතාවය පිහිටුවා ගැනීමට ඇයට දැඩිව බලපාන ලදි. නමුත් තමා වෙනුවෙන් බලා සිටින ආදරණීය මව නිසාවෙන් ජීවිතය තවත් පරිණත කෝණයකින් දකිමින් ජීවත් වන්නට තමන් හුරු වූ බව සෙනාලි ෆොන්සේකා රංගවේදිනිය වරෙක පවසා සිටියා ය.
ඇගේ රංගන ලෝකයේ වීරවරිය, ප්‍රධාන අනුගාමී චරිතය, ඇගේ ලොකු නැන්දණියයි. ඊට අමතරව ඇගේ පොඩි නැන්දණිය දමයන්ති ෆොන්සේකා, ඥාති සොහොයුරියක වන සමනලී ෆොන්සේකා ද ඇගේ රංගන ජීවිතයට අගනා උත්ප්‍රේරකයන් ය.
සෙනාලි ෆොන්සේකා රංගවේදිනිය තම රංගන දායකත්වය ලබා දී ඇති නිර්මාණ සංඛ්‍යාව ඉතාම සීමිතය. නමුත් ඈ ආ ගමන් මග ඉතාම ප්‍රශංසනීය ය. තවත් ප්‍රතිභාපූර්ණ රංගන කාර්යයන් සිදු කිරීමට ඈ ට බොහෝ අවකාශය තිබේ.
ඇගේ තවත් චිත්‍රපට, ටෙලි නිර්මාණ කිහිපයක් ම විකාශනය වීමට ද නියමිතය ( කබඩි, එක ගෙයි සොකරි). එසේම ඇය විරල වශයෙන් ගීත රූප රචනාවලට ද තම දායකත්වය ලබා දී තිබේ. (2021-‘රෝස මල් කුමාරියේ’)
එපමණක් ද නොව, සෙනාලි ෆොන්සේකා රංගවේදිනිය සම්මාන උළෙල ගණනාවකම ඇගයීමට ලක්ව ඇත. ඇය,
- 2014 වසරේ දී Lanka Live Awards හි ‘ජනප්‍රියම නිළිය’ සම්මානය දිනා ගත්තාය.
- 2021 වසරේ දී සුමති සම්මාන උළෙලේ දී ‘ජනප්‍රියම නිළිය’ සම්මානය තම ලොකු නැන්දණියගේ සුරතින් ම ලබා ගත්තාය.
ඒ මෑත කාලයේ ඉතාම ඉහළ ප්‍රේක්ෂක ජනාදරයක් ලබමින් විකාශනය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය වෙනුවෙනි. එහිදී ඈ සැබවින්ම ලබා ගත්තේ ‘ජනතා සම්මානයයි’.
ඇයගේ විශ්වාසය නම් ඇගේ රංගන ලෝකයේ ‘හදවත’ ඇගේ රසිකයන් වන අතර ඔවුන් අතර සිටීම හා ඔවුන්ගේ ආදරය හා අගය කිරීම ඇගේ ජීවිතයේ ලබන ‘හොඳම ත්‍යාගයක්’ බවයි.
සෙනාලි ෆොන්සේකා නම්, මේ සුන්දර, කුසලතා පූර්ණ රංගවේදිනිය තම ජීවිතය පිළිබඳ දක්වන කියවීම ද අපට මහඟු ආදර්ශයකි.
“ලංකාවේ සංස්කෘතිය ගොඩක් ලස්සනයි. අපේ ළමයි හරි දක්ෂයි. පිට රටක ඉගෙන ගත්ත මට ඒක හොඳින් දැනිලා තියෙනවා. මගේ බලාපොරොත්තුව තමයි ජීවත් වෙන කාලේ මේ රටට, ලෝකෙට, මගේ අයට යමක් කරලා ජීවිතේ සැඳෑ සමය සතුටින් ගෙවන කෙනෙක් වෙන්න…”
මේ කලකට ඉහත විකාශනය වූ රූපවාහිනී වැඩසටහනකට ඈ පැවසූ ප්‍රකාශයකි.
‘සෙනාලි ෆොන්සේකා’
ඇය නූතන කලා ක්ෂේත්‍රයට පෑයූ ‘ඉරබට තරුවකි’. නිර්මාණ කිහිපයකින් තුරුණු වියේ දී ම ප්‍රකට කළ රංග ප්‍රතිභාව තුළ කියා පාන්නේ ‘කලා අඹරට’ ඇගේ රංගනය සැබැවින්ම ආලෝකයක් බවයි.
ඉතින් අද දින තම 29 වැනි ජන්ම දිනය සමරන මෙම, සුන්දර සිනහවක ලාවණ්‍ය හිමි තුරුණු යෞවනියට, රංගවේදිනියට තවදුරටත් කලා ක්ෂේත්‍රයේ තම රංගන නිම්වළලු පුළුල් කිරීමට හැකි වන සාර්ථක නිරෝගී අනාගතයක් හිමි වේවා!’ යි පතන Colombo Beacon හි අපි ඇයට සුභ උපන්දිනයකට ද ආසිරි මෙසේ ගෙන එන්නෙමු!
Design by :Shanaka Vishwantha
References :
- https://bit.ly/3nEZR7H
- https://bit.ly/3Co3bs4
- https://bit.ly/3lCtjIK
- https://bit.ly/3kmb3UN
- https://bit.ly/2XoLs4n
- https://bit.ly/3zjSgh0
- https://bit.ly/2Xtiq4c
Images :
- https://bit.ly/3hERpRR
- https://bit.ly/39dO08j
- https://bit.ly/2YYAX8C
- https://bit.ly/3CBXVRN
- https://bit.ly/3ElEjTo
- https://bit.ly/3nGlG6H
- https://bit.ly/3EtQg9x
- https://bit.ly/3ArMtaI
- https://bit.ly/3AkxOO9
- https://bit.ly/3tPxdl8
- https://bit.ly/2VVmWaQ
- https://bit.ly/3hInTe4
- https://bit.ly/39fGeKV
- https://bit.ly/3kh9qHS
- https://bit.ly/3ltdi7O
Leave a Comment